අභියෝග හඹා යන නිහඬ ප්‍රහාරකයා “සූරි”

646

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major League ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් පිදුම් ලබන්නේ මූවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර.

තවමත් 23 වැනි වියේ පසුවෙන, දකුණතින් පන්දුවට පහර දෙන පසිඳු මෙම තරගාවලියේ දී තරග 10ක ඉනිම් 15ක දී ලකුණු 1091ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 77.92ක්.

“ලැබුණ සම්මානය ගැන ගොඩාක් සතුටුයි. පසුගිය කාලයේ කණ්ඩායමක් ලෙසත්, පෞද්ගලිකවත් බොහෝම මහන්සි වුනා, කැපකිරීම් කළා.  මම විශ්වාස කරනවා මේ එහි ප්‍රතිඵල කියලා. මෙම තරගාවලියේ දී පමණක් නොවේ. විස්සයි විස්ස තරගාවලියේදීත් සහ එක්දින තරගාවලියේදීත් ලකුණු අතර ඉන්න ලැබුණා. ඒ පිළිබඳවත් තිබෙන්නේ නිම කළ නොහැකි සතුටක්,” පසිඳු ThePapare.com සමඟ කතාබහ ආරම්භ කළේ ඒ ආකාරයෙන්.

පසිඳුගේ ලකුණු සටහන
තරග 1 2 3 4 5 6 7 8 9 10
පළමු ඉනිම 133 23 85 22 123 46 32 181 62 195
දෙවැනි ඉනිම 52 41 79 13 4*
  • ලංකන්, 2. පොලිසිය, 3. කැන්ඩි කස්ටම්ස්, 4. CCC, 5. SSC, 6. කෝල්ට්ස්, 7. BRC, 8. කළුතර, 9. සෙබසිතියනයිට්ස්, 10. කුරුණෑගල යූත්)

පසිඳු මෙම තරගාවලියේ දී ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 133ක්, SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 123ක්, කළුතර නාගරික සමාජයට එරෙහිව ලකුණු 181ක් සහ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 195ක් සමඟ තවත් අර්ධ ශතක 4ක් මේ ලකුණු අතරට ඇතුලත් කරනවා.

පසිඳු මෙවර තරග 10ත් සමඟින්  මේ දක්වා සහභාගී වී ඇත්තේ පළමු පෙළ තරග 15ක ඉනිම් 21කට පමණයි. එම ඉනිම් නිමාවේ දී පසිඳු ලකුණු 1208ක් ලබා සිටින අතර එහි සාමාන්‍ය 60.40ක් ලෙසින් පවත්වා ගෙන යෑමට සමත්ව සිටිනවා.

“තරගාවලිය ආරම්භයේ දී ම ලකුණු අතරට පිවිසීමේ දැඩි ආශාවකින් හිටියේ. සහභාගී වූ පළමු තරගයේ සිට ම මට ඒ ඉලක්කයට එන්න හැකි වුනා. පසුව තරගයෙන් තරගයට සැලසුම් කරමින් මේ ගමන ආවා. පුහුණුකරු චාමර කපුගෙදර මහතා මෙන් ම මූවර්ස් කණ්ඩායමේ සියලුම දෙනාගෙන් මේ වෙනුවෙන් ලැබුණ සහයෝගය ඉතාමත් විශිෂ්ටයි.”

පසිඳු තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වෙන්නේ ද මෙම තරගාවලියේ දී. ඒ කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව පන්දු 287කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින්  ලබා ගත් ලකුණු 195යි.

“තරගාවලියේ මැදි දුරක් එද්දී මට අවශ්‍ය වුනේ ලකුණු 1000ක් වාර්තා කරන්න. නමුත් වර්ෂාව නිසා තරග 2ක් අහිමි වුනා. මේ නිසා ටිකක් දෙගිඩියාවෙන් හිටියේ අදාළ වාර්තාවට යන්න හැකි වෙයි ද කියලා. නමුත් අවසන් තරගයේ දී මට ඒ ඉලක්කය කරා යන්න හැකි වුනා. එම ඉනිමේ දී කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස්ගෙන් ලැබුණ සහයෝගය අමතක කරන්න බැහැ.”

මෙවර තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන සබඳතාවේ වාර්තාවට හිමිකම් කීමට පසිඳු සහ රමේෂ් සමත් වෙනවා. ඔවුන් දෙදෙනා ඉනිමේ සිව්වැනි කඩුල්ලට වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය 305ක්.

පසිඳු පාසල් යන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට. කුඩා අවදියේ දී ගමේ සම වයසේ අය සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම තමයි පසිඳුගේ එක ම ආසාව. ඒකට අයියා උමේෂ් ද එකතු වෙනවා.

ටික කාලයකින් අයියා උමේෂ් රාජකීය විද්‍යාලයීය කනිෂ්ඨ ක්‍රිකට් පුහුණුවිම්වලට සහභාගී වෙනවා. නමුත් පුංචි පසිඳුට ඒ අවස්ථාව අහිමි වෙන්නේ නැහැ. ඒ ඔහු ඒ වෙද්දී වයස සපුරා නොමැති නිසා.

“මේ නිසා තාත්තා මාව සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියට දැම්මා. එතැනින් තමයි මම ක්‍රිකට් ක්‍රීඩාව හඳුනා ගන්නේ. ඊට පස්සේ 6 වසරේ දී විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තරග තියෙනවා. ඒකට ආ අය අතරින් මටත් විද්‍යාලයීය කණ්ඩායම් නියෝජනය කිරීමට අවස්ථාව උදා වෙනවා.“

  1. යුද හමුදාවේ කඩුලු දඩයම්කරු – කෞමාල්
  2. පාකිස්තානුවන්ගේ ලෝක කුසලාන සිහින චාරිකාව
  3. Major League පිටිය කැලඹුවෝ
  4. පිත්ත වගේ වචනත් මුවහත් ඉන්දියානුවා – සේවාග්!
  5. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සර්වකාලික අරවින්දය!

ඒ අනුව පසිඳු රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමට තුන් ඉරියව්වෙන් දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසින් එක් වෙනවා. ඒ පැමිණි ගමනේ තෙවැනි වසරේ දී වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ නායකයා වීමටත් පසිඳු සමත් වෙනවා.

අනතුරුව වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරන පසිඳු එහි අවසන් වසරේ දී උපනායකත්වයේ කටයුතු කරනවා. එහි පෑ දක්ෂතා හේතුවෙන් ප්‍රීමා කුසලාන පළාත් තරගාවලිය නියෝජනය කිරීමට ද පසිඳු සමත් වෙනවා.

වයස අවුරුදු 17න් පහළ වසර 2ක් ක්‍රීඩා කරන පසිඳු එහි අවසන් අවුරුද්දේ නායකත්වයේ ද කටයුතු කරමින් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කිරීමට සමත් වෙනවා.

එම තරග සමයේ දී පළමු වරට වයස අවුරුදු 19න් පහළ රාජකීය කණ්ඩායම නියෝජනය කරන පසිඳු ලකුණු 800 සීමාව ඉක්මවා යෑමට සමත් වෙනවා. එම අවුරුද්දේ ම පැවති 137 වැනි නිල් මහා සටනේ දී පන්දු 309කට මුහුණ දෙන පසිඳු හතරේ පහර 17ක් සමඟින්  ලකුණු 123ක් ලබා ගන්නවා. රාජකීය විද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි වෙන එම තරගයේ වීරයා ලෙසින් කිරුළ පළඳින්නේ පසිඳු.

139 වැනි නිල් මහා සටනේ නායකයා ලෙසින් කුසලානය ලබා ගනිමින්

අනතුරුව වසරේ දී ද ලකුණු 800 ඉක්මවා ලබා ගන්නා පසිඳු 2018 වසරේ දී රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා වෙමින් ලකුණු 1000 ඉක්ම වූ පිතිකරුවන් අතරට එක් වෙනවා. ඉන් නොනැවතෙන ඔහු ඊට පසු වසරේ දී ද ලකුණු 1000 ඉක්මවමින් පිට පිට ම ලකුණු 1000ක් ලබා ගත් අතලොස්සක් වූ පාසල් පිතිකරුවන් අතරට එක් වීමට සමත් වෙනවා.

“පාසල් කාලයේ දී වාර්ෂික මහා ක්‍රිකට් තරග 4ක් ක්‍රීඩා කළා. ඒ තරගවල දී ලකුණු 300ක් ඉක්මවා ලබා ගැනීමට හැකි වුනා. ඒ ගැන ගොඩාක් සතුටුයි. අවසන් අවුරුද්දේ දී සන්ඩේ ඔබ්සර්වර් – මොබිටෙල් ජනප්‍රියම ක්‍රීඩකයා දෙවැනි ස්ථානය ලබා ගන්නවා. ඒ වගේ ම එම වසරේ දක්ෂතම පිතිකරු අනුශූරතාව දිනා ගැනීමට ද හැකි වෙනවා.”

මෙම දක්ෂතා මත පසිඳු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද අවස්ථාව උදා කර ගන්නවා. ඒ අනුව ඉන්දියාව සමඟ මෙරට දී පැවති යොවුන් සිව්දින තරගාවලියේ තරග 2 දී ලකුණු 233ක් ලබා ගන්නවා. එහි දී පන්දු 236කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින්  රැස් කරන ලද ලකුණු 115ක් ද සමඟින්  අර්ධ ශතකයක් ද ඊට එක් කරනවා.

තරග 5කින් යුත් එක්දින තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කරන පසිඳු ලකුණු 88ක් ලබා ගන්නේ දෙවැනි තරගයේ දී වාර්තා කරන ලද අර්ධ ශතකයක් ද සමඟින්.

බංග්ලාදේශයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සඳහා ද සහභාගී වීමට අසුනක් හිමි කර ගන්නා පසිඳු එහි දී තරග 4ක දී ලකුණු 86ක් ලබා ගන්නවා. එය එම තරගාවලියේ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී 7 වැනි ස්ථානය වන අතර ශ්‍රී ලංකාවේ දක්ෂතා අතර දෙවැනි ස්ථානය ගන්නවා.

මේ අතර කාලයේ ම පළමු පෙළ ක්‍රීඩා සමාජ තරගාවලිය වෙනුවෙන් පසිඳු, කොළඹ SSC කණ්ඩායම හා එක් වෙනවා. එහි වසර 2ක් ක්‍රීඩා කරන පසිඳු අනතුරුව වර්තමානයේ තම දක්ෂතා ගොනු කරන මූවර්ස් ක්‍රීඩා සමාජය හා එක් වෙනවා.

“පාසල් කාලයේ දී තිළිණ කණ්ඩම්බි සහ ජෙහාන් මුබාරක් මහත්වරුන් යටතේ පුහුණුව ලැබුවා. ඊට පසුව SSC කණ්ඩායමට එක් වෙද්දීත් පුහුණුකරු ලෙසින් කටයුතු කළේ කණ්ඩම්බි මහතා. ඔවුන් යටතේ දිගු කාලයක් පුහුණුව ලැබූ මම මේ වන විට පුහුණුවීම් ලබන්නේ චාමර කපුගෙදර මහතා යටතේ. ඔවුන් හැම කෙනෙක්ගෙන් ම ලැබූ සහයෝගය මගේ ගමනට විශාල ශක්තියක්.”

පසිඳුගේ පියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා. ඔහු කලක් ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙක්. වර්තමානය වෙද්දී රාජකාරී කටයුතු හේතුවෙන් කාර්ය බහුල වීමත් සමඟින්  ක්‍රීඩාවෙන් ඈත්ව සිටියත්, පසිඳු ක්‍රීඩා කරන තරගයක් දෙකක් නරඹන්න අමතක කරන්නේ නැහැ කියලයි පසිඳු කියන්නේ.

මව, හිරන්ති සූරියබණ්ඩාර. ගෘහණියක් සහ මවක ලෙස ඇය නිවසේ සුවිශේෂී චරිතයක නිරත වෙනවා. පවුලේ බාලයා වූ පසිඳුගේත් වැඩිමල් පුත් උමේෂ්ගේත් සියලු උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇය.

“අම්මත් තාත්තත් අපිට හැම දෙයක් ලබා දුන්නා. අපි වෙනුවෙන් විශේෂ මහන්සියක් ගත්තා. හැම දෙයක් ම හොඳින් සිදු කරන්න උපදෙස් දුන්නා. ඒ පිටුපස හිටියා. ඒ වගේ ම කිසිදු තහංචියක් දැම්මේ නැහැ. අයියා කාලයක් ක්‍රීඩා කරලා දැන් පෞද්ගලික ආයතනය සේවය කරනවා. මගේ හොඳම ක්‍රිකට් සපෝටර් අයියා තමයි. ඒ වගේ ම අක්කා චමින්ද්‍රි සූරිබණ්ඩාර. මේ වෙද්දී අක්කා විවාහ වී විදෙස් ගතව ඉන්නේ. ඒ වුනත් මගේ ක්‍රීඩාවත් සමඟ නිතර ම ලංකාවේ ඉන්නවා වගේ තමයි,” පසිඳු තම පවුලේ ආදරණීයයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන පැවැසුවේ ඒ ආකාරයෙන්.

පසිඳු තම ආදරණීයයන් සමග

පසිඳු අතිදක්ෂ බලාපොරොත්තු හඹා යන්නෙක්. වැඩි කතාබහක් නැති, එහෙත් තමන් සතු ශක්තිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නෙක්. ඉලක්කයන් කරා යෑමේ දී ඒ වෙනුවෙන් ම කැපවීම ඔහුගේ පුරුද්දක්.

“සෑම තරගයක දී ම මගෙන් බලාපොරොත්තු වන දේ ලබා දීමයි මගේ අපේක්ෂාව. ඒ වගේ ම සතුට. මූවර්ස් කණ්ඩායම හා එක් වෙමින් මම ඒ දේ කළා. ඉදිරියේ දී ලැබෙන අභියෝගයන්වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මට හැකියි කියලා මම විශ්වාස කරනවා. සෑම ක්‍රීඩකයෙක්ගේ ම බලාපොරොත්තුව තමන් නිරත වන ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම. ඒ ගමනට ක්‍රම ක්‍රමයෙන් සූදානම් වීමයි මගේ අපේක්ෂාව. කාලයක් යයි. එතෙක් ලැබෙන අවස්ථාවන් නිහතමානීව පිළිගන්න මම සූදානම්,” පසිඳු සූරියබණ්ඩාර පැවැසුවා.

ඔහුගේ ක්‍රිකට් දිවියට ThePapare.com කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<