Kohli හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවා පසු කරයි

245

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සුප්‍රකට Border Gavaskar කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර හිටපු ක්‍රීඩක Virender Sehwag පසු කිරීමට Virat Kohliට පසුගිය දා හැකි වුනා.

දිල්ලි හී පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් තරගයට ආරම්භ වීමට පෙර Kohli තරගාවලි ඉතිහාසය පුරාවට ලකුණු 1694ක් ලබා ගෙන Sehwagට වඩා (1738) ලකුණු 44ක් පිටුපසින් සිටියා.

පිතිකරුවන්ට තරමක් අසීරු වූ එම තණතීරුවේ ඉනිම් දෙක තුළ ලකුණු 64ක් (44 සහ 20) ලබාගෙන Kohli එම සීමාව පසු කළ අතර ඒ සමඟ තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර 9 වැනි තැනට පැමිණීමට ඔහුට හැකි වීම විශේෂත්වයක්.

ඉනිම් 34ක් තුළ ශතක 9ක් සහ අර්ධ ශතක 16ක් සමඟ ලකුණු 3262ක් ලබාගෙන සුපිරි පිතිකරු Sachin Tendulkar වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර ඔහුට අමතරව VVS Laxman (2434) සහ Rahul Dravid (2143) ලකුණු 2000 පසු කළ ඉන්දීය පිතිකරුවන් වෙනවා.

ටෙස්ට් තරග 106ක් ඉන්දියාව නියෝජනය කරමින් ලකුණු 48,49ක සාමාන්‍යයක් සමඟ ලකුණු 8195ක් ලබා ගෙන ඇති Kohli ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර හයවැනි ස්ථානයේ පසු වෙනවා.

එමෙන්ම එම තරගය තුළ ජාත්‍යන්තර ලකුණු 25,000 සීමාව පසු කළ ලොව වේගවත්වම ක්‍රීඩකයා වීමට ද Kohliට හැකි වූ අතර සිය මව් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ දී ඔහුට විශාල ප්‍රේක්ෂක සහයක් හිමි වනු දක්නට ලැබුණා.

මෙවර Border Gavaskar කුසලානයේ පැවති තරග දෙකම ජය ගෙන කුසලානය තව දුරටත් සිය සන්තකයේ රඳවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වූ අතර දෙරට අතර තෙවැනි ටෙස්ට් තරගය මාර්තු 01 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<