සර් ජඩේජා, ප්‍රාන්තෙට ද්‍රෝහී විය

4816
Sir Jadeja, the betrayer

සර් ජඩේජා බිහි වුනේ හින්දුස්තානයේ වයඹ පළාතෙන්. සරු සංස්කෘතියක ලක්ෂණ ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමේම තියෙනවා. ඔවුන් ඉන්දු ආර්යයන්.

භාරත නිදහස් සටනේ පුරෝගාමීන් රැසක්ම ගුජරාටයෙන් පැමිණියන්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, 70%ක්ම සංක්‍රමණිකයන්. යුරෝපීය දේශ ගවේෂකයෙකු වුණු ලුඩොවිකෝ ඩි වර්දෙමා 15 වැනි සියවසේ දී ලියන විදියට ගුජරාත් ජනයා,

“ලේ ගෑවී ඇති කිසිවක් ආහාරයට නොගන්නා, කිසිදාක ජීවත් වන සත්වයෙකු ඝාතනය නොකරන සහ මුවර් (උතුරු අප්‍රිකානු මුස්ලිම්වරු) හෝ ප්‍රධාන ආගමකට අයත් නොවන නිශ්චිත ජාතියකි”.

ජෛනාගම ගැන අහලා තියෙන අයට ජෛනයන් වැඩි පිරිසක් ජීවත් වූ ප්‍රාන්තයක් හැටියටත් ගුජරාටය හඳුන්වන්න පුළුවන්. මට ගොඩක් සමීප ඔවුන්ගේ සංගීතය. ඒක හවසට පල්ලියකින් ඇහෙන ආදාන් එකක් වගේ භක්තිමත්, තීව්‍රයි.

ගුජරාත් ප්‍රාන්තයේ සාම්ප්‍රදායික ඇඳුම

භාරත නිදහස් සටනේ ඉදිරිපෙළ සටන්කරුවන්ගෙන් පැවත එන නමක් තමයි ජඩේජා කියන්නේ.

වසංගත වලට ප්‍රසිද්ධියක් උසුලන ගුජරාටයේ ජනගහනයෙන් බාගයක් විතර ලෙඩ රෝග වලින්ම මියගියා කියලයි කියන්නෙ. එහෙව් ප්‍රාන්තයකින් බිහි වෙලා, ජානමය අඩුපාඩු වලට අහු නොවී, හිමි ඉඩම් වල වැඩ කරලා, ගමේ අයියෙක් වගේ ඉඳලා, මිනිසුන් බිලියනයකට (මිලියන 1000කට) වඩා ඉන්න රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරිලා, ජාත්‍යන්තර ක්‍රිකට් වලට ඇවිත් නමක් හදාගෙන… මේ මොහොතේ ලෝකයේ ඉන්න දක්ෂතම පන්දු රකින්නා වෙලා, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් ඉහළින්ම ඉන්න කෙනෙක් වෙලා…

සටන්කාමී ඉක්මන් ඉනිමක් ක්‍රීඩා කරලා තමන්ගේ රටේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් නායකයාට ගෞරව දක්වපු රවීන්ද්‍ර ජඩේජා තමයි සර්.

නිශ්චිත ආදායම් මාර්ගයක් නැති මුරකරුවෙකුගේ සහ හෙදියකගේ පුත්‍රයෙක්. සාමාන්‍යයෙන් ජාම්නගර් වල කාන්තාවන් රැකියා වලට නොගියට ජඩේජා පවුල ඒ පැත්තෙන් ටිකක් නූතනයි.

රවී ජඩේජාගේ පියා තද මනුස්සයෙක්. සැර පරුෂ කෙනෙක්. පියකමට වඩා ඔහු දඬුවම්කරුවෙකුගේ රාජකාරිය කරා කියලා තමයි පවුලේ අය කියන්නේ.

පොඩිකාලේ තමන්ට වඩා ලොකු අයියලත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරපු ජඩේජාට පිතිකරණයේ යෙදෙන්න නොලැබුණු තරම්. ඒක ලෝක සත්‍යයක්. සනත් ජයසූරිය දක්ෂ දඟපන්දු යවන්නෙක් වෙන්නෙත් එහෙම. ජඩේජාටත් එහෙමයි.

ඒත් හීනෙනුත් ක්‍රිකට් පිටියේ හිටපු ජඩේජා රෑ නින්දෙන් කිව්වෙත්, “ඒයි බෝලේ ගනිං බෝලේ ගනිං, අතෙන්ට පලයං,” කියලා.

එහෙව් ආශාවක ප්‍රතිඵලයක් තමයි රවීන්ද්‍ර ජඩේජාගේ බිහි වීම. ඔහුව හදලා වඩලා ගත්තේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ මහේන්ද්‍ර සිං දෝනි කියන නායකයා.

ඒ නායකයා වෙනුවෙන් උපහාර දැක්වීමක් පෙර දා රාත්‍රියේ දුටුවා කියලයි මට හිතෙන්නේ.

ස්ටීව් වෝගේ අති ප්‍රබල ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ හිටපු ජස්ටින් ලැන්ගර් කියන්නේ, “ඔහු මට තාප්පයක් මැද්දෙන් දුවන්න කිව්වොත් මම දුවනවා,” කියලා. නායකයෙකු විසින් ක්‍රීඩකයන්ට දෙන විශ්වාසයට ප්‍රති විශ්වාසය ලැබෙන්නේ එහෙමයි.

ජඩේජා වෙනුවෙන් දෝනි කොච්චර දේවල් කරන්න ඇති ද…

සාමාන්‍යයෙන් ශ්‍රීමත් නැත්නම් “සර්” කියන යෙදුම ඔබේ නම ඉස්සරහින් ලබා ගන්න නම් බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් හෝ ලෝකය වෙනුවෙන් මහා සේවයක් කළ යුතු වෙනවා. ඒත් ජඩේජා, සර් ජඩේජා වෙන්නේ දෝනිගේ අතින්. ඒක තමයි ඔහුගේ සුරතල් නම.

දෝනි ඔහුව කොච්චර කියවගෙන තිබුණ ද, කියන්නේ, එක පාරක් දෝනි මෙන්න මෙහෙම ට්විටර් පණිවුඩයක් නිකුත් කළා.

“සර් ජඩේජාට ඔබ එක පන්දුවකින් ලකුණු දෙකක් වාර්තා කරන්න කිව්වොත් ඔහු එක පන්දුවක් ඉතිරිව තියෙද්දි ලකුණ වාර්තා කරයි.”

ඒක විහිළුවක් තමයි ඒත් විහිළුවක්ම නෙමෙයි. ඒ තමයි දෝනිගේ කියවීම.

ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඔහුට සර් කිව්වේ 2009 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු අසාර්ථක වූ නිසා ඇනුම් පදයක් හැටියට. ඒත් අද වෙනකොට කොහොමද?

2023 IPL අවසන් මහා තරගයේ දී ජඩේජා අවසන් පන්දු දෙකට 6 පහරකුයි 4 පහරකුයි වාර්තා කරලා ලකුණු 10ක් ලබාගෙන, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ශූරතාවය කරා ගෙන ගියා. ඒ ඔවුන්ගේ 5 වැනි IPL ශූරතාවය. දැන් ඔවුන් තමයි IPL ඉතිහාසයේ වැඩිම ශූරයන්.

“ඔබ සර් ජඩේජාට පන්දු දෙකක දී ලකුණු 10ක් ලබා ගන්න කිව්වොත්, ඔහු ඔබට IPL ශූරතාවයකුත් ගෙන ඒවි.”

ගුජරාටයේ උපන් මිනිහෙක් ගුජරාත් ටයිටන්ස්ලව මෙල්ල කරලා දකුණු ඉන්දියාවට ශූරතාවය අරන් යන එක අමුතු වැඩක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<