Major Clubs T20 පිටිය කැලඹූ වීරයා

8723

නිමා වූ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වීරයා බවට පත් වීමට මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලහිරු සමරකෝන් සමත් වුනා. ඔහු මේ සම්මානයට හිමිකම් කියන්නේ මෙවර තරගාවලියේ දී තරග 4ක දී කඩුලු 12ක් දවා ගනිමින්.

ලහිරු මීට පෙර නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ජාතික සුපර් ලීග් 2023 එක්දින ක්‍රිකට් තරගාවලියේ ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගත්තා. ඔහු එම තරගාවලියේ දී තරග 8ක දී කඩුලු 15ක් දවා ගන්නවා. එමෙන් ම එම වසරේ ම නිමා වූ ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔහු තරග 4ක ඉනිම් 7ක දී කඩුලු 15ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ලහිරු පෑ මෙම දක්ෂතාත් සමඟින් මේ දිනවල මෙරට සංචාරයේ නිරත දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග වදින ශ්‍රී ලංකා A සංචිතයේ ස්ථානයක් ද හිමි කර ගැනීමට සමත් වෙනවා.

ලැබූ සම්මාන අතරට අලුතෙන් ම ලැබූ මේ සම්මානය ගැනත් ඇත්තේ කිව නොහැකි තරමේ සතුටක්. තරගාවලියට එක් වෙද්දී සුවිශේෂී යමක් කළ යුතුයි කියන හැඟීම තිබුණා. ඒ වෙනුවෙන් මහන්සි වුනා. මේ සම්මානය ලැබීම පිටුපස විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මේ තරගාවලියේ දී මූවර්ස් කණ්ඩායමේ සහ ක්‍රීඩා සමාජයේ සිටින සියලුම දෙනාගෙන් ලැබුණ සහයෝගය අමතක කරන්න බැහැ,” ලහිරු සමරකෝන් ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

අගනගරේ ක්‍රිකට් පිටි කලඹමින් දක්ෂතා දැක්වූ ලහිරුගේ ගම වල්පලාගොල්ල. මහනුවර, හතරලියද්ද ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයක්. මෑතක සිට ප්‍රසිද්ධියට පත් නෙල්ලිගල පන්සල දෙසට, එහෙමත් නැත්නම් මුරුතලාව දෙසට වෙන්න කිලෝ මීටර් 18ක 20ක විතර දුරකින් පිහිටි සුන්දර ගම්මානයක්.

ඒත් ඉතිං, ලහිරුලා නම් මේ සුන්දරත්වය දුටුවේත්, වින්දේත් කටුක ලෙසින්. ඊට හේතු වුනේ ක්‍රිකට්. දන්න කියන කාලයේ සිට ම ලහිරුට අවශ්‍ය වුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. ඒත්, ඒ පහසුකම් ලහිරුලාගේ මේ සුන්දර ගම්මානයේ තිබුණේ නැහැ.

ලහිරුගේ පාසල් ගමන ආරම්භ වෙන්නෙත් ඒ කිට්ටුව ම තිබුණ මුරුත්දෙණිය මහා විද්‍යාලයෙන්. ඒකත් ඉතිං, ගමේ සුන්දරත්වය අභිබවා යන තරමේ අඩු-පාඩුකම් සාර සුබාවට තිබුණ පාසලක්.

පුංචි දවස්වල මගේ පාසල් ගමන එතරම් ම හොඳින් කෙරිලා නෑ. සෙල්ලමට ම තමයි හිත කියලයි අම්මා තාත්තා කියන්නේ. නිතර දෙවේලේ බැට් එකත් බෝලෙත් තමයි අතේ තිබිලා තියෙන්නේ. ලොකු කුඩා භේදයක් නැතිව ඒකට මට ම හරි යන පිරිසක් හිටියලු හතර වටේ. පාසලේත් හරියකට ක්‍රීඩාවක් කියල නෑ. ක්‍රිකට් නම් තිබුණේ ම නෑ. මේ නිසා පුංචි දවස්වල සිට ම මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලකට යවන්න කියල ගෙදරින් ඉල්ලල තියෙනවා.”

පුංචි ලහිරුගේ මේ ඉල්ලීම ඉටු කරන්න තරම් හැකියාවක් ලහිරුගේ දෙමාපියන්ට තිබිල නෑ. ලහිරුගේ පියා ටී. බී. සමරකෝන් සිය පවුල රැක ගත්තේ පෙදරේරු වෘත්තියෙන්. මව සී. කේ. අබේකෝන් ගෘහණියක් ලෙසින් කෙතරම් සකසුරුවමින් පවුලේ විය-හියදම් සරි කර ගත්තත් ලහිරු ඇතුළු දරු තිදෙනාගේ පාසල් සහ අනෙකුත් වියදම් සමඟ කුටුම්භ ජීවිතය නඩත්තු කිරීම පහසු වූයේ නැහැ. ඒ සමඟ ලහිරුගේ ඉල්ලීම වූ වෙනත් පාසලකට යැවීම කෙසේවත් කළ නොහැකි තත්ත්වයක් වුනා.

තාත්තත් අම්මත් කිව්වෙ ගමේ පාසල හොඳයි. ඒකෙ ඉගෙන ගන්න පස්සෙ ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා. ඒත් ඉතිං මගේ කැමැත්ත තිබුණේ ම ක්‍රිකට් ගහන්න පුළුවන් පාසලකට යන එක. මේ නිසා අන්තිමට අම්මා කිව්වේ සෙල්ලම අඩු කරලා ශිෂ්‍යත්ව විභාගය හොඳට ලියලා පාස් වෙන්න. එතකොට ක්‍රිකට් තියෙන පාසලකට දාන්නම් කියලා. මේක මට ටිකක් ඇඟට දැනුණා.”

එතැන් සිට ලහිරු පිත්තත් පන්දුවත් වගේ ම පත පොතේ වැඩ කටයුතු ද කරන්න ගත්තා. එහි ප්‍රතිඵලය වූයේ ලහිරු ශිෂ්‍යත්වය සමත් ව මුරුත්දෙණිය විද්‍යාලයෙන්, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට එක් වීමට වරම් ලැබීමයි.

මගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භය සිදු වෙන්නේ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමෙන්. ඒ මහනුවර සුමංගල විද්‍යාලය සමඟ තරගයකින්. එම තරගය මගේ පළමු තරගය වගේ ම මේ වෙද්දී ජාතික කණ්ඩායම නියෝජනය කරන ලහිරු කුමාරගේත් පළමු තරගය. එම තරගයෙන් අපි ජයග්‍රහණය කරනවා. මම පිතිකරුවෙක් ලෙසින් ලකුණු 60ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 3ක් දවා ගනිමින් එම තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් වෙනවා. ඒ තරගය මගේ දක්ෂතා ගැන විශ්වාසයක් ඇති කිරීමට මට විශාල ශක්තියක් වුනා.”

ඉන් අනතුරුව ලහිරු වයස අවුරුදු 15න් පහළ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟ පැවති තරගයක දී ලකුණු 11කට ප්‍රතිවාදී කඩුලු 8ක් දවා ගන්නවා.

ඒ තරගයෙන් පස්සේ මට ධර්මරාජ විද්‍යාලයට එන්න කියලා බොහෝ දෙනෙක් කතා කළා. ඒත් ඒ වෙද්දී නුගවෙල දාල යන්න තරම් හිතක් මට තිබුණේ නැහැ. මම දිගට ම නුගවෙල විද්‍යාලයේ රැඳී සිටිමින් වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම්වලටත් ක්‍රීඩා කළා.”

අනතුරුව සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන ලහිරු උසස් අධ්‍යාපනය මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවේ ද අනාගතය වෙනුවෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟ එක් වෙනවා. 2014 වසරේ දී ධර්මරාජය හා එක් වෙන ලහිරු 2015 වසරේ පැවති ධර්මරාජ – කිංග්ස්වුඩ් වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුලු 10ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම පන්දු යවන්නා මෙන් ම තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගන්නවා.

ඒ වගේ ම මම එම වසරේ ධර්මරාජයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා. මේ සම්මාන මගේ පාසල් කාලයේ දී මට ලැබුණ ඉහළ ම අගය කිරීමක් ලෙසයි හැඟෙන්නේ. ඒ වගේ ම එතැන් සිට මට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයට එක් වීමට ද ආරාධනා ලැබෙනවා.”

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයේ රැඳී සිටින ලහිරු, වයස අවුරුදු 19න් පහළ පළාත් තරගාවලියට ද එක් වෙමින් එහි ද දක්ෂතා දක්වනවා. මේ හේතුවෙන් ඔහුට මෙරට පැමිණි පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් ව තරග කිරීමට ද අවස්ථාව උදා වෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මට මගේ දායකත්වය දක්වන ලැබුණ පළමු අවස්ථාව ඒක. මම එම තරගාවලියේ දී තරග 2කට ක්‍රීඩා කරමින් කඩුලු 2 බැගින් කඩුලු 4ක් දවා ගන්නවා. නමුත් පිතිකරුවෙක් ලෙසින් මට එම තරගාවලියේ දී ලොකු දෙයක් කරන්න බැරි වුනා. කොහොම වුනත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මට මගේ දායකත්වය දැක්වීමට ලැබීම ගැන ලොකු සතුටක් දැනුණා.”

ඉන්පසුව මෙරට පැවති ඉන්දියා, එංගලන්ත සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ද සහභාගී වීමට ලහිරු සමත් වුනා. අනතුරුව 2016 වසරේ දී බංග්ලාදේශයේ දී පැවති වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වීමට ද ලහිරු සමත් වෙනවා.

ඊට පසුව බංග්ලාදේශයේ දී පැවති ආසියානු නැගීඑන කණ්ඩායම් අතර තරගාවලියට සහභාගී වෙමින් එහි ශූරයන් වීමටත්, එංගලන්තය හා බංග්ලාදේශයට එරෙහිව ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නියෝජනය කිරීමටත් සහ පාකිස්තාන A කණ්ඩායම හා සමඟ මෙරට දී පැවති තරගාවලිය හා එක් වීමට මට හැකි වුනා.”

ලහිරු මේ වෙද්දී පළමු පෙළ තරග 47කට සහභාගී වෙමින් ඉනිම් 76ක දී ලකුණු 1449ක් ලබා සිටිනවා. ඒ අතරට ශතකයක් සහ අර්ධ ශතක 9ක් ඇතුළත්. එමෙන් ම පළමු පෙළ කඩුලු 96ක් ලබා ගැනීමට ද ලහිරු සමත් ව සිටිනවා. පන්දු යැවීමේ දී ඔහුගේ හොඳම දක්ෂතාව වන්නේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 63කට දවා ගත් කඩුලු 6යි.

එමෙන් ම List A තරග 48ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 724ක් සහ කඩුලු 53ක් මෙන් ම විස්සයි විස්ස තරග 40ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 527ක් සහ කඩුලු 38ක් දවා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.

මේ අතරට වෙළඳසේවා පිටියේ ද දක්ෂතා දක්වන ලහිරු 2020 වසරේ හේලීස් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

ලහිරු සිය මව, පියා සහ නැගණිය සමඟ

 “පුංචි කාලයේ සිට ම හිත පුරා තියෙන බලාපොරොත්තු රාශියක් සමඟිනුයි මේ ගමන එන්නේ. පොඩි ගමක සිට, අනන්ත දුෂ්කරතා විඳගෙන ආපු මේ ගමන ගැන ආපහු හැරිලා බලද්දී ලොකු සතුටක් දැනෙනවා. ඒ ගමනේ දී මට මට විවිධාකාරයෙන් විවිධ අය උදව් කරලා තියෙනවා. ඒ සියලුම දෙනාට මම ස්තුති කරනවා,” ලහිරු පවසනවා.

මේ අය අතර අම්මත් තාත්තත් අංක එක කියලයි ලහිරු පවසන්නේ.

කොපමණ නැති බැරි කම් තිබුනත් අම්මත් තාත්තත් කවදාවත් ක්‍රිකට් ගහනවට අකමැති වුනේ නැහැ. අපේ නැති බැරි කම්වලට වඩා අම්මටත් තාත්තටත් ඕන වුනේ මගේ ක්‍රිකට් ජීවිතය ගොඩ නගන්න. ඒ වෙනුවෙන් ඔවුන් මටත් වඩා විශාල කැප කිරීම්වලට මුහුණ දුන්නා. ඒ වගේ ම මගේ අයියත් – නංගිත් මගේ ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් විශාල කැපවීමක් කළා.”

ලහිරුගේ අයියා, සමීර සමරකෝන් සහ නංගි මදාරා සමරකෝන්. මේ දෙන්න ම යුද හමුදාවේ සේවයේ නියුතු අය. නංගි නම් යුද හමුදාව හා එක් වෙන්නේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න.

අයියා පාසල් යන වයසෙදිම ගෙදරටත් කියන්නෙ නැතිවයි යුද හමුදාව හා එක් වුනේ. ඒකට ගෙදර අඩු-පාඩුකම් සහිත පරිසරය බොහෝ විට හේතු වෙන්න ඇති. නංගි නම් මම වගේ ම පුංචි දවස්වල සිට ම ක්‍රිකට් සෙල්ලම් කළා. ගොඩක් වෙලාවට මමත් සමඟයි හිටියේ. මේ නිසා ම ඇයත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුනා.”

මේ දවස්වල නම් ලහිරු ජීවිතයේ මෙන් ම ක්‍රිකට් ජීවිතයේත් ළඟින් ම සිටින්නේ ආදරණීය බිරිඳ මල්ෂි පෙරේරා. ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් වන ඇය ලහිරුගේ ක්‍රීඩා ජීවිතයේ සෑම දෙයක් හොයා බලමින් සහ ඊට අවශ්‍ය නිදහස ද කළමනාකාරිත්වය ද කර දෙමින් සහයෝගය දක්වනවා. ඔවුන්ගේ දැන් පදිංචිය කැළණිය.

ලහිරු තම ආදරණීය බිරිඳ සමඟ

දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ක්‍රීඩාංගණවල. මේ නිසා ඉතා කාර්ය බහුල තත්ත්වයකට ඉබේ ම පත් වෙලා ඉන්නේ. මේ දේවල් කළමනාකරණය කර ගැනීමේ දී ලොකු අපහසුතාවලට පත් වෙනවා. ඒත් එයා ඒ දේවල් වගේ ම ගෙදර කටයුතුත් ඉතා සකසුරුවම් ආකාරයට කළමනාකරණය කරල දෙනවා. ඒක මට මගේ ක්‍රිකට් ජීවිතය නිදහසේ  ගෙන යෑමට විශාල ශක්තියක්,” ලහිරු පවසනවා.

ලහිරු මේ දිනවල ක්‍රියාත්මක වන දකුණු අප්‍රිකා A සංචාරයෙන් අනතුරුව විශාල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටින්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද දක්ෂතා අතරට පැමිණීමයි. පෙර වසරේ ද Dambulla Giants කණ්ඩායම නියෝජනය කළ ලහිරු මේ වසරේ ද ඊට එක් වීමට බලාපොරොත්තු වෙනවා.

ලැබෙන තරගවල දී මම, මගේ කණ්ඩායම වෙනුවෙන් උපරිම දක්ෂතා දක්වමින් ලංකාවට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම කවදාහරි දවසක ලෝකයේ හොඳ ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ඉදිරියට පැමිණීමයි මගේ ක්‍රිකට් ජීවිතයේ තියෙන අවසන් බලාපොරොත්තුව,” ලහිරු සමරකෝන් ThePapare.com සමඟ පැවසුවා.

ක්‍රිකට් ලොවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වීමට පෙරුම් පුරන ලහිරු සමරකෝන්ට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<