ෆිනිෂර් බිහි කළ උද්වේගකර රාත්‍රිය

1513

දිනය 1996 ජනවාරි පළවැනිදා. ස්ථානය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය. මේ කියන දවසේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා තුන්කොන් තරගාවලියේ තරගයක් වෙනුවෙන් සටන් වදිමින් ඉන්නවා.

මේ සටන හිතුවට වඩා ඉතාම තියුණු තරගයක් බවට පත්වුනා.

දැන් තරගයේ අවසානයට ඔන්න මෙන්න. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එක පන්දුවකට ලකුණු හතරක් අවශ්‍ය කරන මොහොතක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රොජර් හාපර් තමන්ගේ සීමාවේ සිට පන්දු යවන්න සූදානමින්. කොදෙව් නායක කර්ට්නි වෝල්ෂ් ආපහු වතාවක් පිටිය සිසාරා හොඳ නිරීක්ෂණයක් කළා. ඔක්කොම පන්දු රකින්නෝ හරි තැන්වල.

දැන් ඔබ මට කියන්න ඕන ක්‍රිකට් ලෝලියෙක් විදියට අලුත් අවුරුද්දක් ආරම්භ කරන්න මීට වඩා හොඳ විදියක් තියනවා ද කියන දේ. උස් හඬ නඟන ප්‍රේක්ෂකයින් දහස් ගණනක් මැද කෙරෙන උද්වේගකර ක්‍රිකට් තරගයක්. තරගය අවසන් පන්දුව දක්වා දෙපිළටම විවෘතයි.

වැදගත්ම කාරණාව මේ වගේ අවස්ථාවක පිතිකරණ අන්තයේ ඉන්න පිතිකරුවා කොයි තරම් දක්ෂ වැඩ්ඩෙක් වුනත්, ඔළුව මේ වගේ වෙලාවක වැඩ කරන්නේ කොහොමද කියන දේ.

ඔහුගේ යටි හිත යකාගේ කම්මල වගේ ඇති නේද?

මේ වෙලාවේ ඔළුවේ තියෙන්නේ කොහෙන් ද මම හතරක් ගහන්නේ?

මේ අවස්ථාවේ පිතිකරණ අන්තයේ හිටගෙන ඉන්නේ විසිපස් හැවිරිදි තරුණ ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක්. හැබැයි ඔහු දැනගෙන හිටියේ නෑ මේ උදාවෙන්නේ ඔහුගේ දෛවය සදහටම වෙනස් කරන මොහොත කියලා.

“අවසන් පන්දුවට පෙර මම ක්‍රීඩාංගණය වටේටම තියෙන හිඩැස් ටික හිතින් සිතියම් ගත කළා. මට අවස්ථාව තියෙන්නේ මිඩ්විකට් කලාපය, කවර් කලාපය සහ කෙළින්ම පන්දු යවන්නාට පිටුපසින් කියල මට හැඟී ගියා.

පන්දු යවමින් සිටියේ රොජර් හාපර්. ඔහු ඉතාම හොඳින් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටියේ. මම දැන සිටියා ඔහු වේගයෙන් යෝකර් ආකාරයේ පන්දුවක් එවීමට තමයි සූදානම් වෙන්නේ කියලා.

හාපර් පන්දුව යොමු කරන අවස්ථාවේ දී මම මදක් පා ඉන්න දෙසට බර වුනා. ඒ වේගවත් පහරක් වෙනුවෙන් යම් ඉඩක් ලබා ගැනීමට.

හාපර්ට ඔහුගේ පතිතය අඟල් කිහිපයකින් වැරදුණා.

බෑං!

පන්දුව පිත්තේ වදිනවාත් සමඟම මම දැන ගත්තා එය අනිවාර්යයෙන් ම හතරේ සීමාව පසු කරන බව. මගේ දෑත් උද්දාමයෙන් ඉහළට එසවුණා.

ඒ ඉනිම මගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කළ ඉනිමක්.”

ඒ උත්කර්ෂවත් මොහොත, ඒ රාත්‍රිය ගැන මයිකල් බෙවන් නම් අපේ කතානායකයා පහුකාලෙක කිව්වේ එහෙම.

බෙවන් කියන දේ සැබෑවක්. එය තමයි සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවේ තරග නිමා කරන්නෙකු නැතහොත් ෆිනිෂර් කෙනෙකුගේ කාර්‍යභාරය ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්ත ඉනිම.

මේ තරගාවලිය වෙනුවෙන් මයිකල් බෙවන් සහ ස්ටුවර්ට් ලෝ දෙන්නට ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයේ අවස්ථාවක් ලැබෙන්නේ ස්ටීව් වෝ ආබාධයකට ලක්වූ නිසා සහ ඩේවිඩ් බූන් හදිස්සියේම සීමිත පන්දුවාර කණ්ඩායමෙන් ඉවත් කරපු නිසා.

“සමහර විට ටගා (ස්ටීව් වෝ) සුවෙන් හිටියා නම් සමහර විට මට එක්දින කණ්ඩායමේ තැනක් නොලැබෙන්න තිබුණා.

මම කොදෙව්වන් සමඟ තරගයට ගියේ ඉතාම හොඳ මානසික තත්ත්වයකින්. ඊට කළින් තරග තුනේ පිළිවෙළින් 32, 44, 18 ලෙස ලකුණු ලබා ගන්නට මට පුළුවන් වුනා. මේ ඉනිම් තුනේ දී ම මාව දවා ගන්න ප්‍රතිවාදීන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එදා කොදෙව් කණ්ඩායම අපිට ලබා දුන් ඉලක්කය ලකුණු 173ක්.

මේ ලකුණු ප්‍රමාණය හඹා ගියපු ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව එක වරෙක කියවුණේ ලකුණු 38කට කඩුලු 6ක් ලෙස. කඩුල්ලේ සිටින අවසාන නම් දැරූ පිතිකරුවා මම.

ඉලක්කය අමාරු එකක් නෙවෙයි. නමුත් වැස්ස නිසා තණතීරුවේ පිතිකරණය ඉතාම අමාරු වුනා.

කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන දැවැන්තයින් දෙදෙනා කර්ට්ලි ඇම්බ්‍රෝස් සහ කර්ට්නි වෝල්ෂ් අපට කිසිම බුරුලක් දුන්නේ නැහැ.

මම හිතා ගත්තා අවසානය වෙනකල් සටන අතාරින්නේ නෑ කියලා. කොහොම හරි පුළුවන් තරම් තරගය ඇදගෙන යනවා කියන සිතිවිල්ල මගේ හිතේ තිබුණා.

එදා තරගයේ අවසන් පන්දුවාර පටන් ගන්න කොට අපිට දිනන්න ලකුණු 7ක් ඕන. හැබැයි බලාපොරොත්තු වෙච්ච විදියට අපිට ලකුණු ලබා ගන්න බැරි වුනා. ඒ නිසායි අන්තිම බෝලෙට ලකුණු හතරක් ගහන්න වෙන තැනට වෙනකල් අපි හිර වුනේ.

ඒක හිතා ගන්න බැරි ජයග්‍රහණයක්. බවුන්සර් පන්දුවට දුර්වල ක්‍රීඩකයෙක් කියන තැන ඉඳලා තරග නිමා කරන්නෙකු ලෙස ලේබලය මට ඇලවෙන්න මූලික වුනේ ඒ ඉනිම.

පන්දුව හතරේ සීමාව පහුවෙද්දිම කැමරා දැල්වෙන්නට වුනා, රසිකයෝ මහ හඬින් ඔල්වරසන් දෙන්නට වුනා. මගේ කණ්ඩායමේ සගයන් මට සුබ පැතීමට පෙළ ගැහුණා. කල්පනා කරන්න වෙලාවක් තිබුණේ නැති තරම්. මා එක්ක සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට මාධ්‍යවේදීන් පොර කන ආකාරය මට පෙනුණා.

මේ ඉනිමෙන් පස්සේ කොහේ හිටියත් මිනිස්සු ක්ෂණිකවම මාව අඳුනගත්තා.

 ඒ මයිකල් බෙවන් නේද?

මට කවදාවත් ප්‍රසිද්ධිය හුරුපුරුදු දෙයක් වුනේ නෑ. ප්‍රසිද්ධිය හැමදාම මම මඟ ඇරපු දෙයක්. හැබැයි ඉස්සරහ කාලේ නම් ලේසි වෙන එකක් නෑ කියලා මට හිතුණා. කීර්තිමත් පුද්ගලයෙක් වීම සියයට සියයක්ම පහසු දෙයක් නෙවෙයි. හැබැයි පුළුවන් තරම් ප්‍රවේසමෙන් ප්‍රසිද්ධිය මට ඕන විදියට හසුරවා ගන්න මම තීරණය කළා.

පස්සේ දවසේ මම ගුවන් විදුලි මධ්‍යස්ථාන 18ක් සමඟ සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගී වුනා. ඊට අමතරව රූපවාහිනී ජාල තුනක් මම එනකල් මයික් අල්ලන් බලන් හිටියා. පුවත්පත් වලට ලියන උදවියගෙන් මට ගැලවිල්ලක් ලැබුනෙත් නැහැ. ඔවුන් පත්තර පිටු පුරා ලොකු අකුරෙන් බෙවන්ගේ වික්‍රමය ලියා තැබුවා.

අදටත් මා හමුවන බොහෝ දෙනෙක් කියන කතාවක් ඔවුන් එදා සිඩ්නි ක්‍රීඩාංගණයේ සිට සජීවව තරගය නැරඹුවා කියන එක. ඇත්තටම එදා තරගය අතරතුර ඇද හැලිච්ච වර්ෂාවත් එක්ක බොහෝමයක් ප්‍රේක්ෂකයින් නැවත නිවෙස් වලට ගියා.

එදා ක්‍රීඩාංගණයේ සිටි බව පවසන බොහෝ දෙනෙක්ට විශේෂිත අවස්ථාවක කොටස් කරුවන් වන්නට අවශ්‍ය බවයි එවන් අවස්ථාවක මට හැඟී ගොස් තිබෙන්නේ.

එදා තරග නිමා කරන්නා එහෙමත් නැත්නම් දි ෆිනිෂර් කියන ලේබල මට ගැලවිය නොහැකි විදියට ඇලවුණා. මුළු ජීවිත කාලෙම මට මේ ලේබලය එක්ක ජීවත් වෙන්න වෙයි.”

මයිකල් බෙවන්ගේ The Best of Bevan ග්‍රන්ථය ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<