ලෝක ශූර ඕස්ට්‍රේලියාව පොලිස් කූඩුවට?

106

2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවති ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන ලද්දේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසිනි. අදට හරියටම වසර 17කට පෙර ඕස්ට්‍රේලියානුවන් ජය ගනු ලැබුවේ මහත් බලාපොරොත්තු තබාගෙන අවසන් තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමිනි. 

මේ ඒ ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන ඔබ නොඇසු අපූරු කතා කිහිපයක්. 

  • මාලිංග තර්ජනයක්? 

අවසන් මහා තරගයට පෙර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ මැතිව් හේඩ්න් පන්දු යැවීමේ යන්ත්‍රයක පුහුණු වෙද්දි ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වූ ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෙක් සිටියේය. ඒ ලසිත් මාලිංග නම් 2007 ලෝක කුසලානයේ අමුතු පහේ දේවල් කරමින් සිටි ශ්‍රී ලාංකේය වේග පන්දු කරුවා විය.

ලසිත් මාලිංග සහ ශෝන් ටේට් අවසන් මහා තරගයට පෙර Getty Images

ඔවුන් මාලිංග ගේ තර්ජනය ගැන විශේෂ අවධානයක් දුන්නා. බෝලිං මැෂින් එකේ පන්දුව නික්මෙන තැන මාලිංගගේ අතින් පන්දුව ගිලිහෙන ස්ථානයට සමාන ආකාරයෙන් සකස් කරගෙන වේගවත් පන්දුවලට ඔවුන් මුහුණ දුන්නා. මීට කළින් අපි මාලිංගට එරෙහිව ක්‍රීඩා කරලා තියනවා. නමුත් මෙවර අපි දැක්කේ වෙනස්ම ලසිත් මාලිංග කෙනෙක්. දකුණු අප්‍රිකානු තරගයේ පිට පිට පන්දු හතරකින් ලබාගත් කඩුලු හතරෙන්ම ඒ බව කියන්න පුළුවන්. 

ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං සිය චරිතාපදානයේ ලියා තැබුවේය. 

  • අද නම් ගිලී ගේ දවසයි! 

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවා වූයේ ඇඩම් ගිල්ක්‍රිස්ට්. ගිල්ක්‍රිස්ට් ගේ වේගවත් ඉනිම ගැන ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං සිය චරිතාපදානයේ මේ ආකාරයෙන් සටහන් කර තිබුණා. 

මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පුදුම සහගත දෙයක් සිදු විය හැකි බව මම දැන ගත්තේ චමින්ද වාස් යැවූ පළමු පන්දුව දුටු සැනින්. 

වාස් ඉදිරි පාදයේ ක්‍රීඩා කරන්නට යැවූ පන්දුව ඇඩම් ගිල්ක්‍රිස්ට් පිළිගත්තේ ඉදිරි පාදයේ ආරක්ෂිත පහරක් සමඟින්. පන්දුව මිඩ් ඕෆ් කලාපයට ඇදී ආවේ විදිල්ලක් වගේ. 

මට තාම මතකයි මා අසලින්ම තරගය නරඹමින් සිටි මයිකල් ක්ලාක් ගේ ප්‍රතිචාරය. මම ඔහුගේ කකුලට වේගයෙන් ගහලා කිව්වා ‘අද නම් ගිලී ගේ දවස වෙන්න පුළුවන්’ කියලා. 

සාමාන්‍යයෙන් පිතිකරුවෙක් පන්දුවට පහරක් එල්ල කරන ආකාරයෙන් ගොඩාක් දේවල් කියන්න පුළුවන්. එදා ගිලී ගේ පිත්තේ මැද පන්දුව වැදිච්ච ආකාරයෙන්ම මට ඒ බව තේරුම් ගියා. 

  • මොකක්…හෙටත් ගහනවා? 

වර්ෂාව නිසා ලෝක කුසලාන අවසන් මහා තරගය පන්දුවාර 38කට සීමා විය. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 38 අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 282ක් රැස් කරන්නට සමත්විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ භයානකම පිතිකරුවන් දෙදෙනා සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර තරගය අපෙන් උදුරා ගන්නා ස්වරූපයක් තිබුණා. වර්ෂාව නැවත වතාවක් පැමිණෙමින් තිබුණා. එවර ලෝක කුසලාන සංචාරයේ අපේ නොම්මර එකේ දඟ පන්දු යවන්නා වුණේ බ්‍රැඩ් හොග්. ඔහු අතිශය තීරණාත්මක මොහොතක සංගක්කාර දවාගන්නට සමත්වුණා. 

ශ්‍රී ලංකා ඉනිමේ තිස්පස් වෙනි පන්දුවාරයට එද්දි දහවලකට වඩා රාත්‍රියක ස්වරූපයක් කෙන්සිංටන් ඕවල් පිටියේ තිබුණේ. 

මම එවලේ දැක්කා අලීම් ඩාර් සහ ස්ටීව් බක්නර් විනිසුරුවන් දෙදෙනා ශ්‍රී ලාංකික පිතිකරුවන් දෙදෙනාගෙන් ආලෝක තත්ත්වය විමසන ආකාරය. ඔවුන් ආලෝක තත්ත්වය අයහපත් ලෙස සලකමින් ඉවත්ව යන ආකාරයත් මම දුටුවා. 

ඉවරයි…මම මගේ අතේ තිබුණ පන්දුව හැකි තරම් ඉහළට විසි කළා. කණ්ඩායමේ සාමාජිකයින් එකිනෙකා වැළඳ ගනිමින් සුබ පතා ගත්තා. මේ අපි පිට පිටම ජයග්‍රහණය කළ තුන්වෙනි ලෝක කුසලානයයි. 

අපේ සැමරුමට මෙවෙලේ බාධවක් ඇතිවුණා. ඒ විනිසුරුවරයා අලීම් ඩාර්. ඔහු මට පැත්තකට කතා කළා.

විනිසුරුවරුන් තීරණය පසිඳලන තුරු ක්‍රීඩකයින් පිටිය මැද Getty Images

‘සමාවෙන්න මේක තාම ඉවර නෑ.’ 

‘මොකක්?’ 

‘තව ඕවර්ස් තුනක් යවන්න තියනවා’ 

‘ඉතින්?’ 

‘අපිට හෙට උදේ ආපහු එන්න වෙනවා’ 

විහිළු කරන්න එපා. අපි ආයේ එන්නේ නෑ. ඔවුන් ඕවර්ස් 20ක් බැට් කළා. තරගයක් තීරණය කරන්න ඒ ඇති නේද? 

‘ඒ වර්ෂාවට තරගය නතර කළොත්. මේ වගේ වෙලාවක නීතිරීති පොඩ්ඩක් වෙනස්.’ 

එවර ලෝක කුසලානය සංවිධාන කටයුතු අතින් අන්තිම නරක තැනක තිබුණේ. 

මේ වෙලාවේ විනිසුරුවරුන්, සංවිධායකයින් පිටිය මැද සාකච්ඡාවක හිටියේ. කළ යුත්තේ කුමක්ද කියලා ඔවුන්ට අදහසක් තිබුණේ නැහැ. 

මේ වෙලාවේ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන තිර ලෙසින්ම කියා සිටියා තරගය එදිනම නිමා කළ යුතු බවට. මහේල එහෙම නොකියන්න ඔවුන්ට කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියේ. මහේල ඒ අවස්ථාවේ පෙන්නුම් කළේ උසස් මහත්මා ගතිගුණයක්. 

ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං සහ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන

පිටිය මැද සාකච්ඡාවක ESPN Cricinfo

රිකී පොන්ටිං පවසන ආකාරයට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයේ දිස්නය කොදෙව් දේශයේ සංවිධානාත්මක දුර්වලතා නිසා සැඟව ගිය බව නොරහසකි. 

  • ඕස්ට්‍රේලියානුවන් පොලිස් කූඩුවට? 

ලෝක කුසලානය දිනාගෙන හෝරා කිහිපයක් ගත වූ තැන ක්‍රීඩක විවේකාගරයේ සැමරුම් නිමා වී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අඳුරේම පිටිය මැදට ඇදුණි. 

කවාකාරව එක් රොක් වූ ඔවුහූ Under the Southern Cross I Stand ඕස්ට්‍රේලියානු ජය ගීතය ගයමින් විනෝද වන්නට වූහ. 

හරි කට්ටියම කියමු බලන්න මේ ලෝක කුසලානයේ තම තමන්ට මතක හිටිය සිදුවීමක්. 

පැය කිහිපයකට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව සැලකූ ඇඩම් ගිල්ක්‍රිස්ට් නම් ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා කටහඬ අවදි කළේය. 

ඕස්ට්‍රේලියානුවන් මෙලෙස ප්‍රීති ප්‍රමෝදයෙන් සිටින අතරවාරයේ තවත් පිරිසක් තමන් සිටින ස්ථානයට කිට්ටු වන ආකාරය ඕස්ට්‍රේලියානුවන් දුටුවේ නැත. 

හරි වෙලාව ඉවරයි. දැන් පිට වෙන්න කාලය හරි. 

ඉකුත් පිරිසේ නායකයා ලෙසින් සැළකිය හැකි සද්ධන්ත ශරීරකායක් තිබූ පුද්ගලයෙකු කටහඬ අවදි කළේය 

මේ පිරිස බාර්බඩෝස්’හි ආරක්ෂක අංශයට හෝ පොලීසියට සම්බන්ධ පුද්ගලයින් බව හඳුනාගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට වැඩි වෙලාවක් ගියේ නැත. 

යාළුවා, මේ අහන්න. අපි වැඩි වෙලාවක් මෙතන ඉන්නේ නෑ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු වහාම පිළිතුරු බැන්දේය. 

නැහැ. නැහැ ඔබ දැන්ම මෙතනින් යා යුතුයි. 

මීට පැය කිහිපයකට කළින් අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනුවා. 

අපිට විනාඩි කිහිපයක් දෙනවද?’ ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං ගේ රතු කට්ට පැන්නේය. ඒ සමඟම ඇසැබි වදන් කිහිපයක් ද ඔහුගේ මුවින් පිට විය. 

ඔබට බාර්බඩෝස්වලදී ඔහොම කතා කරන්න බැහැ. මට පුළුවන් ඔබ සියල්ලන්ම සිරභාරයට ගන්න.ආරක්ෂක නිලධාරියා මුර ගෑවේය. 

තමා කළ වරදේ බරපතලකම පොන්ටිං තේරුම් ගත්තේ මේ අවස්ථාවේදීය. වහාම ක්‍රීඩක විවේකාගරයට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිය ආම්පන්න, ගමන් මළු සූදානම් කරගෙන කෙන්සිංටන් ඕවල් පිටියෙන් පිටත් වී තමන් නවාතැන් ගත් හෝටලය බලා පිටත් වුණි.