හැම පිටියටම ඔට්ටු සතා!

1392

මහාදේවන් සතාසිවම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමතකම කරන්න බැරි චරිතයක්. බොහෝ දෙනෙක් කියන්නේ ඔහු අපේ රටෙන් බිහි වෙච්ච විශිෂ්ටතම පිතිකරුවා කියලා.

සතාසිවම් පිටිය ඇතුලේ දී වගේම ඉන් පිටත දීත් අපූරු අපූරු වැඩ කරපු කෙනෙක්. ඔහුට ආදරේට සමකාලීන උදවිය කිව්වේ ‘සතා’ කියලා.

සතාසිවම් උපදින්නේ 1915 ඔක්තෝබර් මාසේ 18 වැනිදා. වයස අවුරුදු හය වෙද්දිම කුඩා සතාසිවම්ට ඉතාම හොඳ පිතිකරණ තාක්ෂණයක් තිබුණා කියලා කියවෙනවා.

සතාසිවම් මුලින්ම අකුරු කරන්න යන්නේ කොළඹ සාන්ත ජෝසප් විදුහලට. හතර වසරේ දී වෙස්ලි විද්‍යාලයට එකතු වෙන සතාසිවම් පාසල් ක්‍රිකට් පිටියෙත් නම තැබූ චරිතයක්.

1936 වසරේ සතාසිවම් වෙස්ලි කණ්ඩායම නියෝජනය කරමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 142 අනර්ඝතම ඉනිමක් ලෙසයි සැලකෙන්නේ.

පාසලෙන් නික්මෙන සතාසිවම් එකතු වන්නේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට. ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ නායකත්වය දරන සතාසිවම් 1945 වසරේ මුලින්ම සිලෝන් කණ්ඩායම නියෝජනය කරනවා.

1947 වසරේ සතාසිවම් සිලෝන් කණ්ඩායම නියෝජනය කරමින් දකුණු ඉන්දියානු කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 215 මෙරට පිතිකරුවෙකු විදේශයක දී වාර්තා කළ අගනාම ඉනිමක් ලෙසයි සැලකෙන්නේ.

සතාසිවම් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොවෙයි හොකී සහ ගෝල්ෆ් යන ක්‍රීඩාවන් දෙකටත් නිපුණතාවයක් දක්වපු කෙනෙක්.

සතාසිවම් රටවල් තුනක ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට තරම් වාසනාවන්ත වුනා. සිලෝන්, සිංගප්පූරුව සහ මැලේසියාව ඔහු නියෝජනය කරපු රටවල්.

අද අපි කතා කරන්න යන්නේ පිටියේ ඇතුළේ වගේම එළියෙත් චරිතයක් වෙච්ච සතාසිවම් එහෙමත් නැත්නම් සතා සම්බන්ධ වෙච්ච අපූරු රස කතා කිහිපයක්.

ටිකට්ස් ලෑස්තියි නේද?

1947 පෙබරවාරි දෙවැනිදා සිලෝන් කණ්ඩායමත් දකුණු ඉන්දීය කණ්ඩායමත් අතර තරගය ඇරඹුණේ මදුරාසියේ එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී.

මේ තරගයේ පළමු දිනය ආරම්භ වීමට පෙර සිලෝන් කණ්ඩායමට අනුග්‍රාහකත්වය දුන් පිරිස අතර ඉදිරියෙන්ම සිටි බර්නාඩ් ජයසූරිය මහත්මයා සතාසිවම් එක්ක පොඩි ඔට්ටවක් අල්ලනවා. ඒ තමයි දකුණු ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ශතකයක් රැස් කළොත් ස්කොච් විස්කි බෝතලයක් ලබා දෙන බවට.

තරගයේ පළමු දිනය නිමාව දකින විට සිලෝන් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 369ක් ලබාගෙන සිටියා. නොදැවී කඩුල්ලේ රැඳී සිටි සතාසිවම්ගේ නමට ඉදිරියෙන් අගනා ලකුණු 134ක්.

පළමු දිනයේ හවස් යාමයේ පොරොන්දු අයුරින්ම විස්කි බෝතලය සතාසිවම්ට ලබා දෙන ජයසූරිය මහත්මයා සතාසිවම් එක්ක තවත් ඔට්ටුවක් අල්ලනවා.

ඒ තමයි මේ ශතකය ද්විත්ව ශතකයට හැරෙව්වොත් තමාගේ වියදමින් බොම්බේ නගරයේ සතියක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන බව.

මේ සංචාරයේ සතාසිවම්ගේ කාමර සගයා වුනේ බෙන් නවරත්න. ඔහු දැඩි කතෝලික භක්තිකයෙක්. නවරත්න ඉරිදාවක් වූ පසුවදා පල්ලිය යෑමට නැගිට්ටේ උදේ 5.30ට පමණ. බීමත්ව කෙළින් කටින් ඇවිද එන්නට අමාරු තත්වයෙන් සතාසිවම් කාමරයට එන ආකාරය ඔහු දැක්කේ ඒ අවස්ථාවේ දී.

වහාම නාන කරාමයට අල්ලා සතාසිවම් පිරිසිදු කර ගත් නවරත්න කෙසේ හෝ තම සගයාව උදේ ආහාරයට රැගෙන ඒමට සමත් වුනා.

ඊට පස්සේ තමයි හොඳම හරිය සිද්ධ වුනේ.

එදා රාත්‍රිය මුළු රාත්‍රිය පුරාම බීමත්ව, නටමින්, ගයමින් විනෝද වූ සතාසිවම් පසු දින උදෑසන දකුණු ඉන්දියානු පන්දු යවන්නන්ට දැඩි ලෙස පහර දෙමින් සිය ද්විත්ව ශතකය ලබා ගත්තා. දකුණු ඉන්දියානු කණ්ඩායමේ වේගවත්ම පන්දු යවන්නා වූ සී. ආර් රංගචාරිට අනුකම්පා විරහිතව පහර දුන් සතාසිවම් එදා ලකුණු 215ක් රැස් කළා.

ඉනිම නිමා වී නැවත ක්‍රීඩාගාරයට එන සතාසිවම්, බර්නාඩ් ජයසූරිය මහතාට ඇහෙන්නට කෑගසා මෙහෙම කිව්වා

ඒයි බර්නාඩ්, ටිකට්ස් ලෑස්ති ඇති නේද?”

සතාසිවම් ඔට්ටුවලට ක්‍රීඩා කරපු එකම අවස්ථාව ඒක නෙවෙයි. වතාවක් සතාසිවම් ගාවට ආපු ගෑණු දැරිවියක් මෙහෙම කිව්වා. මේ දැරිවි වෛද්‍ය ශිෂ්‍යාවක්.

මම මගේ යාළුවෙක් එක්ක චොක්ලට් දෙකක ඔට්ටුවක් ඇල්ලුවා ඔබ තමයි මේ මැච් එකේ වැඩියෙන්ම ලකුණු ගහන්නේ කියලා.”

තරුණියගේ ඉල්ලීම ඉටු කරමින් සතාසිවම් මේ තරගයේ දී ලකුණු 111ක් රැස් කළා.

තරගයෙන් අනතුරුව සතාසිවම් වෙත පැමිණි තරුණිය සතාසිවම්ට තමන් දිනා ගත් චොක්ලට් එකක් ලබා දෙන්නත් අමතක කළේ නැහැ.

මේ තරගයෙන් අති විශිෂ්ට ජයක් ලබන්නට සිලෝන් කණ්ඩායම සමත් වුනා.

මහාදේවන් සතාසිවම්, ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් සමඟ

සතා නිදි කළ සිංහල සමාජ ක්‍රීඩකයෝ

දශක ගානක් එපිටට ගියාම සිංහල සමාජ ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයත් අතර පැවැත්වෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගයට දේශීය තරග පිටියේ හිමි වන්නේ සුවිශේෂී තැනක්.

 මහදේවන් සතාසිවම් එදා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය නියෝජනය ‍කරමින් සිටියේ.

අනෙක් පසෙන් සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙහෙයවමින් හිටියේ උපායශීලී එෆ්. සී ද සේරම්.

සතාසිවම් මෙල්ල කිරීම ලෙහෙසි පහසු නොවෙයි. විවිධ උපායන් කල්පනා කළ සිංහල ක්‍රීඩා සමාජ නායකයා අවසානයේ වෙනස්ම ආකාරයක උගුලක් සතාසිවම් වෙනුවෙන් අටවන්නට තීරණය කළා.

සතාසිවම්ට සිංහල ක්‍රීඩා සමාජයෙන් කා බී විනෝදවන්නට ආරාධනාවක් ලැබෙන්නේ හරියට තරගයට කලින් දවසේ.

ආරාධනාව පැහැර නොහැර සිංහල ක්‍රීඩා සමාජයට ගිය සතාසිවම්ව හොඳින් බීමතින් සප්පායම් කරන්නට එදා සිංහල ක්‍රීඩා සමාජ සාමාජිකයින් වග බලා ගත්තා.

තරගය දා අලුයම වන තෙක් කා බී තුටු වූ සතාසිවම් එදා තම නිවසට ගියේ නැහැ. ඒ ආකාරයෙන් ගෙදර නොගිය ඔහු රාත්‍රිය පහන් කළේ තමන්ගේ මෝටර් රථයට වී නිදාගෙන.

සතාසිවම් සිය කාරයට වී නින්දට වැටෙන විට සිංහල ක්‍රීඩා සමාජ සාමාජිකයෝ තම සැලැස්ම අකුරටම ක්‍රියාත්මක වන බව දැන දැනම සතුටින් විසිර ගියා.

පසුදින සිංහල ක්‍රීඩා සමාජ සාමාජිකයෝ තව තවත් සන්තෝසයට පැමිණියේ තරගයේ උදෑසන කාසියේ වාසිය ද ඔවුන්ට පක්ෂපාතීව වැටුණ බැවින්.

සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක එෆ්. සී ද සේරම්ගේ ආරාධනාවෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ මුල්ම කඩුලු දෙක, තරගය ඇරඹී විනාඩි විස්සක් යන තැන, ලකුණු පුවරුව විසි හතරක් වෙද්දී ගැලවී වැටුණා.

කඩුලු දෙක දැවී යන අතරවාරයේ මෝටර් රථයේ රැය පහන් කළ සතාසිවම් කෙළින්ම ක්‍රීඩක විවේකාගරයට ගොස් හොඳින් නා කියා ගත්තා. පිතිකරණ ලැයිස්තුවේ හතරවැන්නා ලෙසින් පිටිය මැදට පැමිණියා.

සතාසිවම්ගේ පහරක් දෙකක් එල්ල වන විට තමන්ට කොහේ නමුත් බරපතළ ලෙස වැරදී ඇති බව සිංහල ක්‍රීඩා සමාජ නායකයාට ඒත්තු ගියා.

කලින් දවසේ රාත්‍රියේ කරටි කැඩෙන්නට ගැසූ සතාසිවම් තරගයේ දිවා ආහාරයටත් ප්‍රථම ශතක සීමාවෙන් ඔබ්බට පැන ගත්තා. ශතක ගමනේ දී සතාසිවම්ගේ පිත්තෙන් ගිලිහුණු පන්දුව දාහත් වරක් හතරේ සීමාව පසු කර තිබුණා.

ලිස්ට් එකේ ඊළඟට ඉන්නේ කවුද?

අතිශය දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් නම් දැරූ සතාසිවම් ප්‍රසිද්ධ වූ අනෙක් කාරණාව නම් සිය බිරිඳ මරා දැමුණු විට අදාළ මිනීමැරුම් සිද්ධියේ ප්‍රධාන සැකකරුවා ලෙස නම් කිරීම.

රෙජීනා සතාසිවම්ගේ මිනීමැරුම් නඩුව යන අතරවාරයේ සතා තමාගේ කිට්ටු මිත්‍රයෙකුගෙන් මෙහෙම ඇහුවා.

“මචං, උඹේ ගෑණි මොකද මේක ගැන හිතන්නේ, එයා හිතන්නේ මම මිනීමරුවෙක් කියල ද?”

“වයිෆ් විතරක් නෙවෙයි එයාගේ යාළුවෝ ටිකත් හිතන්නේ මේක කළේ උඹ කියල තමයි” සතාසිවම්ගේ මිත්‍රයා පැවසුවා

රජින්ද්‍රා සතාසිවම් ඝාතන නඩුව අවසාන වූයේ ඉතාම ආන්දෝලනාත්මක ආකාරයෙන් මහදේවන් සතාසිවම් නිදොස්කොට නිදහස් කිරීමෙන්. නමුත් රටවැසියා නඩු තීන්දුව පිළිගැනීමට කැමති වූයේ නැහැ.

එල්ලුම් ගහට යැවිය යුතු මිනීමරුවෙකු නිදහස් කොට ඔබ කරන ලද්දේ බරපතළ ද්‍රෝහී ක්‍රියාවක්. ඔබ එංගලන්තයට යන ගුවන් යානය කඩා වට්ටවා ඔබව විනාශ කරන මෙන් අපි සර්වබලධාරී දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු.”

සතාසිවම් වෙනුවෙන් කතා කරන්නට තකහනියක් එංගලන්තයෙන් පැමිණි මහාචාර්ය සිඩ්නි ස්මිත්ට ලියමනක් ලැබෙන්නේ ඒ නිසාය.

නඩුව අහවර වී උසාවියෙන් පිටතට පැමිණෙන සතාසිවම්ට තම මිත්‍රයා නැවත වතාවක් මුණගැසුණා. සිය මිත්‍රයා පසු කර යන සතාසිවම්ට යමක් මතක් වුනා. ඔහු ආපසු හැරී ගොස් තමාගේ මිතුරාට මෙසේ පැවසුවා.

දැන් උඹ ගිහින් උඹේ ගෑණිට කියපන් ලිස්ට් එකේ ඊළඟට ඉන්නේ ඒකිය කියල.”

මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ගේ Sathasivam of Ceylon පොත ඇසුරු කර ගන්නා ලදි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<