වෙල් බෝල්ඩ් වෝනි!

397

ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ පුහුණු දැල වෙත ටෙරී ජෙනර් සෙමින් සෙමින් ඇවිද යමින් සිටියේය. ඔහු හමුවීමට පුහුණු දැල කෙළවරක සිටියේ ඉහළට උසවා සකස් කරන ලද රන්වන් හිසකේ ඇති තරබාරු, චබී කොලුවෙකි.

“මම දැන් මොකක්ද කරන්න ඕන?” කොලුවාගෙන් ප්‍රශ්නයකි.

“මට ලෙග්ස්පින් බෝලයක් දාලා පෙන්නපන්.”

සිය පන්දු යැවීමේ සීමාවට ඇවිද ගිය තරබාරු කොලුවා වැඩි ආයාසයකින් තොරව පන්දුවක් මුදාහැරියේය.

කොලුවාගේ අතින් ගිලිහී ගිය පන්දුව උඩුගුවනේ අපූරු රටාවක් මවමින් ගොස් පතිතයෙන් අනතුරුව දකුණත් පිතිකරුවෙකුගෙන් අඩි කිහිපයක් ඉවතට දඟ කැවී ඉවතට විසි වී ගියේය.

“දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. තමුසේ මොකක්ද ඒ දාපු බෝලේ. ආයේ එකක් දාපන්, ආයේ එකක් දාපන්’”

ජෙනර්ගේ ඇස් දෙක පුදුමයෙන් නළල මතට ගොස් තිබේ. ක්‍රිකට් පුහුණු රස්සාවට අලුත් වුවද ජෙනර්ට මේ තරුණයා අනාගතයට වැඩදායක එකෙක් බැව් ඉවෙන් මෙන් හඳුනා ගන්නට ගත වූයේ පන්දු දෙකකි.

දෙවැනි පන්දුව පෙර පන්දුව මෙන්ම ආයාසයකින් තොරව අඩි කිහිපයක් එළියට කපා පිතිකරුවා අන්දමන්ද කරන්නට තරබාරු තරුණයා සමත් විය.

ටෙරී ජෙනර්ට ෂේන් වෝන් නම් අංකුර දඟපන්දු යවන්නා මුල්ම වරට හමුවන්නේ එලෙසය. ක්‍රිකට් ක්‍රීඩාවේ අගනා පුරාවෘත්තයක් මුවහත් කිරීමේ අපූරු අඩිතාලම දැමූ දිනය එය විය.

“ඇඩිලේඩ් පුහුණු දැලක දී ෂේන් මට මුලින්ම මුණගැහෙන කොට අඩුම ගානේ මම මිනිහාගේ නමවත් හරියට අහලා තිබුණේ නෑ.”

ෂේන් වෝන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජීවිකාව කරන්නට සිහින මැවූ අයෙකු නොවේ. නමුත් ඔහුගේ දෛවය ඒ සියල්ල වෙනස් කළේය.

ඕස්ට්‍රේලියානු පාපන්දු ලීගයට (AFL) ක්‍රීඩා කරන ශාන්ත කිල්ඩා ක්‍රීඩා සමාජයට අයත් ක්‍රීඩකයෙක් වූ තරුණ වෝන්ගේ සිහිනය වූයේ ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාව සිය වෘත්තිය කරගන්නටය.

යාන්තම් දහඅට හැවිරිදි වියට එළඹි ඔහුට ශාන්ත කිල්ඩා ක්‍රීඩා සමාජයෙන් ලිපියක් ලැබුණි. එහි සඳහන් වූයේ ඔහුගේ සේවය තවදුරටත් ශාන්ත කිල්ඩා ක්‍රීඩා සමාජයට අවශ්‍ය නොකරන බව දැන්වූ වදන් පෙළකි. ඔහුගේ මැවූ ලෝකය ඔහුගේ දෑස් ඉදිරිපිටම කඩා වැටෙන සෙයක් ෂේන් වෝන් නම් වික්ටෝරියානු තරුණයාට දැණුනි.

නමුත් මේ තරුණයා ලෙහෙසියෙන් සටන අතහරින්නට සූදානම් එකෙකු නොවේ.

ඔහු නැගී සිටියේය. ඉතිහාසය වෙනස් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ලෝක ක්‍රීඩා ඉතිහාසයේම සුවිශේෂී සලකුණක් වෙමින් ක්‍රීඩා දිවිය නිමා කරන්නට අප කතානායකයා සමත් විය. හිතුවක්කාර, සල්ලාල, බේබදු ගති ඇති, ඒ සැමට ඉහළින් ක්‍රිකට් පිටිය දිග්විජය කරන්නට ෂේන් වෝන් නම් වික්ටෝරියානු තරුණයා ආ ගමන ඇදහිය නොහැකි අන්දමේ අපූරු චාරිකාවකි.

“වයස අවුරුදු දහඅටේ පොඩි කොලු ගැටයෙක්ට ඒ වගේ ප්‍රතික්ෂේප වීමක් ජීවිත කාලෙටම නරක විදියට බලපාන්න පුළුවන්. ඒ ලියුම් කඩදහිය ඇත්තටම මගේ ජීවිතය නැවත අවදි කිරීමක් වුනා කිව්වොත් වැරදි නැහැ.

එවන් තරුණ වයසක දී ඔබ යමකට සුදුසු නැහැ කියා දැනගන්න ලැබීම තරුණයෙක්ට දෙවිදියකට බලපාන්න පුළුවන්. ඔබට සමස්ත සමාජ ක්‍රමයට දොස් දෙවොල් තබමින් වෛරයෙන් වැරදි මාර්ගවලට යොමු වෙන්න පුළුවන්. අනෙක් අතට මා කළා මෙන් දිරිමත්ව සටන් කරමින් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්.

ශාන්ත කිල්ඩා ක්‍රීඩා සමාජයෙන් ප්‍රතික්ෂේප වීම ඇත්තටම මට දරුණු ආකාරයකින් දැනුණා. එය මගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් කළා. සිකුරාදා දිනයන්හි පීසා බෙදාහැරීමේ සිට රැකියාවන් කිහිපයක් කළා. නමුත් මට ඒ කිසිම රැකියාවක් මගේ ජීවිතය සමඟ ගැළපීමක් පෙන්නුම් කළේ නැහැ. අවසානයේ මට උරුම දේ මට මුණගැහුණා.

ඒ තමයි ක්‍රිකට් සහ පා දඟපන්දු යැවීම!

ඔව්, මම තරමක් වයස පහුවෙලා ක්‍රිකට් ක්‍රීඩාවට ආපු කෙනෙක්. එය එක් අතකින් වෙස්වලාගත් ආශීර්වාදයක්. නියමිත වයසට වඩා පසුවී පැමිණි නමුත් මම සෑහෙන මහන්සි වුනා. මට උවමනා වුනේ මගේ හොඳම පිටපත වෙන්න. මම හිතනවා මට එහෙම වෙන්න ලැබුණා කියල.

ඇත්තටම මට විශාල දායාදයක් දෙමාපියන් ගෙන් ලැබී තිබුණා. මට ඉතාම හොඳින් පන්දුව දඟ කවන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම මට විශාල දෑතක් මෙන්ම ශක්තිමත් මැණික් කටුවක් පිහිටා තිබෙනවා. ඒ මගේ දෙමාපියන්ගේ ජානවලින් ලැබුණ දේවල් කියල මම හිතන්නේ.

පුහුණුවීම්වල දී මම හැකිතාක් පන්දු යැව්වා. මම මටම අභියෝගය කරගත්තා. අදට වඩා හෙට අඩියක් හෝ ඉස්සරහට යන්න. ඒ වගේම ගෙදර සිටින විට මම ක්‍රිකට් පන්දුවක් අතේ තබාගෙන පන්දුව මුදාහරින ආකාරයෙන් උඩ දමමින් පුහුණුවේ යෙදුණා. එමගින් පා දඟපන්දුකරුවෙකුට තිබෙන විවිධාකාරයේ පන්දු පිළිබඳ හැඟීමක් ලබාගැනීමයි මූලික අරමුණ වුනේ.

ඔබ හැමෝම දන්න විදියට මගේ පෞද්ගලික ජීවිතය එතරම් යහපත් එකක් නොවෙයි. විවිධාකාරයේ මතභේදාත්මක සිද්ධීන් එක්ක මගේ නම නිතරම ඈඳෙනවා. ඒ කොහොම වුනත් හතරේ සීමාව පසු කරලා ක්‍රිකට් පිටිය මැද්දට ආවාම ඒ සියල්ලම මා අමතක කරනවා. මම තරයේ අදහන දෙයක් තමයි මා ගැන විශ්වාසය තැබූ කිසිවෙකු ක්‍රිකට් පිටිය තුළ දී අපහසුතාවයට පත් කරන්නේ නම් නැහැ කියන කාරණාව.”

ෂේන් වෝන් යනු අසීමිත දක්ෂතාවයකින් හෙබි සියවසකට වරක් පමණක් බිහිවන ආකාරයේ අපූරු ක්‍රීඩකයෙකි. නමුත් ඔහු එම දක්ෂතාවයෙන් පමණක් කඩුලු දවාගත්තෙකු නම් නොවේ. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් වැඩේ කරගන්නට ඔහු අති සමතෙකි.

“මම ප්‍රතිවාදියාගේ හිසට ඇතුල් වෙන්න කැමතියි. ඔහුව නොසන්සුන් කරන්න, ඔහුට මොනවහරි කියන්න කැමතියි. නැති පීඩනයක් ඇති කරන්න කැමතියි.

දැන් ඔබට හිතෙන්න පුළුවන් මට එරෙහිවත් ඒ ආකාරයෙන් පිටියේ දී වාග් ප්‍රහාර එල්ල වෙනවා ඇති කියා. නමුත් එවැනි දේවල් සිදු වෙන්න සිදු වෙන්න මගේ නම් මානසික ඒකාග්‍රතාවය තව තවත් වැඩිවෙනවා මිසක් ප්‍රතිවාදියාට කිසිම සෙතක් වෙන්නේ නැහැ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි අවධියේ මගේ දස්කම් එතරම් උසස් මට්ටමක තිබුණේ නැහැ. එවන් අසීරු දවසක මට යම් අපූරු උපදෙසක් ලැබුණා.

එවකට මගේ නායකයා වූ ඇලන් බෝඩර් මා පැත්තකට කැඳවා ගත්තා. ඒබී (ඇලන් බෝඩර්) මට කිව්වා ඔහු පිතිකරණයේ යෙදෙන විට ඔහුගේ මානසික ඒකාග්‍රතාවය බිඳී යන සෑම විටකම ඔහු ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමඟ වාග් ප්‍රහාරයකට පැටලෙන බව.

එය ඉතාම හොඳ උපදෙසක් බව මට වැටහී ගියා. එවන් අවස්ථාවක සටන ඇත්තේ මාත් ඔහුත් අතර පමණයි. එවන් සටනකට අවතීර්ණ වූ පසු වඩාත් ආක්‍රමණශීලී ආකාරයෙන් ක්‍රීඩා කරන්න මට හැකියාව ලැබුණා.”

එලෙස ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ ෂේන් කීත් වෝන් නම් අපුරු ඕස්ට්‍රේලියානුවා ක්‍රිකට් ක්‍රීඩාවට තිත තබද්දී, ටෙස්ට් තරග 145ක් ක්‍රීඩා කරමින් කඩුලු 708ක් දවා ගැනීමට සමත් වූ අතර එක්දින තරග 194ක දී වෝන් දවා ගත් කඩුලු සංඛ්‍යාව 293කි.

ප.ලි: පසුගිය වසරේ මාර්තු මාසයේ සිදු වූ ෂේන් වෝන්ගේ හදිස්සි නික්ම යෑම ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශාල පදාසයක් ගැලවීයෑමක් වැනිය. ෂේන් වෝන් නාමය ක්‍රිකට් ක්‍රීඩාව පවතින තුරා සදාකාලික පුරාවෘත්තයක් ලෙසින් පවතිනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<