ඇඟිල්ලට වඩා ක්‍රීඩාවට පෙම් කළ ස්ටෝක්ස්!

6372

මීට දින කිහිපයකට කලින් නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායමයි. තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වපු එංගලන්ත කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීමට සුදුසුම කණ්ඩායම තමන් බව අවිවාදයෙන්ම ඔප්පු කළා.

ලෝක කුසලාන අවසන් මහා තරගයේ එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ අංශයෙන් වීරයා වුනේ බෙන් ස්ටෝක්ස්.

එය බෙන් ස්ටෝක්ස් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින්ම තීරණාත්මක තැන්වල දී ඔවුන් බේරා ගත් පළමු හෝ එකම අවස්ථාව නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ආදරයක් ඇති බොහෝ දෙනා කියන විදියට බෙන් ස්ටෝක්ස් කියන්නේ මේ වගේ අසීරු තත්ත්වයන් සඳහාම උපන් අයෙක්.

මේ චිත්ත ධෛර්යය බෙන් ස්ටෝක්ස්ට ආවේ කොහොමද කියලා කතා කරද්දී අපිට අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා. මේ අපේ ලිපිය සැකසෙන්නේ ඔහු වෙනුවෙන්.

මේ කතාව කියන්න අපි ඔබ රැගෙන යනවා 80 දශකයේ මුල කාලය වෙත. මේ පුද්ගලයා නවසීලන්තයේ කැන්ටබරි කණ්ඩායම වෙනුවෙන් රග්බි ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. මේ කාලයේ ඔහුට එංගලන්තයේ වර්කිංටන් රග්බි ක්‍රීඩා සමාජය සමඟ සම්බන්ධ වන්නට ආරාධනාවක් ලැබෙනවා.

අපි මේ කියන සිදුවීම වෙද්දී ඔහු ක්‍රීඩා කරමින් හිටියේ එංගලන්තයට යන්නට පෙර නවසීලන්තයේ දී ක්‍රීඩා කරන අවසාන තරගය.

මේ කියන තරගය ආරම්භ වී පස්වැනි විනාඩියේ දී ඔහුගේ අතේ ඇඟිල්ලක් ආබාධයකට ලක්වෙනවා. රග්බි කිව්වාම අපේ හිතට එන්නේ ශක්තිමත් ක්‍රීඩකයින්, තද ගති ඇති ක්‍රීඩකයින්. ඒ වගේම රග්බි ක්‍රීඩාවට ආබාධ වගේ දේවල් නුහුරු නුපුරුදු නෑ. නමුත් අප මේ කියන ක්‍රීඩකයාගේ ආබාධය තරමක් දරුණුයි. ඔහුගේ බිඳී ගිය ඇඟිල්ල, ඇඟිලි පුරුකෙන් ගැලවී පසෙකට ඇදී එල්ලෙමින් තිබුණා.

ක්‍රීඩා පිටියෙන් ඉවත සිටි වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශය වුනේ කැඩී ගිය ඇඟිල්ල නැවත ප්‍රකෘති තත්වයට ගෙන එන්නට යම් කාලයක් ගත වන බව. ඒ වගේම ඇඟිල්ලට ප්‍රතිකාර කරන්නට නම් වහාම රෝහලකට ඇතුළත් විය යුතු බව ඔවුන්ගේ නිර්දේශය වුනා.

නමුත් අපේ මේ කතානායක රග්බි ක්‍රීඩකයා වෛද්‍ය නිර්දේශය පිළිගන්න සූදානම් වුනේ නැහැ. ඔහුගේ කළේ තමන් විසින්ම කැඩී ගිය ඇඟිල්ල නැවත සකසා ගැනීම. එහෙම හිතුවක්කාර වැඩක් කරපු ඔහු ඇඟිල්ල වෙලුම්පටි වලින් ඔතාගෙන නැවතත් තරගයට සහභාගී වෙන්න පිටිය මැදට ගියා.

අවාසනාවකට ඔහු ඇඟිල්ල නියමිත ආකාරයෙන්, නියමිත තැනට සකසා ගෙන තිබුණේ නැහැ. ඒ නිසාම තරගය අතරතුර ඇඟිලි පුරුකත් බිඳී ගොස් තිබුණා. කොහොම වුනත් ඔහු එදා කැඩී ගිය ඇඟිල්ලක් සමඟ තරගය සම්පූර්ණ කළා.

මේ ක්‍රීඩකයාට තිබූ ප්‍රශ්නය තවත් උග්‍ර කරමින් වර්කිංටන් ක්‍රීඩා සමාජය සමඟ තිබූ ගිවිසුම අවිනිශ්චිත තැනකට පැමිණෙමින් තිබුණා. එයට හේතුව වුනේ කැඩී ගිය ඇඟිල්ලක් සමඟ ක්‍රීඩා කිරීමට සිදු වන නිසා ශාරීරික යෝග්‍යතාව ගැන පැන නැගුණ ප්‍රශ්නයක්. නමුත් ඔහු සටන අතාරින්නට සූදානම් වුනේ නෑ.

අපේ කතානායක රග්බි ක්‍රීඩකයා සිය කැඩී ගිය ඇඟිල්ල වෙලුම්පටි වලින් ඔතාගෙන, වේදනා නාශක ලබාගෙන ක්‍රීඩා කරන්නට තීරණය කර තිබුණා. මේ ආකාරයෙන් ඔහු එවර තරග සමය පුරාවටම ක්‍රීඩා කළා. නමුත් තරග සමයේ අවසානයට වන්නට දණහිසේ ඇතිවූ ආබාධයක් නිසා ඔහුට අවසන් තරග කිහිපය පමණක් මග හැරුණා.

නැවත නවසීලන්තයට පැමිණි විගස ඔහු දණහිසේ ආබාධය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතුවා. ඒ අතරේ නැවත වතාවක් ඇඟිල්ලේ ආබාධය ගැන කතාබහක් ඇති වුනා. ඔහුගේ දණහිසේ ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගේ උපදෙස වුනේ ඇඟිල්ලටත් ශල්‍යකර්මයක් කළ යුතු බවයි. එසේ වුවහොත් ඔහුට බොහෝ කාලයකට රග්බි ක්‍රීඩාවෙන් ඉවත් වන්නට සිදුවන බව කාටත් රහසක් වුනේ නැහැ.

රග්බි ක්‍රීඩාවෙන් කලකට ඈත්වීම කියන්නේ මූල්‍යමය වශයෙන් මේ පුද්ගලයාට සෑහෙන පාඩුවක්. ඒ නිසා මේ පුද්ගලයා අපූරු තීරණයක් ගන්නවා. ඒ තමන්ගේ අතේ ආබාධයකට ලක් වූ ඇඟිල්ල ඉවත් කිරීමට. කොහොමටත් රග්බි ක්‍රීඩකයෙක් විදියට කැඩී බිඳී ගිය  ඇඟිල්ලකින් ඔහුට ප්‍රයෝජනයක් තිබුණේ නැහැ.

ඇඟිල්ලේ ශල්‍යකර්මයෙන් වැඩිකාලයක් යන්න කලින් නැවත වතාවක් රග්බි පිටියට පිවිසෙන්න මේ ක්‍රීඩකයා සමත් වුනා.

මේ පුද්ගලයාගේ නම ජෙඩ් ස්ටෝක්ස්. ඔහු අපි කවුරුත් දන්න බෙන් ස්ටෝක්ස්ගේ තාත්තා. තමන්ගේ වම් අතේ ඇඟිල්ලි හතරහමාරක් සමඟ තමයි ජෙඩ් ස්ටෝක්ස් ආපහු රග්බි පිටියට ආවේ අන්න එහෙම.

රග්බි ක්‍රීඩාව අතරතුර බෙල්ලට සිදු වූ අනතුරක් නිසා වැඩි කල් නොයා රග්බි ක්‍රීඩාවට සමුදෙන්න ජ්‍යෙෂ්ඨ ස්ටෝක්ස්ට සිදු වුනා. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් සාර්ථක රග්බි පුහුණුකරුවෙක් බවට පත් වෙන්න ඔහුට හැකියාවක් ලැබුණා.

කුඩා බෙන්ට වයස අවුරුදු තුනක් වෙද්දී ජෙඩ් ස්ටෝක්ස්ට නැවත වතාවක් එංගලන්තයට සංක්‍රමණය වෙනවා. මෙවර ජෙඩ් එංගලන්තයට එන්නේ වර්කිංටවුන් රග්බි ලීග් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගන්න. මේ ගමන ජෙඩ් වගේම ඔහුගේ පුත්‍රයාගෙත් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුනා.

ජෙඩ් නවසීලන්ත රග්බි ක්‍රීඩාවේ ඉදිරිපෙළ චරිතයක් වුනත්, ඔහුගේ පුතා ක්‍රීඩාවේ යෙදුණේ එංගලන්තය වෙනුවෙන්. ඔහු රග්බි වෙනුවට තෝරාගත්තේ ක්‍රිකට්.

ඔහුගේ පුතා බෙන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තමන්ගේ කණ්ඩායම හෝ රට වෙනුවෙන් ලබා දිය හැකි සියලුම ආකාරයේ ගෞරව දිනා දෙන්නට සමත් වුනා. බෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ ඔහුගේ පියා රග්බි ක්‍රීඩාවේ යෙදුණ අතිශය උද්වේගකර ස්වරූපය බිඳුවක් හෝ අඩු නොකරයි.

2020 වසරේ සිට බෙන් ස්ටෝක්ස් ක්‍රිකට් පිටියේ දී මැඳගිල්ල නමා ඔහුටම ආවේණික ආකාරයේ  විශේෂ සැමරුමක් කරන ආකාරයක් දැකගන්න පුළුවන් වුනා. ලොව වටා ක්‍රිකට් ලෝලීන් මේ ගැන සෑහෙන උනන්දුවෙන් විමසා බැලුවා.

ඔහු මේ අපූරු ක්‍රියාව කළේ 2020 වසරේ දෙසැම්බරයේ මොළයේ පිළිකාවකින් මිය ගිය තමන්ගේ පියා ජෙඩ් ස්ටෝක්ස්ට කරන ගෞරවයක් ලෙසින්. මිය යන අවස්ථාවේ දී ජෙඩ් ස්ටෝක්ස්ගේ වයස අවුරුදු 65ක්

2019 වසරේ එංගලන්තයේ පැවති පන්දුවාර පනහේ ලෝක කුසලානයේ දී වගේම 2022 විස්සයි ලෝක කුසලානයේ දීත් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක ඉනිම් ක්‍රීඩා කරමින් අවසන් මොහොත දක්වා කඩුල්ලේ රැඳී සිටියේ බෙන් ස්ටෝක්ස්.

ඔහු තමන්ගේ පියා මෙන්ම අවසන් ලේ බිංඳුව දක්වා සටන් කරන සටන්කාමියෙකු බව මේ අවස්ථාවන් දෙකේ දී ම බෙන් ස්ටෝක්ස් මනාව ඔප්පු කළා.

ජෙඩ් ස්ටෝක්ස් නම් සටන්කාමියා මේ අවස්ථාවේ කොහේ හෝ ඔහු සිටින තැනක සිට තමන්ගේ පුත්‍රයා ගැන අතිශයින්ම ආඩම්බර වන බවට නම් කිසිම සැකයක් නෑ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<