සහෝදරයින්ගේ මහා සංග්‍රාමයේ වැඩි ගෞරවය ඉසිපතනයට

58 වැනි සහෝදරයින්ගේ මහා සංග්‍රාමය

727

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන දෙදින මහා ක්‍රිකට් සංග්‍රාමය වන සහෝදරයින්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමයේ 58 වැනි අදියර අද (13) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා. එහි දී වැඩි ගෞරවය දිනා ගන්නට සමත් වුනේ ඉසිපතන විද්‍යාලයයි.

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් නායක රනේෂ් සිල්වාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉසිපතනය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 332ක් වාර්තා කරගෙන සිය ඉනිම අත්හිටවූවා. එය මේ තරග ඉතිහාසය තුළ කණ්ඩායමක් රැස් කර ගත් ඉහළම ලකුණු ප්‍රමාණය ද වුනා.

ඉසිපතන නායක තෙවිඳු දික්වැල්ල නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් ශතකයක් වාර්තා කර ගත් අතර එය මහා තරග 4ක් ක්‍රීඩා කර තිබෙන දික්වැල්ල රැස් කර ගත් පළමු මහා තරග ශතකයයි. එසේම සහෝදරයින්ගේ මහා සංග්‍රාම ඉතිහාසය තුළ ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩකයෙක් නායකයෙකු ලෙස ශතකයක් වාර්තා කර ගත් දෙවැනි අවස්ථාව මෙයයි.

ඉසිපතන පළමු ඉනිම තුළ අර්ධ ශතක සබඳතා 4ක් වාර්තා වුනු අතර තෙවිඳු, දිනුක අනූපමාල්, රන්දුනු ගංගානාත්, තිනුල ලියනගේ සහ යෙසිත් කළුපහන එම අර්ධ ශතක සබඳතා ගොඩනංවමින් ඉසිපතන පළමු ඉනිම හැකි උපරිම මට්ටමක් දක්වා රැගෙන ගියා.

පන්දු යැවීමෙන් සිය වගකීම ඉටු කිරීමට හැකි උපරිමයෙන් වෙරදැරූ තර්ස්ටන් විද්‍යාලයේ අසීම් මොහොමඩ් සහ වමතින් වේගපන්දු යවන නිපුන් ප්‍රේමරත්න අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

දෙවැනි දිනය ආරම්භ කරමින් පන්දුවට පහර දීමට පැමිණි තර්ස්ටන් පළමු ඉනිම ලකුණු 108කට සීමා කරමින් සුපිරි දස්කමක් ප්‍රදර්ශනය කිරීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා. එහි දී රන්දුනු ගංගනාත් සහ කවිඳු ආමන්ත එක්ව කඩුලු 3 බැගින් දවා ගනිමින් තර්ස්ටන් පළමු ඉනිම සුන් කර දැමුවා.

තර්ස්ටන් කඩුලු එක පෙළට බිඳ වැටෙන විට ඔවුන්ගේ මැදපෙළ තරමක මට්ටමකට හෝ ස්ථාවර කර ගත් තෙනුක දේවප්‍රිය 4 පහර 10ක් එල්ල කරමින් පන්දු 72ක් තුළ නොදැවී ලකුණු 60*ක් වාර්තා කරගෙන තර්ස්ටන් පළමු ඉනිම ගොඩනැංවීමට සහාය වුනා. පළමු ඉනිමේ ලකුණු 224ක අවාසියක් සහිතව සිය දෙවැනි ඉනිම (F/O) ආරම්භ කළ තර්ස්ටන් දෙවැනි ඉනිම පළමු ඉනිමට වඩා යම් සාර්ථකත්වයක් ලබා ගත්තා.

පළමු ඉනිමේ දී අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් වාර්තා කර ගත් තෙනුක දෙවැනි ඉනිමේ දී අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. එකම දිනයක් තුළ ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක දෙකක් වාර්තා කිරීම එහි වුනු තවත් එක් කැපී පෙනුන වාර්තාගත සිදුවීමක් වුනා.

තර්ස්ටන් පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව දෙවැනි ඉනිම තුළ ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වුනා. ආරම්භක කඩුලු රකින පිතිකරු තරිඳු හර්ෂණ ලකුණු 34ක් රැස් කර ගත් අතර ඔවුන්ගේ පිතිකරුවන් බොහෝමයක් දෙනා පළමු ඉනිමට වඩා යම් සාර්ථකත්වයක් දෙවැනි ඉනිම තුළ දී ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉසිපතන වේගපන්දු යවන ක්‍රීඩක රන්දුනු ගංගානාත් කඩුලු 2ක් දවා ගන්නා විට නිඛිල් සහ සිතුක ගුණවර්ධන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. අවසානයේ දී තර්ස්ටන් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 199ක් වාර්තා කරගෙන සිටිය දී දිනයේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් පියවර ගත්තා.

මෙහි දී ඉසිපතනයේ නායක තෙවිඳු රැස් කර ගත් ශතකයට එරෙහිව තර්ස්ටන් විද්‍යාලයේ වමතින් පිතිකරණයේ නිරත වූ තෙනුක දේවප්‍රිය ඉනිම් දෙකේම අර්ධ ශතක රැස් කරගෙන 2019 වසරේ ශූරතාවය දිනා ගත් තර්ස්ටන් ගෞරවය තවදුරටත් රැක ගැනීමට සිය දායකත්වය ලබා දුන්නා.

ඉසිපතන පළමු ඉනිම – 332/7d (81.1):තෙවිඳු දික්වැල්ල 106, කවිඳු ආමන්ත 87, තිනුල ලියනගේ 30, අසීම් මොහොමඩ් 2/30, නිපුන් ප්‍රේමරත්න 2/59.

තර්ස්ටන් පළමු ඉනිම – 108 (30.1): තෙනුක දේවප්‍රිය 60*, පසිඳු රත්නායක 20, රන්දුනු ගංගනාත් 3/19, කවිඳු ආමන්ත 3/25.

තර්ස්ටන් දෙවන ඉනිම (F/O) – 199/5 (69.2): තෙනුක දේවප්‍රිය 54*, තරිඳු හර්ෂණ 34, බවන්ත ජයසිංහ 28, රන්දුනු ගංගනාත් 2/43. 

  • තරගයේ හොඳම පිතිකරු – තෙනුක දේවප්‍රිය 
  • තරගයේ වීරයා – තෙවිඳු දික්වැල්ල
  • හොඳම පන්දු යවන්නා – රන්දුනු ගංගනාත්
  • ප්‍රහාරත්මකම පිතිකරුවා – තෙවිඳු දික්වැල්ල
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – කවිඳු ආමන්ත

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<