ක්‍රිකට් නායකත්වයට නව අරුතක් දුන් දකුණු අප්‍රිකානු දැවැන්තයා

4846

මේ අපේ ලිපිය දිග හැරෙන්නේ දේදුනු දේශය එහෙමත් නැත්නම් දකුණු අප්‍රිකාව පැත්තෙන්. දකුණු අප්‍රිකාව කියන රටෙන් බිහි වෙච්ච අග්‍රගණ්‍ය පිතිකරුවෙක් සහ අද්විතීය නායකයෙක් වටා තමයි මේ ලිපිය ලියැවෙන්නේ.

උඹට ටීම් එකේ කැප්ටන්සි එක දෙන්න එයාලා තීරණය කරලා තියනවා. උඹ ඒක ගන්නවා දකින්නයි මට ඕන. ඒක අරගෙන කරපන්”

ඒ 2003 අවුරුද්දේ එක්තරා දවසක දකුණු අප්‍රිකාවේ වයස විසිදෙකක තරුණ හාදයෙක්ට ආපු කෝල් එකක්. මේ කෝල් එක එන්නේ එවකට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙලා හිටපු ෂෝන් පොලොක්ගෙන්.

එදා හවස දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා මේ තරුණයාට කතා කරලා දකුණු අප්‍රිකානු නායකත්වය නිල වශයෙන් ඔහුට ලබා දෙනවා.

යාන්තම් යොවුන් විය පහු කරපු මේ තරුණයාට මේකේ බරක්පතලක් කොහෙත්ම දැනෙන්නේ නෑ. ඔහු තමන් ගමන් කරපු මෝටර් රථය පාරේ අයිනකට කරලා නවත්තලා විනාඩි කිහිපයක් කල්පනා කරන්න ගන්නවා.

ඔහුට මතක් වෙනවා යාන්තම් වයස අවුරුදු 11 දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංගමය මෙහෙය වූ ක්‍රිකට් කඳවුරක දී තමන්ගේ අනාගත බලාපොරොත්තුව ලියන්න කිව්වාම ලියපු දේ.

මම කවදාහරි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය දෙනවා”

2000 අවුරුද්ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු වෙච්ච වසරක්. නෙල්සන් මැන්ඩෙලා තරමටම දකුණු අප්‍රිකානුවන් ආදරය කරපු හැන්සි ක්‍රෝන්යේට මුදලට තරග පාවා දීමේ චෝදනා එල්ල වෙන්නේ 2000 අවුරුද්දේ මැද දවසක. ක්‍රෝන්යේ කියන්නේ දකුණු අප්‍රිකාවේ අතිදැවැන්ත ප්‍රතිරූපයක්. ක්‍රෝන්යේ තමන්ව පාවා දෙයි කියලා දකුණු අප්‍රිකානුවන් හීනෙකින්වත් හිතුවේ නෑ. හැබැයි එහෙම වුනා.

ක්‍රෝන්යේගෙන් පස්සේ වැඩ භාර ගත්ත ෂෝන් පොලොක්ට ඒ ලෙගසි එක ඉස්සරහට අරන් යන්න හැකියාව ලැබුණේ නෑ. මොකද ක්‍රෝන්යේට වෛර කරපු මිනිස්සුන්ගේ හිත්වල ඔහු කෙරෙහි බැඳුණ අසීමිත ගෞරවයකුත් ආදරයකුත් තිබුණ නිසා.

මේ ජරමර අස්සේ 2003 අවුරුද්දේ දකුණු අප්‍රිකාවේ සම සත්කාරකත්වයෙන් පැවති ලෝක කුසලානයේ මුල්ම වටයෙන්ම දකුණු අප්‍රිකානුවන් ඉවතට විසිවෙනවා.

තමන්ට හුරුපුරුදු තත්ත්වයන් යටතේ, තමන්ගේ ප්‍රේක්ෂකයින් ඉස්සරහා දකුණු අප්‍රිකානුවන් තමන්ගේ ලෝක කුසලාන ගමන අවාසනාවන්ත ලෙස නිමා කරද්දී ලොකුම චෝදනාව ආවේ ශ්‍රී ලංකාව පැවති තරගයේ දී හරියාකාරයෙන් ඩක්වර්ත් ලුවිස් ලකුණු ගණනය කරගන්න බැරි වෙච්ච නායක ෂෝන් පොලොක්ගේ කර මතට. ෂෝන් පොලොක් දැන් හොඳටම ඇති කියන තැනට දකුණු අප්‍රිකානුවන් ඇවිල්ලා හිටියා.

අපි මේ කියන අවුරුදු විසි දෙකක තරුණයාගේ හිස මත විශාල කටු ඔටුන්නක් වැටෙන්නේ එහෙව් තත්ත්වයක් තිබිය දී. ඔහුට සිද්ධ වෙනවා නායකත්වය ලබා ගන්න විතරක් නෙවෙයි තරග පාවා දීම් චෝදනා නිසා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට නැති වෙච්ච විශ්වසනීයත්වය යළි ගොඩ නගන්නත්.

කවදාවත් අභියෝග හමුවේ නොසැලෙන මේ තරුණයා තීරණය කරනවා මේ අභියෝගයත් භාර ගන්න.

අවුරුදු ගානකට පස්සේ මේ තරුණ ක්‍රීඩකයා තමන්ගේ ක්‍රිකට් දිවිය නිමා කරන්නේ ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම නායකයා ලෙසින්.

මට බය හිතුණා ඔහුගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම දියවෙලා යාවි කියලා”

එහෙම කියන්නේ ග්‍රැහැම් ස්මිත්. එහෙම කියපු ග්‍රැහැම් ස්මිත්ගේ පුතාගේ නමත් ග්‍රැහැම් ස්මිත්. ඔව් ඒ අපි කවුරුත් දන්න දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉහළටම ඔසවා තැබූ ග්‍රැහැම් ස්මිත්.

1981 වසරේ පෙබරවාරි පළවෙනිදා ස්කොට්ලන්ත සම්භවයක් සහිත ග්‍රැහැම් සහ ජැනට් යුවළට දාව ග්‍රැහැම් ක්‍රේග් ස්මිත් උපත ලබන්නේ ජොහැන්ස්බර්ග් නුවර දී.

ස්මිත් කියන්නේ දකුණු අප්‍රිකානුවන් අනාගත නායකත්වයට හුරු කළ අයෙක්. ඒත් ඔහු හිතන්නේ නෑ මෙච්චර ඉක්මනින් තමන්ගේ හීනය හැබෑ වේවි කියලා.

ග්‍රැහැම් ස්මිත් නායකත්වයට පත් කරන්න දකුණු අප්‍රිකානු බලධාරීන් ගත්ත තීරණය ගැන හැමෝම සතුටු වුනේ නැහැ. මොකද දකුණු අප්‍රිකාව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත සාමාජිකයෙක්.

මේ අවුරුදු 22 පොඩි එකාට හරියාකාරයෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි ද කියලා සැකයක් හැමෝගෙම හිත්වල තිබුණා. ඒ වෙද්දී ස්මිත් ක්‍රීඩා කරලා තිබුණේ යාන්තම් ටෙස්ට් තරග 8ක් සහ එක්දින තරග 22ක්. මේ තරග ප්‍රමාණය නායකත්වය තියා ක්‍රීඩකයෙක් විදියට කොහොමද කියන එකවත් මැනගන්න ප්‍රමාණවත් සාම්පල් සයිස් එකක් නෙවෙයි.

ග්‍රැහැම් ස්මිත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට පත් වෙද්දී ගැරී කර්ස්ටන්, ජාක් කලිස්, මාක් බවුචර්, හර්ෂල් ගිබ්ස්, මකායා න්ට්නි වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් කණ්ඩායමේ හිටියා.

හැමෝටම ප්‍රශ්නයක් තිබුණා මේ ඇත්තෝ ස්මිත් ගේ නායකත්වයට කොහොම ප්‍රතිචාර දක්වයි ද කියලා. හැබැයි ඒ අය ඔක්කොම තමන්ගේ අලුත් නායකයාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දුන්නා.

2003 වසරේ එංගලන්ත සංචාරය ග්‍රැහැම් ස්මිත් ගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ වෙද්දී ජාතික කණ්ඩායමේ නායකත්වයට අලුත් ස්මිත් ගේ ක්‍රීඩා කෞෂල්‍යයත් ජාත්‍යන්තර මට්ටමේ දී විශාල වශයෙන් පරීක්ෂාවට ලක්වී තිබුණේ නැහැ. ඒ නිසාම ඉංග්‍රීසි ජාතිකයින් තරුණ ස්මිත් අපහසුතාවට පත් කරන්නට උත්සහ කළේ ටෙස්ට් තරගාවලියේ ආරම්භයටත් කලින් ඉඳන්මයි.

එජ්බැස්ටන් හි පැවැත්වුණ පළමු ටෙස්ට් තරගය ආරම්භ කෙරෙන අවස්ථාවේ දී එංගලන්ත නායක නසාර් හුසේන් තරග තීරකවරයාට ග්‍රැහැම් ස්මිත්ව හඳුන්වා දුන්නේ ‘ග්‍රේග්’ නමින්. තමාගේ මෙම ක්‍රියාවෙන් ස්මිත් අපහසුතාවයකට පත් වේ යැයි හුසේන් කල්පනා කළා.

මේ වෙද්දී හුසේන්ගේ නායකත්වයත් එංගලන්තය තුළ දැඩි ලෙස විවේචනයට ලක් වෙමින් තිබූ කාලයක්. විශේෂයෙන්ම එංගලන්ත මාධ්‍යකරුවන් එංගලන්ත නායකයාව පතුරු ගහමින් හිටියේ.

එංගලන්ත නායකයා කුමන කූට උපක්‍රමයක් භාවිතා කළත් මේ තරගයේ ප්‍රථම ඉනිමේ අගනා ලකුණු 277ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 85ක් ලබා ගන්න ස්මිත් සමත් වෙන්නේ තමා මනසින් ඉතා ශක්තිමත් ක්‍රීඩකයෙකු බවට ලෝකයා හමුවේ ඔප්පු කරමින්. මේ තරගයෙන් පස්සේ නසාර් හුසේන් නායකත්වයෙන් ඉවත් කරලා මයිකල් වෝන් නායකත්වයට පත් කරන්නට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා.

ලෝඩ්ස් හි පැවති ඊළඟ තරගයේ දී නැවත වතාවක් ස්මිත්ගේ පිත්ත ක්‍රියාත්මක වුනා. මේ කියන තරගයේ පළමු ඉනිමේ ලකුණු 259ක් රැස්කළ ස්මිත් තරගාවලියේ පළමු දින දහය ඇතුළත රැස්කළ ලකුණු සංඛ්‍යාව 621ක්. කෝඩුකාර නායක ස්මිත්ගේ පිතිහරඹයට පිං සිදුවන්නට 2-2ක් ලෙස තරගාවලිය සම තත්වයෙන් නිමා කර ගන්න දකුණු අප්‍රිකානුවන් එදා සමත් වුනා.

මේ තරගාවලියේ නිමාවත් එක්ක ග්‍රැහැම් ස්මිත් කියන්නේ කවුද කියලා හොඳ අදහසක් ගන්න බොහොමයක් ක්‍රිකට් ලෝලීන්ට හැකියාව ලැබුණා. නමුත් ඒ ආරම්භය පමණයි.

සාමාන්‍යයෙන් විශිෂ්ට නායකයෝ, දැවැන්ත චරිත බිහි වෙන්නේ ගොඩාක් අසීරු පරිසරයන් තුළින්. ග්‍රැහැම් ස්මිත් කියන්නෙත් එවන් අසීරු තැනකින් මතු වෙච්ච නායකයෙක්.

ග්‍රැහැම් ස්මිත් ක්‍රීඩාවෙන් සමුදෙන අවස්ථාවේ සාමාන්‍යයෙන් බිඳ හෙළන්න අපහසු නායක වාර්තා කිහිපයක් තියන්න සමත් වුනා

ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය දුන් ක්‍රීඩකයා වන්නේ ස්මිත්. ඔහු නායකත්වය දැරූ මුළු තරග ප්‍රමාණය 109ක්. ඉන් තරග 108ක දී දකුණු අප්‍රිකානු කණ්ඩායමත් එක් තරගයක දී ලෝක කණ්ඩායමත් මෙහෙයවීමේ වාසනාව ස්මිත් සතු වුනා.

ටෙස්ට් ඉතිහාසයේ තරග සියයකට වඩා නායකත්වය දරපු එකම නායකයාත් ස්මිත්. ඉන් තරග 53ක් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්න ස්මිත් සමත් වුනා. අදටත් ටෙස්ට් තරග වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කළ නායකයාගේ වාර්තාව තියෙන්නේ ස්මිත්ගේ නම ඉස්සරහින්.

මේ ඔක්කොම අස්සේ ස්මිත් කියන ආරම්භක පිතිකරුවා අපිට අමතක වෙනවා. ග්‍රැහැම් ස්මිත් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ අනර්ඝතම ආරම්භක පිතිකරුවෙක්.

ටෙස්ට් තරග 117ක දී ස්මිත් රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 9,265ක්. ඒ ඉනිමක සාමාන්‍ය ලකුණු 48.25ක් ලෙස රඳවා ගනිමින්. ස්මිත්ගේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් 8,659ක් එන්නේ නායකයා ලෙසින්. ඔහුගේ ටෙස්ට් චාරිකාවට ශතක 27ක් ද ඇතුළත්.

දකුණු අප්‍රිකාව වගේ රටක ඉනිම ආරම්භ කරලා ඒ වගේ වාර්තාවක් තියනවා කියන්නේ ඉහළින්ම පැසසිය යුතුයි. හැබැයි ස්මිත්ගේ පිතිකරණ වික්‍රම සියල්ල ඔහුගේ නායකත්ව දක්ෂතාවලින් වැහිලා ගියා.

ඉතාම ළාබාල අවධියේ දී ම ටෙස්ට් නායකත්වය පත් වෙච්ච ස්මිත් අඩු වයසින්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනවා. 2014 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කොට ස්මිත්ගේ වයස අවුරුදු 33. බොහෝ දෙනා හිතුවේ ඔහුගේ ඇඟේ තව අවුරුදු කිහිපයක ක්‍රිකට් ඉතිරි වෙලා තියනවා කියලා.

අඩු වයසින් ගොඩක් දේවල් කරලා, අඩු වයසින්ම ක්‍රීඩාවෙන් සමුගත්ත ග්‍රැහැම් ස්මිත් කියන්නේ ක්‍රිකට් වංශ කතාවේ බිහිවෙච්ව සුවිශේෂීම පුරාවෘත්තයක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<