කැප්ටන් ඕස්ට්‍රේලියා!

4037

දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක මම තුන්වැනියා. මට වඩා වැඩිමහල් සහෝදරයින් දෙන්නෙක් හිටියා.

මේ සිදුවීම වෙද්දී මට වයස අවුරුදු තුනයි. මේ කියන දවසේ පෙර පාසල් ගිහින් එන අතරවාරයේ මට පවුලේ හිතවතියකගෙන් ලොලිපොප් පහක් ලැබුණා. ඒවා ලැබුණේ මටත් අනෙක් සහෝදර සහෝදරියන් හතරදෙනාටත්.

ගෙදර ගියපු ගමන්ම මම කළේ ගෙදර හතර කොනට දුවලා ගිහින් ලොලිපොප් ටික කට්ටිය අතරේ බෙදපු එක. මගේ නංගි ලෝරා ඒ වෙලාවේ හිටියේ බාත්රූම් එකේ. බාගෙට ඇරිලා තිබුණ නාන කාමරයේ දොරෙන් මම ඇයට ඇයගේ ලොලිපොප් එක දික් කළා.

දඩාස්!

බියට පත් වෙච්ව ලෝරා විදුලි වේගයෙන් දොර වැහුවා. අවාසනාවකට මගේ දකුණු අතේ මැදඟිල්ලේ කොටසක් එක්ක තමයි ඒ දොර වැහිලා ගියේ.

මට දරාගන්න අමාරු තරමේ වේදනාවක් දැනුණා. මම  කෑගසමින් ගේ පුරා දිව්වා. දොස්තරවරු සැත්කමකින් මගේ ඇඟිල්ලේ උඩ පුරුක ඉවත් කළා. ඉතා කුඩා වයසක හිටපු මට ඒකේ ලොකු බරක්පතලක් දැනුණේ නෑ. නමුත් අම්මයි, තාත්තායි දෙන්නා ඒ ගැන සෑහෙන්න වද වෙන බවක් පේන්න තිබුණා.

‘අයියෝ කෙල්ලෙක්වත් ආයේ අතින් අල්ලන එකක් නෑ’. ඔවුන් දෙදෙනා දුක්බර ස්වරූපයකින් කිව්වා.

ඕස්ට්‍රේලියානු නායකයා වයස අවුරුදු හතරේ දී

ඒ අතරේ මම දැක්කා තාත්තා පන්දු යැවීමේ ඉරියව්වකින් රූපවාහිනී දුරස්ථ පාලකයක් උඩ දමමින් ඉන්නවා.

‘මොකක්ද ඔය කරන විකාර වැඩේ?’ ඒ අම්මා ඇහුවේ කේන්තියෙන්.

‘මම මේ බලන්නේ පැට්ට තාම බෝල් කරන්න පුළුවන් ද කියලා’ තාත්තා උත්තර දුන්නා.

ඔබට හිතාගන්න පුළුවන් ද මගේ දකුණු අතේ මැද ඇඟිල්ලෙන් කොටසක් නැති වෙලා පැයක් ඇතුළත මගේ දෙමව්පියෝ දෙන්නාගේ හැසිරීම ඒ ආකාරයෙන් වේවි කියලා.”

1993 අවුරුද්දේ මැයි 8 වැනිදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උපත ලබන පැට්ට්‍රික් ජේම්ස් කමින්ස්ට ටිම් සහ මැට් නමින් වැඩිමහල් සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නාම ක්‍රිකට් ක්‍රීඩාවට බොහොම ළැදියි. ඒ නිසා උපන් දවසේ ඉඳලා පැට්ට්‍රික්ට ක්‍රිකට් කියන්නේ අමුතු දෙයක් වුනේ නැහැ.

පැට් මට වඩා අවුරුදු හයකුත් ටිම්ට වඩා අවුරුදු තුනකුත් බාලයි. යාන්තම් ඇවිදින්න පුළුවන් වෙච්ච දවසේ ඉඳල පැට්ගේ වැඩේ අපිත් එක්ක ක්‍රිකට් ගහන එක.”

වයසෙන් බාල වුනා කියලා පැට්ට අපෙන් කිසිම අනුකම්පාවක් නම් ලැබුණේ නෑ. හැබැයි පොඩි වුනාට පැට් හෙන කේන්තිකාරයා” පැට්ගේ වැඩිමහල් සොයුරු මැට් මතකය අවදි කරනවා.

ඉතා ළාබාල වයසේ දී ම ඉතාම වේගයෙන් පන්දු යවන්නට පැට් පුරුදු පුහුණු වෙලා හිටියා. පැට් යැවූ පන්දුවල සැර වැඩි වැඩියෙන් දැනුණේ ඔහු සමඟ ක්‍රීඩා කළ ඔහුගේ සම වයසේ දරුවන්ට.

පැට්ගේ වයසේ සමහර දරුවන්ගේ අම්මලා, තාත්තලා ඇවිත් අපේ අම්මටයි තාත්තටයි කියනවා එයාලගේ දරුවන්ට පොඩ්ඩක් හෙමින් බෝල් කරන්න කියලා. පුංචි වයසෙදිම පැට් සෑහෙන වේගෙන් බෝල් කළා.

පැට් වයසින් අඩු නිසා නිතරම පරාජය වුනා. හැබැයි ඒකෙන් එයාගේ තරගකාරීත්වය වැඩි වුනා.

සිය සහෝදරයින් දෙදෙනා සමඟ කරට කර ක්‍රීඩා කළ කුඩා පැට් කමින්ස්

අවුරුදු 16 වෙද්දී නම් අපි හැමෝටම දැනුණා පැට් ක්‍රිකට් ක්‍රීඩා කරලා සෑහෙන දුරක් යාවි කියලා” මැට් කියන්නේ ආඩම්බරයෙන්.

ඉතාම අඩු වයසක දී නිව් සවුත් වේල්ස් ක්‍රිකට් පිටියේ පෙරළි කරන්නට කමින්ස්ට අවස්ථාව ලැබෙනවා. එහෙම ක්‍රිකට් පිටියේ ඉදිරියට එන කමින්ස්ට ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ වීරයා වෙච්ච බ්‍රෙට් ලී හමුවීමත් එවැනි අමතක නොවන මොහොතක්.

ඔහු ඉතාම උස, කෙට්ටු ශරීරයක් තිබුණ දරුවෙක්. ඒ උස එක්ක හොඳ ඉපිලීමක් ලබා ගන්න ඔහුට පුළුවන්කම තිබුණා. පැට්ව මුලින්ම දැක්ක දවසෙම ඔහු ඉතාම සුවිශේෂී ක්‍රීඩකයෙක් කියල මට තේරුණා.

වයස අවුරුදු දාහතේ දී ඔහුට පන්දුව දෙපැත්තටම දෝලනය කරන්න පුළුවන්කම තිබුණා. මට කවදාවත් අලුත් බෝලෙන් ඒක කරන්න පුළුවන්කම තිබුණේ නැහැ.”

බ්‍රෙට් ලී නම් වූ අප කතානායක තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රිකට් වීරයා තරුණ පැට් කමින්ස් ගැන මතකය ඒ ආකාරයෙන් අවදි කළා.

මම ඒ දවස්වල හුඟාක් වෙලාවට ගමන් කළේ කෝච්චියෙන්. දවසක් එහෙම කෝච්චියේ යන අතරවාරේ මට නන්නාඳුනන නම්බර් එකකින් කෝල් එකක් ආවා.

එහා පැත්තෙන් කතා කළේ ඇන්ඩෘ හිල්ඩිච් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා.

‘සුබ පැතුම් පැට්, අපි ඔබට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්න තීරණය කරලා තියනවා.’

මම කෝච්චියේ වාඩි වෙලා ඉන්න ගමන්ම කල්පනාවට වැටුණා.

රිකී පොන්ටිං, මයිකල් ක්ලාක් වගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත උදවිය එක්ක මට ඕස්ට්‍රේලියානු කොන්ත්‍රාත්තුවක් ලැබිලා. ඒක හරි පුදුම හැඟීමක්.

තව දුරටත් කෝච්චිවල බඩගාන්න බෑ. මටම කියලා කාර් එකක් ගන්න ඕන. මම මටම කියාගත්තා.

2011 ඔක්තෝබර් මාසයේ මට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් ලැබෙනවා. ඒ වෙද්දී මම නිව් සවුත් වේල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරලා තිබුනෙත් තරග දෙකයි. ඒ තරග දෙකේ කඩුලු දවා ගන්නත් මට හැකියාවක් ලැබුණේ නෑ.

සෙන්චූරියන් ක්‍රීඩාංගණයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ පළමු එක්දින තරගය මට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ ෂේන් වොට්සන් සහ ෂෝන් මාෂ් දෙදෙනා ආබාධයකට ලක්වීම නිසා.

මංගල එක්දින තරගයේ මම යවපු මුල්ම බෝලෙටම කවර් කලාපයට උඩින් අපර්කට් පහරකින් ලකුණු හයක් ලබා ගන්නට හෂීම් අම්ලා සමත් වුනා.

ඉන්ටනැෂනල් ක්‍රිකට් කියන්නේ මේක වෙන්න ඇති මම මටම කියාගත්තා.

නමුත් පන්දු කිහිපයක් යන තැන මගේ පළමු එක්දින කඩුල්ල ලෙස ජාක් කලිස් දවා ගන්න මට පුළුවන් වුනා. ඒක සතුටුදායක හැඟීමක්.”

පැට් කමින්ස් සිය මංගල එක්දින කඩුල්ල ලෙස ජාක් කලිස් දවාගත් මොහොත.

තවත් සති කිහිපයක් යන තැන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ලෙස 423 වැනි ක්‍රීඩකයා ලෙසින් ජොහැන්ස්බර්ග් නුවර දී ටෙස්ට් වරම් දිනා ගන්න පැට් කමින්ස් සමත් වුනා.

ඔහුගේ මංගල ටෙස්ට් කඩුල්ල වුනේ එදා හයේ පහරකින් සංග්‍රහ කරමින් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට තමන් පිළිගත් හෂීම් අම්ලා. කමින්ස් තරගය පුරාවටම කඩුලු හතක් දවා ගත්තා. මේ තරගයේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් කමින්ස් දක්වපු දස්කම් ඔහුව තරගයේ වීරයා බවට පත් කරන්නට සමත් වුනා.

මෙහෙම ආරම්භ කරපු කමින්ස්ගේ ක්‍රිකට් දිවියට කණකොකා හඬන්න පටන් ගත්තේ විවිධාකාරයේ ආබාධ තත්වයන් ඔහු සොයා එන්න පටන් ගත්ත නිසා.

හැබැයි ඒ සියලු බාධක පහුකරගෙන ඇවිත් නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එන්න කමින්ස්ට පුළුවන් වුනා. ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට එන්න, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්න මේ අතරේ කමින්ස්ට අවස්ථාවක් ලැබුණා.

2021 අවුරුද්දේ නොවැම්බර් මාසේ ටිම් පේන්ගෙන් පුරප්පාඩු වෙච්ව ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට කමින්ස් තෝර ගන්න ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කරලා තිබුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් මෙහෙය වූ 47 වැනි නායකයා වුනේ කමින්ස්.

සිය මංගල ටෙස්ට් තරගයේ දී ම තරගයේ වීරයා සම්මානය දිනා ගත් 18 හැවිරිදි පැට් කමින්ස්

එහෙම නායකත්වයේ වැඩ අල්ලපු කමින්ස් මේ වෙද්දී ඕස්ට්‍රේලියාවට ටෙස්ට් ලෝක ශූරතාවය දිනා දෙන්න සමත් වෙලා තියනවා.

එදා පැට් කමින්ස් නම් 18 හැවිරිදි තරුණ තරුණයාට කොන්ත්‍රාත්තුවක් ලබා දෙන වෙලාවේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ඇන්ඩෘ හිල්ඩිච් මෙහෙම කියනවා.

මම මේක අවදානමක් කියලා හිතන්නේ නැහැ. අපිට ඔහුගෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට වැඩදායි ශූර ක්‍රීඩකයෙක් පේනවා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<