තහනම් දේශයක පිතිකරණ පුරාවෘත්තය!

2942

දිනය 1970 නොවැම්බර් 20 වැනිදාය. දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් අතර ෂෙෆිල්ඩ් පලිහ වෙනුවෙන් පැවැත්වෙන පළමුපෙළ තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ පර්ත් නුවර වැකා ක්‍රීඩාංගණයේ දීයි.

එදා වැකා තණතීරුව දිස්වූයේ වේගපන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු ස්වරූපයකිනි. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් මුලින්ම පන්දුවට පහරදීමේ වාරය තමන් සතුකර ගත්තා.

බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුව සිටි පළපුරුදු වේගපන්දු යවන්නා වන ග්‍රැහැම් මැකෙන්සි මෙන්ම ජවාධික නවකයා ඩෙනිස් ලිලීගෙන් විශාල ඉපිලීමක් සහිත වැකා තණතීරුවේ දකුණු ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බැව් අනුමාන කෙරුණා.

දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් තරගයේ මුල්ම පන්දුවට පහර දෙන්නට සූදානමින් සිටින්නේ දකුණු අප්‍රිකාවෙන් පැමිණි යොවුන් ක්‍රීඩකයෙක්. ඔහු ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින්නේ ඉතාම දක්ෂ පිති ප්‍රහාරකයෙක් යන විරුදාවලිය සහිතවයි.

බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ග්‍රැහැම් මැකෙන්සි පන්දුව අතැතිව සූදානම්.

මැකෙන්සි එල්ල කළ පළමු පන්දුව පිටතට දෝලනය වූ පන්දුවක්. උඩු ගුවනේ දී මදක් දෝලනය වූ එකී පන්දුව පිතිකරුවාගේ පිත්තේ පිටත දාරය පරයා කඩුලු රකින රොඩ්නි මාෂ් අතට පත්වුනා. එය සම්පූර්ණයෙන්ම පිතිකරුවා පරාජය කළ පන්දුවක් වුනා.

“මම හිතුවේ මේ හාදයාට පොඩ්ඩක් හරි බැට් කරන්න පුළුවන් කියල,” පන්දුව සුරැකිව රැකගෙන ස්ලිප් ක්‍රීඩකයාට වෙත යොමු කරමින් බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා රොඩ්නි මාෂ් පැවසුවා.

මැකෙන්සිගේ පන්දුවාරයේ ඉතිරි පන්දු කිහිපයත් දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා පිළිගත්තේ යහපත් ආකාරයකින් නොවේ.

අනෙක් අන්තයෙන් ඩෙනිස් ලිලී නිළකුණු පන්දුවාරයක් යැවූ අතර බටහිර ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණය තර කරන ආකාරයක් පෙන්නුම් කෙරුණා.

මේ තරගයේ මීළඟ මිනිත්තු 330 දී සිදුවීමට යන දේ ගැන කිසිවෙකුට මේ වෙද්දී අංශු මාත්‍රයක හෝ අදහසක් තිබුණේ නැහැ.

පන්දුවාරය දෙක පසු වෙද්දී තරුණ දකුණු අප්‍රිකානුවා සිය රැස් පෙන්වන්නට පටන් ගත්තා. මිනිත්තු 125ක් ඇතුළත ඔහු ශතක මායිමෙන් ඔබ්බට පැනගන්නට සමත් වූ අතර මොහොතක පමාවෙන් ඔහු ලකුණු 150 වෙනුවෙන් පිත්ත ඔසවන ආකාරය දැකගත හැකි වුනා.

මේ වෙද්දී සිය කණ්ඩායමට සහයෝගය දෙන්නට පැමිණි බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් සම්පූර්ණයෙන්ම නිහඬ කරන්නට දකුණු ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට හැකියාව ලැබී තිබුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 513ක් සිය ලකුණු පුවරුවට එක් කරන්නට සමත්කම් දක්වා තිබුණා. ඒ සමයේ දිනකට ක්‍රීඩා කරන්නට තිබුණේ පැය පහමාරක කාලයක්. පැය පහමාරකින් එවන් ලකුණු සංඛ්‍යාවක් වාර්තා වීම ඇදහිය නොහැකි අන්දමේ දස්කමක්.

දිනය අවසානයේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අක්බඹරු හිසකේ ඇති, උසැති සිරුරකට හිමිකම් කී හීන්දැරී පිතිකරුවාගේ නමට ඉදිරියෙන් ඉන් ලකුණු 326ක්. දිනය නිමාවන තෙක් ඔහු නොදැවී කඩුල්ලේය.

පළමු දිනයේ අවසාන පන්දුවාරය ක්‍රියාත්මක කළේ ඩෙනිස් ලිලීය. ලිලී ක්‍රියාත්මක කළ එකී පන්දුවාරයේ අවසාන පන්දුව ලිලීගේ හිසට ඉහළින් හතරේ සීමාව වෙත යවන්නට දකුණු අප්‍රිකානු තරුණ පිතිකරුවා සමත් වුනා. පන්දුව පිත්තෙන් ගිළිහෙනවාත් සමඟම කිසිවක් නොවූ පරිද්දෙන් සිය අත් ආවරණ ගලවා ගත් ඔහු පිත්ත කිහිල්ලේ ගසාගෙන ක්‍රීඩක විවේකාගාරය දෙසට ඇවිද යන්නට වුනා.

දිනයේ අවසාන පන්දුව කියා හෝ ඩෙනිස් ලිලී කියා තැකීමක් නොකරමින් තරුණ දකුණු අප්‍රිකානුවා එල්ල කළ අනර්ඝ පහර බටහිර ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා පවා අමන්දානන්දයට පත් කරන්නට සමත් වුනා.

පසුදිනයේ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 21ක් එක් කළ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි දකුණු ඕස්ට්‍රේලියානුවා දැවී ගිය අවස්ථාවේ දී ප්‍රේක්ෂකාගාරවලින් නැගිටගත් නරඹන්නෝ මහත් හඬින් ඔල්වරසන් දුන්නා. එය කලකට වතාවක් පමණක් දකින්නට ලැබෙන අනගි ඉනිමක්. ඔහුගේ ලකුණු 356ට වැය වී තිබුණේ පන්දු 381කි. ඊට මනරම් හතරේ පහර 48ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වී තිබුණා.

“කිසිම සැකයක් නෑ මේ හාදයාට බැට් කරන්න පුළුවන්,” බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු මුවින් පිටවුනා.

ෂෙෆිල්ඩ් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ මේ තරුණයාට ලකුණට ඩොලරය බැගින් ගෙවන්නට කොකා-කෝලා සමාගම එකඟ වී සිටියා. ඒ අනුව තරගාවලිය නිමාවේ දී ඔහු ලකුණු රැස් කර ගත් ලකුණු 1,528ට සරිලන මුදල කොකා-කෝලා සමාගමෙන් ඔහුට ලැබුණා.

බැරී රිචර්ඩ්ස් නම් තරුණ දකුණු අප්‍රිකානුවා ඕස්ට්‍රේලියානුවන්ට දරුණු ලෙසින් බැට දුන් පළමු අවස්ථාව එය නොවේ.

ඊට ටික කලකට පෙර එනම් 1970 වසර මුල ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අතර රිචර්ඩ්ස් ටෙස්ට් වරම් දිනා ගත්තේ මේ සංචාරයේ නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දීයි.

පළමු ටෙස්ට් තරගයේ දී කැපීපෙනෙන තරමේ දස්කමක් පෑමට අසමත් වුවද තමා උපන් ඩර්බන් නගරයේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී ඉතා පහසුවෙන් ශතක මායිමෙන් ඔබ්බට පැන ගන්නට රිචර්ඩ්ස්ට හැකියාව ලැබුණා.

මේ තරගයේ දී පිතිකරණ අංශයෙන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් අති සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළේ ග්‍රැහැම් පොලොක්. ඔහු ලකුණු 274ක් ලබා ගත් අතර රිචර්ඩ්ස්ගේ පිත්තෙන් ලකුණු 140ක් වාර්තා වී තිබුණා. ඒ වෙනුවෙන් ඔහු වැය කර තිබුණේ පන්දු 164ක් පමණයි. සිය පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹය නිසාවෙන් සංචාරක ඕස්ට්‍රේලියානුවන් ඉනිමකින් සහ ලකුණු 129කින් පරාජය කරන්නට දකුණු අප්‍රිකානුවන්ට එදා හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකානුවන් සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් ඕස්ට්‍රේලියානුවන්ට අයත් වූයේ 4-0ක් ලෙස අවමන් සහගත පරාජයක්. ඕස්ට්‍රේලියානු පරාජයට මූලික වග උත්තරකරුවෙකු වූ රිචර්ඩ්ස් තරගාවලිය පුරාවට ලකුණු 508ක් රැස් කරන්නට සමත් වුනා. ඒ ඉනිමක ලකුණු සාමාන්‍ය 72.57ක් ලෙස රඳවා ගනිමින්. ඊට ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් ඇතුළත් වී තිබුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගාවලිය පහසුවෙන් 4-0ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ගත්ත ද, එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් එවකට දකුණු අප්‍රිකාව අනුගමනය කළ වර්ණභේදවාදී ප්‍රතිපත්තිය නිසා ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තහනම් කලාපයක් බවට පත්වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් කොන් වීම රිචර්ඩ්ස්ට පමණක් නොව ග්‍රැහැම් පොලොක්, එඩී බාලෝ, පීටර් පොලොක්, මයික් ප්‍රොක්ටර් වැනි ක්‍රිකට් ලොව එළිය කරන්නට සිටි අතිශය දීප්තිමත් ක්‍රිකට් තාරකාවන් සදහටම ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් ඈත් කර තබන්නක් වුනා.

එංගලන්ත ප්‍රාන්ත තරග, ඕස්ට්‍රේලියාවේ ෂෙෆිල්ඩ් පලිහ තරගවලට සහභාගී වෙමින් තමන් කවුරුන්ද කියා ලෝකයාට පෙන්වීම හැර විකල්පයක් දකුණු අප්‍රිකානුවන්ට තිබුණේ නැහැ.

දකුණු අප්‍රිකාවේ නටාල්, එංගලන්තයේ ග්ලොස්ටෂයර්, හැම්ප්ෂයර්, ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම්වලට ක්‍රීඩා කරමින් රිචර්ඩ්ස් පළමුපෙළ ලකුණු 28,358ක් වාර්තා කිරීමට ඔහු සමත්වන්නේ ඉනිමක සාමාන්‍ය 54.74 ක වැනි ඉහළ අගයක රඳවා ගනිමින්. එයට ශතක 80ක් සහ අර්ධ ශතක 152ක් ද ඇතුළත් කරන්නට ඔහු සමත් වුනා.

හැම්ප්ෂයර් කණ්ඩායම වෙනුවෙන් රිචර්ඩ්ස් සහ ගෝර්ඩන් ග්‍රිනිඡ් ලබා දුන් ආරම්භක සබඳතාවයන් අදටත් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගවල අමරණීය මතකයක්.

ගෝර්ඩන් ග්‍රිනිඡ්, ඇන්ඩි රොබර්ට්ස් වගේ හැම්ප්ෂයර් වල මා සමඟ ක්‍රීඩා කරන උදවිය ලෝකේ පුරා ගිහින් විශාල ප්‍රේක්ෂකාගාර ඉස්සරහා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරලා ආපහු හැම්ප්ෂයර් වෙත එනවා. ඒ අතරේ ඔවුන් සමඟ එකම තලයේ දක්ෂතා තියන මම ප්‍රේක්ෂකයෝ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් බලන්න එන එංගලන්තයේ ප්‍රාන්ත තරගවල සීතලේ ක්‍රීඩා කරනවා. ඒක සෑහෙන කනගාටුවට කාරණාවක්,” බැරී පසුකලෙක සිය වේදනාව සහ කලකිරීම පිටකර හරිමින් පැවසුවා.

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දැවැන්තයන් අතරට පහසුවෙන්ම එක් වන්නට තිබූ බැරී රිචර්ඩ්ස් නාමය වර්ණභේදවාදී ගින්න නිසාවෙන් ලොවට අහිමි වී යෑම ක්‍රිකට් ලෝලීන්ගේ පැත්තෙන් සිදු වූ විශාල අභාග්‍යයක් සහ ඛේදවාචකයක් බවයි සටහන නිමා කරමින් අපට පැවසිය හැක්කේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<