හැට පැන්නත් බිමින් ගමන් නැති ජිමී!

505
James Anderson 2023

ලන්ඩන් නුවරට කිලෝමීටර දෙසීයක්, තුන්සීයක් පමණ උතුරින් බර්න්ලි නම් නගරයක් පිහිටලා තියනවා. බර්න්ලි නගර වැසියන් සමස්තයක් විදියට ක්‍රීඩාවට දක්වන්නේ ඉමහත් භක්තියාදරයක්. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවන්ට ඒ අතරින් හිමි වෙලා තියෙන්නේ විශේෂ ස්ථානයක්.

1982 වසරේ ජූලි 30 වැනිදා බර්න්ලි’හීදී මයිකල් සහ කැත්රීන් ඇන්ඩර්සන්ට දාව කුඩා දරුවෙක් උපත ලබනවා. ඔහුට නම තැබෙන්නේ ජේම්ස් මයිකල් ඇන්ඩර්සන් යනුවෙන්.

ක්‍රීඩාවට ඉතාම හිතකර පරිසරයක උපත ලද ජේම්ස් ඇන්ඩර්සන් කුඩා දරුවා සෙසු බර්න්ලි නගර වාසීන් මෙන්ම ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවට පෙම් බැඳීම අරඹන්නේ අත දරුවෙකුව සිටි අවධියේ සිටමයි.

ක්‍රීඩාවට ඇති ආදරය මට පවුලෙන්ම ලැබුණ දෙයක්. යන්තම් යමක් කමක් තේරෙන ඉතාම පුංචි වයසෙදි පවා ක්‍රීඩා වැඩසටහනක් යන වෙලාවට මාව ටෙලිවිෂනය ඉස්සරහින් ඉවතට ගන්න බැරි වුනා. මගේ තාත්තා කියලත් වෙනසක් නැහැ. ක්‍රීඩාවට ඇති ඒ ආදරය පරම්පරාවෙන් ආ එකක් කියලයි මට හිතෙන්නේ.

මගේ අම්මායි තාත්තායි දෙදෙනාටම සහෝදරයින් දෙන්නා බැගින් හිටියා. ඔවුන් හැමෝම ක්‍රීඩාවට ලැදි උදවිය. ඒ අයගේ දරුවොත් එකතු වුනාම විශාල පිරිසක් ක්‍රීඩාව වෙනුවෙන් හැමදාම මගේ වටේට හිටියා.

James Anderson 2023
ජේම්ස් ඇන්ඩර්සන් සිය පියා මයිකල් සහ සහෝදරිය සාරා සමග ගත් ඡායාරූපයක්

ගිම්හාන ඍතුවේ ක්‍රිකට් වගේම ශීත ඍතුවේ පාපන්දු  ක්‍රීඩාවේ යෙදෙන්නත් අපි අමතක කළේ නැහැ.

මුලින්ම පාසල් යද්දී අනෙක් දරුවන්ට වඩා මගේ උස අඩුයි. අනෙක් දරුවන් කැමති ක්‍රියාකාරකම් වලට මගේ කැමැත්තක් තිබුනෙත් නැහැ. ඔවුන් දැක්කේ මම වෙනස් විදියේ දරුවෙක් කියලා. මේ දේවල් නිසා මට සෑහෙන වධහිංසා වලට ලක් වෙන්න සිදු වුනා.

මගේ ශරීර ප්‍රමාණයට, උසට ඔවුන් නි‍රන්තරයෙන් හිනා වුනා. මගේ වයසේ අනෙක් දරුවන් මට විවිධ නම් කියලා නින්දා අපහාස කළා. ඔවුන් මගේ විශාල දත් ඉලක්ක කරගෙන සත්තුන්ගේ නම් යොදා ගනිමින් නිතරම මට අපහාස කළා.

සඳුදා ඉඳලා සිකුරාදා වෙනකල් හැම දවසකම උදේ 8.30 ඉඳන් සවස 3.30 වෙනකල් පාසල් කාලය මම ගත කළේ බයෙන් කිව්වොත් වැරැද්දකුත් නැහැ.

මේ කරුණු කාරණා නිසාම මම ගත කළේ හරිම නිහඬ පිළිවෙතක්. මට මගේ හැඟීම් ප්‍රකාශ කරන්න තිබුණ එකම මාර්ගය ක්‍රීඩාව විතරයි.

යෞවන වයසට එනකල් මට කම්පියුටර් එකකටවත් ආසාවක් ආවේ නෑ. ගෘහස්ථ ජීවිතයට වඩා මම හැමවිටම ප්‍රිය කළේ එළිමහන් ජීවිතය.

ක්‍රීඩාවත් සමඟ මගේ උස මට්ටමේ සෑහෙන වර්ධනයක් ඇති වුනා. පංතියේ හිටපු කුඩාම දරුවාගේ ඉඳලා උසෙන් වැඩි දරුවෙක්ගේ තැනට එන්නට මට උදව් වුනේ ක්‍රීඩාව. ඒ සමඟම වධහිංසන සියල්ල එහෙමම නතර වුනා.

අධ්‍යාපනය අතින් මම ඒ තරම් දක්ෂ හෝ දීප්තිමත් දරුවෙක් නෙවෙයි. පංති කාමරයේ වාඩි වෙලා පැය ගණන් දේශනවලට සවන් දෙනවට වඩා මම කැමති වුනේ ක්‍රීඩා පිටියේ කාලය ගත කරන්න. ක්‍රීඩා පුහුණුකරුවන් උගන්වන දේවල් පංති කාමරයේ දේවල්වලට වඩා ඉක්මනින් ග්‍රහණය කරගන්න මට පුළුවන් වුනා.

කුඩා කාලයේ ඉඳලම මගේ මගේ සිහිනය වුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම සහ එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීම.

1995 බෙන්සන් සහ හෙජස් කුසලාන සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ලැන්කෂයර් කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම. තරගය පැවැත්වුණේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී. එය මා ලෝඩ්ස් ක්‍රීඩාංගණයට ගිය මුල්ම අවස්ථාව.

අරවින්ද ද සිල්වා අගනා ශතකයක් රැස් කළත් කෙන්ට් කණ්ඩායම පරදවා පහසුවෙන් තරගය ජයග්‍රහණය කරන්නට ලැන්කෂයර් කණ්ඩායම සමත් වුනා.

ඒ සමයේ ලැන්කෂයර් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා වූයේ වසීම් අක්‍රම්. වසීම් ඇරුණාම අනෙක් සාමාජිකයින් සියලු දෙනාම අපට පෙනෙන මානයේ සිටි අප දන්නා ක්‍රීඩකයින්. ඒ කාරණාව මා වැනි තරුණයන්ටත් කවදා හෝ දවසක ලැන්කෂයර් කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි බවට විශ්වාසය ඇති කළා.”

2002 වසරේ දී එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය වෙනුවෙන් ලැන්කෂයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ සිහිනය සැබෑ කරගන්නට ඇන්ඩර්සන් සමත් වුනා. තරග 13කට ක්‍රීඩා කළ ඔහු එහි දී කඩුල්ලක සාමාන්‍ය 22.28ක් ලෙස තබා ගනිමින් කඩුලු පනහක් දවා ගැනීමට සමත් වුනා. එයට කඩුලු පහ බැගින් දවා ගත් අවස්ථා තුනක් ද ඇතුළත් වුනා.

2002 වසර අග එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදුණේ අළුබඳුන තරගාවලියට සහභාගී වීමට සහ සාම්ප්‍රදායික ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියට සහභාගී වීමට. එම තරගාවලියේ තුන්වැනි කණ්ඩායම වුනේ ශ්‍රී ලංකාව.

එංගලන්ත සංචාරක නඩයේ සිටි වේගපන්දු යවන්නන්ට මෙකී සංචාරය හිතකර එකක් වුනේ නැහැ. ඩැරන් ගෆ්, සයිමන් ජෝන්ස්, ක්‍රිස් සිල්වර්වුඩ් ආබාධයන්ට ලක්වුණ අතර තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් ඔහුගේ හර්නියා සැත්කමෙන් පසු හරියාකාරයෙන් සුවය ලබා තිබුණේ නැහැ.

එවකට එංගලන්ත නායකයාව සිටි නසාර් හුසේන් ආබාධිත ක්‍රීඩකයින් වෙනුවෙන් නවක වේගපන්දු යවන්නෙකු පිළිබඳව විමසිල්ලෙන් සිටින අතරතුර ඔහුට ලැන්කෂයර් කණ්ඩායමට ක්‍රීඩා කරන තරුණ වේගපන්දු යවන්නෙකු ගැන ඔත්තුවක් ලැබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වූ රොනී ඉරානිගෙන්.

මාව තෝරාගැනීම වෙනුවෙන් නායක නසාර් හුසේන් විශාල බලපෑමක් කරලා තියනවා. නසාර් මම ක්‍රීඩා කරන ආකාරය දැකලා නෑ. නමුත් රොනී ඉරානි මා ගැන විශාල රෙකමදාරුවක් ඔහුට දීලා තිබුණා.

නසාර් කියන්නේ අමුතු තාලයේ නායකයෙක්. නිකන් හෙඩ් මාස්ටර් කෙනෙක් තද ගති ඇති කෙනෙක්. හැමෝටම නසාර්ගේ ගතිගුණ ඇල්ලුවේ නෑ. නමුත් ඔහු හැමවිටම මගේ පස්සෙන් හිටියා. නවකයෙකුට දැනෙන පීඩනය කිසිම  ආකාරයකින් දැනෙන්න දුන්නේ නෑ.

එංගලන්ත කණ්ඩායම නවාතැන් ගෙන සිටි සිඩ්නි නුවර හෝටල් කාමරයට මුලින්ම ඇතුළත් වුනාම මට සෑහෙන පුදුමයක් ඇති වුනේ. මම කවදාවත් මීට කලින් එහෙම තැනකට ඇවිත් නෑ.

පහුවෙනිදා පුහුණු සැසියට ගියාම ටෙලිවිෂනයෙන් මා දුටු මගේ ක්‍රිකට් වීරයන් රාශියක් එතැන හිටියා. ඇලෙක් ස්ටුවර්ට්, නසාර් හුසේන් අතට අත දී මා පිළිගත්තා. බර්න්ලි නගරයෙන් ආ ලැජ්ජාශීලී තරුණයා දැන් ඔහුගේ ක්‍රිකට් වීරයින් ඉදිරියේ එංගලන්ත වරම් දිනා ගැනීමටයි සූදානම.

සිඩ්නි ක්‍රීඩාංගණයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගයට මා තෝරා ගත්තේ නැහැ. මා එවැන්නක් බලාපොරොත්තු වූයේත් නැහැ. නමුත් පුදුමයකට මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයට මා තෝරාගෙන ඇති බව කියවුණා.

2002 දෙසැම්බර් 15 මට අමතක නොවන දවසක්. එදා තමයි මම මුලින්ම එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ දවස. මාත් යාර විසි දෙකක් වූ තණතීරුවත් අතර ඇඩම් ගිල්ක්‍රිස්ට්, මැතිව් හේඩ්න් සහ රිකී පොන්ටිං යන පිතිකරුවන් තිදෙනා සිටියා. ඔවුන් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ අනර්ඝතම සහ භයංකරම පිතිකරුවන් තිදෙනක්.

James Anderson 2023
ඇන්ඩර්සන් සිය මංගල එක්දින තරගයේ දී පන්දු යවමින්

මේ තරගයේ මා යැවූ පන්දුවාර හය ඇතුළත ලකුණු 46ක් ලබා ගන්නට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සමත් වුනා. මගේ පළවෙනි ජාත්‍යන්තර කඩුල්ල ලෙස ඇඩම් ගිල්ක්‍රිස්ට් දවා ගන්නට මට හැකියාව ලැබුණා. ඔහු දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

2002 වසරේ නත්තල උදා වෙද්දී මගේ නම ඉදිරියෙන් ජාත්‍යන්තර කඩුලු පහක් සටහන් වී තිබුණා. එමෙන්ම ජාත්‍යන්තර තරග ජයග්‍රහණ එකකට නොව දෙකකටම එංගලන්ත කණ්ඩායමට දායකත්වය දෙන්නත් මට පුළුවන්කම ලැබුණා. ඒ තරග ජයග්‍රහණ දෙකම පැමිණියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවයි.

බර්න්ලියෙන් පැමිණි ඒ නන්නාඳුනන, ලැජ්ජාශීලී තරුණයා 34,000කට අධික මෙල්බර්න් ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ එංගලන්ත වරම් දිනා ගත් ආකාරය අදටත් මට සිහිනයක් “

පසු සටහන: 2003 මැයි මාසයේ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වූ අතර මේ වන විට ටෙස්ට් තරග 178කට එංගලන්ත කණ්ඩායමට සිය දායකත්වය දෙන්නට ඔහු සමත්ව සිටිනවා. එහි දී ඔහු දවා ගත් කඩුලු සංඛ්‍යාව 682ක්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු දවා ගත් වැඩිම කඩුලු ලැයිස්තුවේ ඔහුට හිමිවන්නේ තෙවැනි ස්ථානය.

මේ වසරේ ඇන්ඩර්සන් 41 වියට පා තබනවා. නමුත් ඔහු ශරීර යෝග්‍යතාව අතින් ඔහු කිසිම තරුණ ක්‍රීඩකයෙකුට දෙවැනි වන්නේ නැහැ. තවත් තරගවාර කිහිපයක් ක්‍රීඩා කිරීමේ හැකියාව ඔහු සතු බැවින් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන කාලයක තව කෙතරම් කඩුලු සංඛ්‍යාවකට වගකියනු ඇත්දැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකියි.

ජේම්ස් ඇන්ඩර්සන්ගේ චරිතාපදානය Jimmy: My Story ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<