මහනුවර සහ CR නැති දේශීය 7s තරගාවලියක් ඔක්තෝබරයේ!

428

ත්‍රිවිධ හමුදාව (යුද, නාවික සහ ගුවන්) සහ පොලිසිය විසින් සංවිධානය කරනු ලබන ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් අවසර ලබා දී තිබෙනවා.

තරගාවලිය ඔක්තෝබර් 30 සහ 31 යන දිනවල දී පැවැත්වීමට නියමිත අතර 2019 වසරේ පැවති ආසියා සත් සාමාජික රග්බි තරගාවලියෙන් පසුව මෙරට සත් සාමාජික තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.

මෙම තරගාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති නීතිරීතිවලට අනුකූලව සංවිධානය කරන අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා ද ක්‍රීඩා අමාත්‍යංශ විසින් මෙම තරගාවලිය සලකා බැලීමට නියමිතයි.

“මුලදී සැලසුම් කරලා තිබුණේ ශ්‍රී ලංකා රග්බි විසින් අන්තර් සමාජ රග්බි තරගාවලියක් සංවිධානය කරන්නට. නමුත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉල්ලීමක් කළා සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධානය කරන්න. අපි ඒ සඳහා ඔවුන්ට අවසර ලබා දුන්නා”, ශ්‍රී ලංකා රග්බි සභාපති Rizly Illyas මහතා ThePapare.com වෙත පවසා සිටියා.

“හැව්ලොක් සහ CH&FC කණ්ඩායම් ද මේ සඳහා වූ සාකච්ඡා සඳහා සම්බන්ධ වුනා, පසුව ඔවුනුත් තීරණය කළා මේ තරගාවලිය සඳහා සහභාගී වන්නට.”

“මහනුවර සහ CR&FC කණ්ඩායම් පමණයි මේ සඳහා සහභාගී වෙන්නේ නැත්තේ. ඊට සාධාරණ හේතු තිබෙනවා, ඔවුන් Lockdown කරපු දා සිට තවමත් රග්බි තරගයක් ක්‍රීඩා කරලා නැහැ වගේම මූල්‍ය ගැටලු කිහිපයකටත් ඔවුන් මුහුණ දෙනවා”, යැයි ඔහු ප්‍රකාශ කළා.

Illyas මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තරගාවලිය දැඩි සෞඛ්‍ය නීතිරීති මධ්‍යයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි නිරීක්ෂණය යටතේ පැවැත්වෙන බවයි.

ඒ අනුව මෙම ආරාධිත සත් සාමාජික තරගාවලිය සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, හැව්ලොක් සහ CH&FC යන කණ්ඩායම් 6 සහභාගී වීමට නියමිත අතර තරගාවලියේ හොඳම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ජාතික සංචිතය සඳහා තෝරාගනු ඇත.

තේරීම් කමිටුව විසින් ආරම්භයේ දී 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබුණ නමුත්, එයින් අවසන් සංචිතයක් තෝරාගැනීමට නොහැකි වුනේ පසුගිය කාලයේ දී පැවති වසංගතයේ ව්‍යාප්තියත් සමඟින් ඔවුන්ට වසර දෙකකට ආසන්න කාලසීමාවක් පුහුණුවීම් සිදු කිරීමට නොහැකි වීම නිසාවෙනි.

කෙසේ නමුත් මෙම තරගාවලියෙන් පසුව තෝරාගන්නා ජාතික සංචිතය නොවැම්බර් 19 සහ 20 දිනවල දී පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ජෛව ආරක්ෂිත වටපිටාවක් තුල පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ඇත.

ශ්‍රී ලංකා රග්බි විසින් ජාතික සංචිතය සඳහා පුහුණුකරුවෙකු ද තෝරාපත් කර ගැනීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<