ජාතික ගීය කියන්න පුරුදු වෙලා එනව ද?

894

විස්සයි විස්ස තරග රටාව අද ලෝකයම ආක්‍රමණය කර අවසන්. විස්සයි විස්ස ලෝක කුසලානය තව දින කිහිපයකින් ඕස්ට්‍රේලියානු භූමියේ දී ආරම්භ වෙනවා.

ඉතින් අපි තීරණය කළා පොඩ්ඩක් මේ විස්සයි විස්ස ලෝක කුසලානයේ යටගියාව සහ හැංගිලා ගිය මතකය ආපහු අලුත් කරන්න. මේ ඒ ලිපි පෙළේ තෙවැනි කොටසයි.

දිනය 2009 වසරේ ජුනි මාසේ පස්වැනිදා. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මුල්ම තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ කිරීමට සියල්ල සූදානම්.

මේ අවස්ථාවේ දී නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් සිටි ක්‍රීඩකයෙකු මහත් අපහසුතාවයකට පත් වෙලා හිටියේ. ඒ ඔහුගේ මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය. ඒ විතරක් නෙවෙයි ඔහුගේ මුල්ම ජාත්‍යන්තර අත්දැකීම. මේ ක්‍රීඩකයා මේ විදියට අපහසුතාවයට පත් වෙලා, නොසන්සුන් වෙලා ඉන්නේ මේක එයාගේ මංගල ජාත්‍යන්තර අත්දැකීම නිසා නම් නෙවෙයි.

“මම එදා නෙදර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කළත් මම නෙදර්ලන්තයේ ජීවත් නොවුන තරමයි. සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රිකට් තරගයක් ආරම්භ කරන්න කලින් රටවල් දෙකේ ජාතික ගීත දෙක වාදනය කරනවනේ. මම දැනගෙන හිටියා අන්න එතන දීයි මට වැඩේ වරදින්න යන්නේ කියලා.

මම නෙදර්ලන්තයේ ජීවත් නොවුන කෙනෙක් නිසා මට නෙදර්ලන්ත ජාතික ගීය කිසිම අදහසක් තිබුණේ නැහැ. මට විතරක් නෙවෙයි සමහර නෙදර්ලන්ත ක්‍රීඩකයින්ටත් ඒ ගැන එතරම් පැහැදිලි අදහසක් නෙවෙයි තිබුණේ.

ඉතින් මම මෙහෙම දෙයක් කරන්න කල්පනා කළා. කොලයක් එහෙම අතට අරගෙන ඒකේ නෙදර්ලන්ත ජාතික ගීය ලියාගෙන එහි වචන ගැන පොඩි අවබෝධයක් ගන්න.

පැය හතරක් විතර ට්‍රයි කරද්දී මට තේරුණා මේ කරන වැඩෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා. මම හිතුවා ජාතික ගීය වාදනය වෙන වෙලාවට සද්ද නොකර කට පියාගෙන, කට හොල්ලන්නේවත් නැතුව ඉන්න.

අපේ කණ්ඩායම එදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයට යද්දී දැනුණ හැඟීම පුදුමාකාර එකක්. ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ.”

එදා මේ වගේ අපහසුතාවයකට පත් වෙච්ව නෙදර්ලන්ත ක්‍රීඩකයා වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ඩර්ක් නැනස්.

ඩර්ක් නැනස් එංගලන්ත තරගය අතරතුර

නැනස් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලැබූවෙක්. ඩර්ක් නැනස්ගේ දෙමාපියන්ගේ පැත්තෙන් ඔහුට නෙදර්ලන්ත පුරවැසිභාවයත් තිබුණා. ඒ නිසා තමයි ජීවිතයේ වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙච්ච ඩර්ක් නැනස් නෙදර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ.

මේ තරගය නිමා වුනේ හිතා ගන්න බැරි තරම් තියුණු අවසානයක් එක්ක. ඒ ‍තරගයේ අවසාන පන්දුවේ දී නෙදර්ලන්ත කණ්ඩායමට කඩුලු හතරකින් ජය අත් කර දෙමින්.

තරගය තියුණු මුහුණුවරක් ගන්නා අවස්ථාවේ දී තමන්ගේ අත්දැකීම් හෙළි කරන්නත් ඩර්ක් නැනස් අමතක කළේ නැහැ.

“එංගලන්ත කණ්ඩායම මේ තරගයේ දී රැස් කළේ ලකුණු 163යි. මම හිතා ගන්න බැරි තරම් නොඉවසිලිමත් බවකින් හිටියේ. මම කොහොමත් ස්වභාවයෙන්ම නොඉවසිලිමත් පුද්ගලයෙක්. මට පහළට ගිහින් අනෙක් ක්‍රීඩකයින් එක්ක ඉන්න හිතුණේ නැහැ. මම කණ්ඩායමට අවාසනාව ගෙනෙයි, මම ගියොත් ඒක කණ්ඩායමට අහිතකර විදියට බලපාවි කියලා මට ලොකු සැකයක් තිබුණා.

හැම ලකුණක්ම, හයේ හතරේ පහරක් එල්ල කරන අවස්ථාවකම, පන්දුව පිත්තේ වැදිලා උඩ යන හැම මොහොතකම මාත්, රයන් ටෙන්ඩස්කාටේ දෙන්නා විවේකාගාරයේ ඉඳන් බලාගෙන හිටියේ දැන් පරදියි දැන් පරදියි කියලා බයෙන්.

තරගය ගලාගෙන යන විදියට සමහර විට මටත් පන්දුවට පහර දෙන්න යන්න සිද්ධ වෙන බවක් පේන්න තිබුණා. ඒ නිසා තරගයේ අන්තිම හරියට එද්දී මාත් අනෙක් ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයින් හිටපු තැනට ආවා.

මේ තරගය ගැන මගේ අන්තිම මතකය ස්ටුවර්ට් බ්‍රෝඩ් යවපු අන්තිම ඕවරය. මං හිතන්නේ ඒ ඕවරේ බෝල හයටම අපේ පිතිකරුවන් දවා ගන්න නොයෙක් ආකාරයේ අවස්ථාවන් එංගලන්ත කණ්ඩායමට ලැබුණා. නමුත් ඒ කිසිවක් සාර්ථක කරගන්න ඔවුන්ට බැරි වුනා. අවසානයේ අපි ජයග්‍රහණය කළා. ඒක විශේෂ ජයග්‍රහණයක්.

එංගලන්ත කණ්ඩායමේ ස්ටුවර්ට් බ්‍රෝඩ් අවසන් පන්දුවාරයේ දී දුවද්දී දැවී යෑමක් ලබා ගන්නට උත්සහා කරමින්.

ජයග්‍රහණය ලබපු ගමන් අපි ඔක්කොම පිස්සුවෙන් වගේ ක්‍රීඩා පිටිය මැදට දුවගෙන ගියපු හැටි තාම මතකයි. නැවත හෝටලයට එනකල් සහ ආවට පස්සෙත් අපි ජය සැමරුවා. අපි ජයග්‍රහණය සමරන අවස්ථාවේ දී දීප්තිමත් තැඹිලි පාට තොප්පියක් දාගෙන නෙදර්ලන්ත තානාපතිතුමාත් අපි එක්ක ජයග්‍රහණය සැමරුවා.

මට මතකයි ආපහු ඒ මැච් එක පෙන්නන වාරයක් වාරයක් පාසා අපේ කණ්ඩායමේ උදවිය කෑගැහුවේ ඒ මැච් එක පළවෙනි වතාවට දකිනවා වගේ. ඒ වගේම ඔවුන් ඒක බලමින් විස්තර විචාරය කරනවා.

මේ පරාජයෙන් පස්සේ ඉංග්‍රීසි පත්තර, ජනමාධ්‍ය එංගලන්ත කණ්ඩායමට නොසෑහෙන්න බැට දුන්න ආකාරයත් තාම මතකයි.

කිසිම සැකයක් තියාගන්න එපා මගේ ක්‍රිකට් ජීවිතයේ ක්‍රීඩා කළ හොඳම තරගය ඒ එංගලන්ත තරගයයි. “

ඩර්ක් නැනස් 2009 විස්සයි විස්ස ලෝක කුසලානය ගැන මේ වගේ තමන්ගේ අත්දැකීම් ආපහු මතක් කරන්නේ cricket.com එක්ක පස්සේ කාලෙක කරපු වීඩියෝ එකක දී.

“එදා අපි එංගලන්ත කණ්ඩායම පරාජය කරන අවස්ථාව අම්මයි තාත්තයි බලාගෙන හිටියේ හරි සතුටෙන්.

අනෙක් කාරණාව නෙදර්ලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන සූදානම සාමාන්‍යයෙන් අපි දකිනවට වඩා සෑහෙන වෙනස් සහ අමුතුයි.

ඔවුන් ආධුනිකයෝ. ඒ නිසාම ද දන්නේ නැහැ ඔවුන් ඒ තරම් ලොකුවට පුහුණුවීම් කළේ නැහැ. කණ්ඩායමේ සාමාජිකයෝ එකතු වෙන්නේ උදේ කෑමට, දවල් කෑමට, රෑ කෑමට විතරයි.

මට මතකයි කණ්ඩායමේ භෞතචිකිත්සක එක්ක උදේට හතට විතර නැගිටලා ලන්ඩනයේ වීදීවලට ඇවිදගෙන ගිහින් දිගැදීමේ ව්‍යායාම එහෙමත් නැත්නම් ඇදීමේ ව්‍යායාම කරපු විදිය. ඕස්ට්‍රේලියානු හෝ වෙනත් ජාත්‍යන්තර කණ්ඩායමක පෙර පුහුණුවීම්වලට වඩා නෙදර්ලන්ත කණ්ඩායමේ සූදානම සෑහෙන වෙනස්.

ඒක හරිම වෙනස් අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.”

නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය සමරමින්

ඒ විදියට 2009 අවුරුද්දේ නෙදර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරපු ඩර්ක් නැනස් 2010 අවුරුද්දේ විස්සයි විස්ස ලෝක කුසලානයට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින්.

වැදගත්ම කාරණාව තමයි 2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා වෙන්නේ නැනස්. ඒ කඩුලු 14ක්. ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහා තරගය වෙනකල් අරන් යන්න නැනස්ගෙන් ලැබුණ දායකත්වයක අති විශාලයි. නමුත් ඔවුන්

අවසන් මහා තරගයේ දී අවාසනාවන්ත ආකාරයෙන් එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<