ඉදිරි කාලය පන්දු යවන්නන්ට වගේම පිතිකරුවන්ටත් අමාරුයි!

366
Vikram Rathour

ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාතෝර් පවතින COVID-19 වෛරස තත්වය යටතේ ක්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට ඇති අභියෝග පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය සමඟ පසුගියදා අදහස් පළකර තිබුනා. ඛේටය භාවිතයෙන් පන්දුව ඔප දැමීම තහනම් කිරීම, ක්‍රීඩකයින් නැවතත් සුපුරුදු දක්ෂතා අතරට එන්නට ගත වන කාලය වැනි කරුණු කිහිපයක් පිළිබඳව ඔහු අදහස් දක්වා තිබීම විශේෂත්වයක්. 

ක්‍රිකට් ක්‍රීඩාවටත් ආ ජාතිවාදී අරගලය

සියලු කටයුතු අක්‍රිය කර නගර වසා දැමුනු මේ කාලසීමාවේ ඔබ පිතිකරුවන්ට ලබා දෙන උපදෙස් මොනවාද? 

“පසුගිය මාස කිහිපයේ සිදුවුනේ අපි බලාපොරොත්තු වුනු දේවල් නෙවෙයි. අපි කවුරුත් මේ වගේ තත්වයකට මීට කලින් මුහුණ දීලා නැහැ. අපිට තිබෙන අභියෝගය තමයි නැවත ක්‍රීඩාව පටන් ගත්ත ගමන් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ක්‍රීඩකයින්ව ධනාත්මක මනසක තියාගන්න එක. ඔබ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරනවා නම් ඔබට නිතරම ලෝකය වටේ යන්න සිදුවෙනවා. හරිම අවිවේකයි. මේ කාලසීමාවේ දී සියලුම ක්‍රීඩකයින් සමඟ පෞද්ගලිකව සාකච්චා කරන්න මට ඉඩක් ලැබුනා.” 

“ක්‍රීඩා කරන්න කිසිඳු අවකාශයක් නොමැති පසුබිමක කරන්න තියෙන හොඳම දෙය තමයි ඔබ තමන් ගැනම විශ්ලේෂණය කරන එක, ඔබ ක්‍රීඩාවේ දියුණු කරගන්න අවශ්‍ය දේවල් හඳුනාගන්න එක, ඒ වගේම ඒ දේවල් හදාගන්නේ කොහොමද කියලා හිතන එක. පසුගිය වසරේ ඔබ ක්‍රීඩා කරපු විලාසය ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ඔබ හොඳින් කරපු දේවල්, ඔබ වැරදියට කරපු දේවල් සිතා බලන්න ඕනේ. අපි ක්‍රීඩකයින්ට උපදෙස් ලබා දී තිබුනා සෙවනැළි පුහුණුවීම් (shadow practice) කරන්න.”

පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට සුපුරුදු රිද්මයට එන්න කල් යයි කියලා ඔබ සිතනවා ද? 

“මම එහෙම හිතන්නේ නැහැ. පන්දු යවන්නන් වගේම පිතිකරුවන්ටත් මේක ලොකු අභියෝගයක් වෙයි. මේ වගේ දිගු විරාමයකින් පසුව සුපුරුදු ඉහළ දක්ෂතා වලට එන්නට ඔවුන්ට ටිකක් කල් යයි. හොඳම දේ තමයි ක්‍රීඩකයින් ගොඩක් දෙනෙක් මේ කාලයේ හොඳින් පුහුණුවීම් කරලා තිබෙනවා. භෞතචිකිත්සකවරුන් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව ඉතා උවමනාවෙන් නිරීක්ෂණය කළා. ඒ නිසා නැවත පුහුණුවීම් ආරම්භ කරන්න පුළුවන් වුනාම සති කිහිපයක් ඇතුළත දේශීය තරග ක්‍රීඩා කරන්න වගේම හැකි ඉක්මණින් ජාත්‍යන්තර තරග පිටියට නැවතත් අවතීර්ණ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” 

ඉන්දියාවට ප්‍රේක්ෂකයින් නැතුව ක්‍රීඩා කරන්න වෙන එක ගැන ඔබ මොකද සිතන්නේ? 

“අපි මූලිකත්වය දෙන්නේ කොහොමහරි ක්‍රිකට් ක්‍රීඩා කරන්න. මේ මොහොත වෙන විටත් මේ රෝගයට බෙහෙතක් සොයාගෙන නැහැ. ඒ නිසා මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න කරන්න ඕනේ හැමදේම අපිට කරන්න වෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කරන්න සිදුවුනොත් ඒකත් අපිට කරන්න වෙනවා. මම හිතන්නේ ක්‍රීඩකයින් ඒක කොහොමහරි කළමනාකරණය කර ගනියි.” 

පන්දු යවන්නන්ට ඛේටය භාවිතා කර පන්දුව ඔබ දමන්න තහනම් වීම පිතිකරුවන්ට වාසියක් වෙයි ද? 

“පන්දුව ඔප දමන්නට කිසිවක් භාවිතා කරන්න බැරි නම් එහෙම වෙන්න පුළුවන්. ඒක පිතිකරුවන්ට තරමක වාසියක් වෙයි. නමුත් ඔබට ඔබේ දහදිය හෝ ICC අනුමත කරන ලද යම් කෘත්‍රීම ද්‍රව්‍යයක් භාවිතා කරන්නට ලැබුනොත් ලොකු වෙනසක් නොවෙන්නත් පුළුවන්. අනෙක් කණ්ඩායම් වලටත් ඒ දෙය වෙන නිසා ඒක එතරම් බලපෑමක් නැති සාධකයක් වෙන්නත් පුළුවන්.” 

ඉන්දියාව නවසීලන්තයේ දී සහභාගී වුනු ටෙස්ට් තරග දෙකේ දී ඉන්දීය පිතිකරුවන් දෝලනය වන පන්දුවලට හා කෙටි පන්දුවලට මුහුණදීමේ දී පෙන්වූ දුර්වලතාවයන් නිසා ඔවුන් දැඩි විවේචනයට ලක්වුනා. කොතන ද වැරදුනේ? 

“නවසීලන්ත තරගාවලිය ඉතා අමාරු තරගාවලියක් වුනා. තාක්ෂණයේ අඩුපාඩුවක් නිසා එහෙම වුනා කියලා මම හිතන්නේ නෑ. පිතිකරුවන් ලෙස අපි බොහොම හොඳින් ලෑස්ති වුනා. නමුත් අපිට අවශ්‍ය වෙලාවේ තරග සැලසුම් ක්‍රියාත්මක කරගන්න නොහැකි වුනා. තරග වලදී අපිට ලැබුනු තණතිලි, ඒ වාගේ තිබුනු ඉලිප්පීම අපිට පුහුණුවීම් වලදී ප්‍රතිනිර්මාණය කරන්න ඉතා අපහසුයි. නමුත් කණ්ඩායම් දෙකටම ලැබුනේ එකම තණතිල්ල. ඔවුන් අපිට වඩා හොඳින් ක්‍රීඩා කළා. මම හිතනවා හැමෝම ඉන් දෙයක් ඉගෙනගත්තා සහ අපි ඊළඟ සංචාරයේ හොඳින් කරයි.” 

හිටපු ශ්‍රී ලංකා නායිකාව UAE හි හිරවෙයි

ඔබට ක්‍රීඩකයින් කොතරම් ගරු කරනවා ද? ඔබේ පිතිකරුවන්ට ලබා දෙන මූලික උපදෙස් මොනවාද? 

“ක්‍රීඩකයින් හරිම හොඳයි. ඔවුන් මාත් එක්ක හරිම සහයෝගයෙන් කටයුතු කරනවා. එක එක්කෙනාට උපදෙස් දෙන්න ඕනේ වේලාවන් වෙනස්. හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. එක් දෙයක් විශ්වාසයි. හැමෝම මහන්සි වෙලා වැඩ කරනවා. හොඳ තරග සැලසුම් හදන එක තමයි අපි දැන් කරන්න ඕනේ. පිතිකරණය කියන්නේ ලකුණු රැස් කිරීමයි. ඒ නිසා පිතිකරුවන් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයක ලකුණු රැස් කරන්න සුදානම් වෙලා ඉන්න ඕනේ.”  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<