කොහේද කොහේද හොල්මන් තියෙන්නේ?

890

අද අපි කතා කරන්න යන්නේ ක්‍රිකට් පිටියෙන් එහා ගිය වෙනස්ම පැත්තක් ගැන. හොල්මන්, අවතාර වගේ ඇහැට පේන්නේ නැති, විස්තර කරන්න බැරි අදෘශ්‍යමාන දේවල් සම්බන්ධ සිදුවීම් කාලෙන් කාලෙට ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙනුත් අහන්න ලැබෙනවා. ඒ වගේ අමුතු සිද්ධි කිහිපයක් තමයි මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ.

දාදා බය කළ හොල්මන්

2002 නැට්වෙස්ට් තුන්කොන් තරගාවලියේ ෆයිනල් එක ගහලා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ සඳළුතලය උඩ ඉඳන් ෂර්ට් ඔක්කොම ගලවගෙන සව්රව් ගංගුලි දාපු වන්නම කාටත් මතක ඇතිනේ.

ඉන්දීය නායකයා වෙච්ච ගංගුලි ඕක කළේ එංගලන්ත ටීම් එකේ ක්‍රීඩකයෙක් කරපු දේකට රිටර්න් එකක් විදියට.

ඊට ටික කාලෙකට කලින් ඒ කියන්නේ 2001/02 තරග වාරය වෙනුවෙන් ඉන්දියාවට ආපු එංගලන්ත කණ්ඩායමේ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් ඉන්දියාව මැච් එකකින් පරද්දලා ෂර්ට් එකත් ගලෝගෙන පිට්ටනිය වටේට දිව්වා. ඒ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී.

වන්කඩේ ග්‍රවුන්ඩ් එකේ දී සුද්දෙක්ට එහෙම කරන්න පුළුවන් නම් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී තමන්ට එහෙම දෙයක් කරන්න බැරිකමක් නෑ කියන අදහසේ තමයි ගංගුලි එදා හිටියේ.

ගංගුලි ෂර්ට් එක ගලෝගෙන කරපු වැඩේ ක්‍රිකට් ලෝකය පුරාම ඇති කළේ විශාල ආන්දෝලනයක්. ලොව පුරා සිටින ක්‍රීඩාලෝලීන්ගෙන් මේ සිදුවීමට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන්මල්කඩ වගේ සැලකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ගංගුලි කළේ නායකයෙකුට නොගැලපෙන නොහොබිනා වැඩක් කියලා ගොඩාක් අය කිව්වේ.

හැබැයි මේ මතිමතාන්තර ඔක්කොම අස්සේ ගංගුලි කියන්නේ ඒ සිද්ධියටත් වඩා ජීවිත කාලෙටම මතක හිටින සීන් එකක් ඔය එංගලන්ත ටුවර් එකේ දී වුනා කියලා.

මේ සිද්ධිය වුනේ ඩරම් වල අපේ කණ්ඩායම නැවතිලා හිටපු හෝටලේ දී.

අපි ප්‍රැක්ටිස් සෙෂන් එකක් ඉවර කරලා හොටෙල් එකට ආවා විතරයි. පහුවදා මැච් එකක් වැටිලා තිබුණ නිසා මම හිතුවා ටිකක් ඉක්මනින් නිදා ගන්න ඕන කියලා.

වොෂ් එකක් එහෙම දාගෙන ඇවිත් රූම් එකේ ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා මම ඇඳට නැග්ගා.

මට පොඩි අවුලක් තියනවා රූම් එකේ පොඩි හරි එළියක් පේන්න තියනවා නම් නින්ද යන්නේ නෑ. ඔක්කොම ලයිට්ස් ඕෆ් කළා. අන්තිම ලයිට් එකත් ඕෆ් කළාට පස්සේ මට මළාට වගේ නින්ද ගියා.

මට ඒ අස්සේ හීනෙන් වගේ ඇහෙනවා ටැප් එකක් ඇරලා වතුර ගලාගෙන යන සද්දේ.

මම ගිහින් බැලුවාම මුකුත් අවුලක් නෑ. ටැප් ඔක්කොම හොඳට වහලා. මට හිතුණා හීනයක් වෙන්න ඇති කියලා.

දැන් මම ආපහු ඇඳට වැටිලා නින්දේ.

මට ආයේ පැය භාගෙකින් විතර ඇහෙනවා ටැප් එකක් ඇරල වතුර ගලාගෙන යන සද්දේ.

මොනවා කරන්න ද ආපහු ඇඳෙන් බැහලා ගිහින් බැලුවා මුකුත් අවුලක් නෑ.

දැන් නම් මගේ හිතට පොඩ්ඩක් අවුල් වගේ.

මම හිතුවා හරි ලයිට්ස් දාගෙන හරි බුදිය ගන්නවා. හෙට මැච් එකක් තියන නිසා කොහොමහරි නින්දක් ලබා ගන්න එක සෑහෙන වටිනවා.

වැඩේ හරියන්නේ නෑ. ලයිට්ස් තියන කොට මට නින්ද යන්නෙම නෑ.

ආපහු ලයිට්ස් ඕෆ් කරලා නිදා ගන්න කියලා හිතුවා.

මෙන්න යාන්තම් නින්ද යාගෙන එද්දි මට ආයේ අර ටැප් එකක් ඇරලා වතුර ගලාගෙන යන සද්දේ ඇහෙනවා.

මම ඇඳෙන් බැස්සා නෙවෙයි පැන්නා.

කෙළින්ම දිව්වේ රොබින් සිං ගේ කාමරේට.

‘මොකද මොකද අවුල?’ ඒ රොබින් සිං.

‘නෑ රූම් එකේ හීටර්ස් මුකුත් වැඩ නෑ.’

ඇයි යකෝ මම කැප්ටන්. නිකන් නෙවෙයි ඉන්දියන් ටීම් එකේ කැප්ටන්. ඉන්දියන් කැප්ටන් හොල්මනකට බය වෙලා දුවගෙන ආවා කියන්නෙයි.

සව්රව් ගංගුලි ලෝඩ්ස් සඳළුතලය මතය ජය සමරමින්

‘අද රෑට මට මේ කාමරේ ඉන්න පුළුවන් ද?’

රොබින් සිංගේ ලෑස්තිය මට ඇඳ දීලා බිම බුදියන්න. මම ඉතින් පොරගේ කැප්ටන් නොවැ.

මම කිව්වා මට බිම බුදිය ගන්න එක ෂෝක් කියලා. එහෙම කියලා බිම රෙද්දක් එලාගෙන නිදාගත්තා.

මේ මහ රෑ මට ඉන්න දීපු එකම මැදැයි.

පස්සේ මට දැනගන්න හම්බුණා 2004 බටහිර ඉන්දීය කොදෙව් ටීම් එකේ උදවියයි, 2005 ඕස්ට්‍රේලියන් ටීම් එකේ එවුනුයි ඩරම් වල හෝටලයක දී හොල්මනකට බය වුනා කියලා.

හැබැයි උන් කවුරුත් දන්නේ නෑ ඔක්කොටෝම කලින් මම තමයි හොඳටම බය වුනේ කියලා.”

පිටිය මැද හොල්මන් කළ ඩැරන් ගෆ්

2005 වසරේ එංගලන්තය, බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් තුන්කොන් එක්දින තරගාවලියක් එංගලන්තයේ දී පැවැත්වුණා.

මේ තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයක දී එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඩැරන් ගෆ් සිය පන්දු යැවීමේ සීමාවට යන අතරවාරයේ පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු දෙස බලා ඔහු බිය ගන්වන ස්වරූපයක් පෙන්නුම් කළා.

මේ අමුතු සිදුවීමට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවා වුනේ ෂේන් වොට්සන්. දෑත් ඔසවා හොල්මනක ස්වරූපයෙන් ගෆ් කළ මේ ක්‍රියාව පිටුපස අමුතු තාලයේ කතාන්දරයක් තිබුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේ දී වොට්සන් යම්කිසි අදෘශ්‍යමාන සිදුවීමකට බිය වී තිබුණා. මීට කලින් ඉන්දියානු නායක සව්රව් ගංගුලිත් මේ ආකරයෙන්ම මේ හෝටලයේ දී බියට පත්වෙලා තිබුණා. මෙකී හෝටලය ආදී කාලයේ මාලිගාවක් බවක් සහ මිනීමැරුම් කිහිපයක් සිදු වූ ස්ථානයක් බවයි කියවුණේ.

මේ ආකාරයෙන් බියට පත්වූ ෂේන් වොට්සන් එදා රැය පහන් කළේ බ්‍රෙට් ලී ගේ කාමරයේ බව පැවසුණා.

තමන් එදා නවාතැන් ගෙන සිටි හෝටලයේ දී හොල්මන් වැනි අදෘශ්‍යමාන දේ දුටු බව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මාධ්‍ය කළමනාකාරවරිය පවා සහතික කර කියා සිටියා.

එදා පිටිය මැද දී වොට්සන් බිය ගන්වමින් ගෆ් පැවසුවේ මෙවැන්නක්.

වරෙන් මගේ කාමරේට. ඇවිත් මගේ ඇඳේ නිදා ගනින්”

සාමාන්‍යයෙන් තද ගති ඇති ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පවා බියට පත් කරන්නට එංගලන්ත හොල්මන්, අවතාරවලට හැකියාව ලැබී තිබුණා.

පසු සටහන: එංගලන්තයේ සංචාරය කරන කණ්ඩායම් වලට මේ හොල්මන්, අවතාර ප්‍රශ්නය සෑහෙන බලපෑමක් කරන නිසා ලියුම්කරු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයෙකුගෙන් මේ ගැන විමසුවා.

ඔහු ප්‍රකාශ කළේ එංගලන්තයට ගොස් මෙවන් අද්භූත තාලයේ හෝටල්වල නවාතැන් ලැබෙන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තනි තනිව නොව කුඩා කණ්ඩායම් ලෙස කාලය ගත කරන බවයි. ඔහුගේ මතය වුනේ  ඇතැම් සංවිධායකයින් හිතාමතාම මෙවැනි හෝටල් ලබා දෙන්නේ සංචාරක කණ්ඩායම්වල ක්‍රීඩකයින් ගේ මානසික තත්ත්වය අවුල් කිරීමට බවයි. එමඟින් ක්‍රිකට් පිටියේදී අමතර වාසියක් ලබාගැනීමට උත්සාහ කරන බව ඔහුගේ අනුමානය වුනා.

සව්රව් ගංගුලිගේ සිදුවීම Beefy’s Cricket Tales ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<