ඔටුවෙක්ගේ පිටේ හරි මම දරුවා බලන්න යනවා!

618

විස්සයි විස්ස තරග රටාව අද ලෝකයම ආක්‍රමණය කර අවසන්. 2022 විස්සයි විස්ස ලෝක කුසලානය තව පැය කිහිපයකින් ඕස්ට්‍රේලියානු භූමියේ දී ආරම්භ වෙනවා.

ඉතින් අපි තීරණය කළා පොඩ්ඩක් මේ විස්සයි විස්ස ලෝක කුසලානයේ යටගියාව සහ හැංගිලා ගිය මතකය ආපහු අලුත් කරන්න සහ අවුස්සලා උඩට ගන්න. මේ ඒ ලිපි පෙළේ පස්වැනි කොටසයි.

2010 විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල. මේ තරගාවලියේ ජයග්‍රාහකයින් වුනේ පෝල් කොලින්වුඩ්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම.

එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ආපු ගමනේ ආරම්භය එතරම් සතුටුදායකයි කියල කොහෙත්ම කියන්න බෑ.

ගයානාවල ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ දී ඔවුන් මුල්ම තරගයට ක්‍රීඩා කළේ සත්කාරක කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව. වර්ෂාවෙන් බාධා ඇති වෙච්ච මේ තරගය කොදෙව්වන් ජය ගත්තේ කඩුලු 8කින්. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන්.

ඒ වගේම අයර්ලන්තය සමඟ පැවති තරගය වර්ෂාවට හේදිලා යනවා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම සුපර් 8 වටයට යන්නේ එකම තරගයක් හෝ ජයග්‍රහණය කරන්නේ නැතුව. අයර්ලන්ත කණ්ඩායමට වඩා හොඳ දළ ලකුණු වේගයක් එංගලන්ත කණ්ඩායමට හිමි වෙලා තිබුණ නිසා තමයි ඔවුන්ට දෙවන වටයට පැන ගන්න ලැබෙන්නේ

මේක හරි අවාසනාවක්. මේ තරගය කණ්ඩායම් දෙකටම විවෘත වෙලා තිබුණ තරගයක්. තරග අත්හැර දැම්මට පස්සේ විචාරකයෝ කිව්වේ එහෙම.

එහෙම සුපර් 8 ආපු එංගලන්ත කණ්ඩායමට දෙවැනි වටයේ දී මුණ ගැහුණේ පාකිස්තානය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකානු කියන කණ්ඩායම්.

එංගලන්ත කණ්ඩායම තමන්ගේ දස්කම් උපරිමයට ගෙන එන්නේ සුපර් 8 වටයේ දී. ඔවුන් මුලින්ම එවකට ලෝක ශූරයන් වූ පාකිස්තානු කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරනවා. තරගයේ වීරයා ලෙස නම් කළ කෙවින් පීටර්සන් පන්දු 52කින් නොදැවී ලකුණු 73 ක් ලබා ගන්නවා.

කෙවින් පීටර්සන් පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණයෙන් පසුව Getty Images

කෙවින් පීටර්සන් පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණයෙන් පසුව Getty Images

සුපර් 8 වටයේ දෙවැනි දෙවැනි තරගය දකුණු අප්‍රිකාව ලකුණු 39කින් පරාජය කරන්න එංගලන්ත කණ්ඩායම සමත් වෙනවා. මේ තරගයේ දී කෙවින් පීටර්සන්ගේ දායකත්වය පන්දු 33ක දී වේගවත් ලකුණු 53ක්. මේ තරගයේ වීරයා වෙන්නෙත් කෙවින් පීටර්සන්.

මේ ජයග්‍රහණයත් එක්ක එංගලන්ත කණ්ඩායම එක පාදයක් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ තබාගෙන හිටියේ.

මැයි 08 වෙනිදා එංගලන්ත කණ්ඩායම මේ ජයග්‍රහණය ලබන අවස්ථාවේ දී ඔවුන් අවස්ථාව කණ්ඩායමක් විදියට ඔවුන්ට විතරක් නෙවෙයි කෙවින් පීටර්සන්ට පෞද්ගලිකවත් වැදගත් දවස් කිහිපයක් වුනා.

කෙවින් පීටර්සන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී වැඩ දානකොට ලන්ඩන් නුවර සිටින ඔහුගේ බිරිඳ ජෙසිකා ටේලර් ඔවුන් දෙදෙනාගේ මුල්ම දරුවාගේ උප්පත්තියට සූදානම් වෙමින් හිටියේ.

දකුණු අප්‍රිකාව එක්ක තරගය ජය ගත්තා කියන්නේ අපි ඔක්කොටෝම කලින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා කියන එක. එහෙම වුනාම නවසීලන්ත කණ්ඩායම එක්ක සුපර් 8 වටයේ තරගය  අපේ පැත්තෙන් ඒ තරම් වැදගත් වුනේ නෑ.

මගේ බිරිඳ අපේ පළමු දරු උපතට සූදානම් වෙමින් හිටියේ. ඒ වෙනුවෙන් දින යෙදිලා තිබුණේ මැයි 10 වෙනිදා. මම තීරණය කළා මම ඒ වෙලාවේ එතන ඉන්න ඕන කියලා.

එහෙම යනවා කියන්නේ මම බාර්බඩෝස් වල ඉඳලා ට්‍රිනිඩැඩ් වලට ගිහින් එතැනින් නිව් යෝක් වලට ගිහින් එතැනින් නැවත ලන්ඩන් වලට යා යුතුයි.

මම එහෙම යන එක ගැන කණ්ඩායමේ සගයින් ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් මොළයක් තියන ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන තේරුමක් නැති මැච් එකක් ගහන එක ද එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතයේ වටිනාම අවස්ථාවකට සහභාගී වෙන්න යන එක ද වඩා වැදගත් කියලා.

තව දෙයක් කියන්න ඕන එංගලන්ත කණ්ඩායමේ තරග කාලසටහන හදපු කෙනා නම් පිස්සෙක් වෙන්න ඕන. මොකද අපිට සෑහෙන කාලයක් ගෙදරින් එළියේ ඉන්න වුනේ.

2010 අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා මාර්තු වෙනකල් අපි ටෙස්ට් මැච් හයක් ගැහුවා. ඊට පස්සේ කෙළින්ම විස්සයි විස්ස ලෝක කුසලානය.

ඒ අවුරුද්දේ IPL තරගාවලියේ යම් සාර්ථකත්වයක් එක්ක මම කොදෙව් දේශයට ආවේ. ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ දී ඒ තරම් සාර්ථක වෙන්න බැරි වුනත් පස්සේ මම දස්කම් අතරට ආවා. පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව සමඟ මට හොඳ ඉනිම් දෙකක් ක්‍රීඩා කරන්න ලැබුණා.

මට ඕන වුනේ ඩිලන් උපදින වෙලාවේ ජෙසිකා එක්ක එතන ඉන්න. ගිහින් සෙමි ෆයිනල් එකට කලින් ආපහු ඉක්මනින් එන්න.

ඩිලන් උපදින මොහොත වෙද්දිම ලන්ඩන් නුවරට යා ගන්න මට පුළුවන් වුනා. ඒක සැතපුම් 4,000ක ගමනක්. දෙයියන්ගේ පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවක් නැතුව දරුවා බිහි වෙලා තිබුණා.

බාර්බඩෝස් ඉඳලා ලන්ඩන්වලට සැතපුම් හාරදහසක් ඒ පැත්තටත් මේ පැත්තට ගිය ගමන ගැන මට තිබුණේ මාර සන්තෝසයක්. මම ඔටුවෙක්ගේ පිටේ හරි මම ඒ ගමන යනවා. සත්තයි.

මට හරි වෙලාවට ශ්‍රී ලංකාව එක්ක ගහපු සෙමි ෆයිනල් එකට කලින් ආපහු එන්න පුළුවන් වුනා.”

කෙවින් පීටර්සන් සිය දරු උපත වෙනුවෙන් තමන් ගිය අපූරු ගමන ගැන ඔහුගේ චරිතාපදානයේ ලිව්වේ එහෙම.

ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් කෙවින් පීටර්සන්ගේ දායකත්වය පන්දු 26කින් නොදැවුණ ලකුණු 42ක්.

“අපි අවසන් මහා තරගයට තේරුණා. හැබැයි හැමෝම කතා කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගැන. බොහෝ අය කිව්වේ ඔවුන් පහසුවෙන් ජය ගනීවි කියලා.”

එංගලන්ත කණ්ඩායම මීට පෙර ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට සුදුසුකම් ලබා සිටියත් ඒ සියල්ල පරාජයට පත් වෙලා හිටියේ. 1979, 1987 සහ 1992 අවුරුදු වල පිළිවෙළින් ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට, ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට පරාජය වුණා. ඒ වගේම 2004 වසරේ එංගලන්තයේ පැවති ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයත් ඔවුන් පරාජයට පත් වුනා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා මුලින්ම පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානුවන්ට ආරාධනා කළා.

එංගලන්ත නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් කළ පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු අටක් වෙද්දි ආපසු හරවා යවනු ලැබුවා.

ඩේවිඩ් හසී සහ කැම්රන් වයිට් ගේ පිතිහරඹයට පිං සිදුවෙන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 147/6ක් ලකුණු පුවරුවට එක් කර ගත්තා.

147ක් යනු ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියට එරෙහිව තරමක අභියෝගාත්මක ඉලක්කයක් විය හැකි බව එංගලන්ත පිතිකරුවන් දැනගෙන හිටියා. ඒ බව තවදුරටත් සනාථ වූයේ ආරම්භක පිතිකරු මයිකල් ලම්බ්ට දෙවැනි ඕවරයේ දී ම පිටියෙන් ඉවත් වීමට සිදු වීමෙන්.

පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පස්සේ පිටියට එන්නේ කෙවින් පීටර්සන්. ඔහු ක්‍රේග් කීස්වීටර් එක්ක එකතු වෙලා දෙවන කඩුල්ලට වේගවත් ලකුණු 111ක් එකතු කරනවා. මේ සම්බන්ධතාවයට පීටර්සන් ගේ දායකත්වය පන්දු 31 කින් ලකුණු 47ක්.

ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් අතින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගන්නා කෙවින් පීටර්සන්  Getty Images

එංගලන්ත කණ්ඩායම කඩුලු හතකින් තරගය ජයගෙන ලෝක කුසලානය ජය ගනිද්දි තරගාවලිය පුරාවටම ලකුණු 248ක් රැස් කරපු කෙවින් පීටර්සන් තමයි තරගාවලියේ වීරයා වෙන්නේ.

අන්තිමේ තමන්ගේ දරු උපතටත් ගිහින් එංගලන්තයට ලෝක කුසලානයකුත් දිනා දීලා තමයි කෙවින් පීටර්සන් නැවතුණේ.

කෙවින් පීටර්සන් ගේ චරිතාපදානය KP: The Autobiography ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<