පාකිස්තාන සුපිරි තරුවක් පිටියෙන් සමුගනී

180
Image Credit - scroll.in

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Umar Gul ඊයේ (16) ක්‍රිකට් පිටියට සමු දුන්නා. ටෙස්ට් තරග 47ක්, එක්දින තරග 130ක් හා විස්සයි විස්ස තරග 60ක් ක්‍රීඩා කර ඇති මේ 36 හැවිරිදි වේගපන්දු යවන්නා පාකිස්තාන වේගපන්දු බලඇණියේ ප්‍රධානතම තුරුම්පුවක් වුනා. 

සිකුරාදා පැවැත්වුණු පාකිස්තාන ජාතික විස්සයි විස්ස කුසලාන තරගාවලියේ Balochistan හා Southern Punjab අතර තරගය ඔහු ක්‍රීඩා කළ අවසන් තරගය ලෙස ඉතිහාසයට එක්වෙනවා.

“මගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන්, මගේ නගරය මගේ පළාත වගේම මගේ රට වෙනුවෙන් වසර විස්සකට වඩා ක්‍රීඩා කරන්නට ලැබීම ගැන මම බොහොම සතුටු වෙනවා” Umar Gul පවසා සිටියා. “මම ක්‍රිකට් ක්‍රීඩාව බොහොම වින්දනය කළා. ක්‍රිකට් ක්‍රීඩාව මට මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵල, ගරු කිරීම කැපවීම හා අධිෂ්ඨානය ගැන කියා දුන්නා. මේ ගමනේ දී මට උදව් කරපු ගොඩක් දෙනෙක් සිටියා. මම මගේ කණ්ඩායමේ සගයින්ට වගේම ඔවුන් හැමෝටමත් මගේ ස්තුතිය පුද කරනවා.”

“මම මගේ රසිකයින්ට ගොඩක් ස්තුති කරනවා. ඔවුන් මට ගොඩක් ශක්තිය දුන්නා. විශේෂයෙන්ම දේවල් හොඳින් වෙන්නේ නැති අවස්ථාවල. අවසන් වශයෙන් මගේ සිහින සපුරාගන්නට මගේ ක්‍රීඩා දිවියට උදව් කළ මගේ පවුලට මම ස්තුති කරනවා.”

“ඔවුන් ගොඩක් කැපවීම් කළා. මටත් ඔවුන්ගෙන් ඈත්වෙලා ඉන්නට සිදු වුනා. මම ඉදිරියට ඔවුන් එක්ක කාලය ගත කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වෙලා ඉන්නත් ගොඩක් අමාරු වෙයි.”

Umar Gul 2002 වසරේ වයස අවුරුදු 19 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පාකිස්තානය නියෝජනය කළ ක්‍රීඩකයෙක්. 2003 වසරේ ජාතික කණ්ඩායමේ අසුනක් වෙන් කරගත් ඔහු වසීම් අක්‍රම් හා වකාර් යූනිස්ගේ නික්ම යෑමෙන් අනතුරුව කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා බවට පත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්: 

 

2003 වසරේ අප්‍රේල් මාසයේ සාජාහ් හිදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා ඔහු ඒ වසරේම අගෝස්තු මාසයේ දී බංගලාදේශයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්නවා. ටෙස්ට් තරග 47ක දී කඩුලු 163ක් දවාගෙන ඇති ඔහු කඩුල්ලක් සඳහා රඳවා ගෙන ඇති සාමාන්‍ය 34.06ක්. එක්දින තරගවල දී ඔහු කඩුලු 179ක් දවාගෙන තිබෙනවා.

අනර්ඝ පසු දෝලනයක් සහිත යෝකර් පන්දුවකට හිමිකම් කියන ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී 16.97ක සාමාන්‍යයක් රඳවා ගෙන කඩුලු 85ක් දවාගෙන තිබෙනවා. ඔහුට වඩා ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු දවාගෙන ඇත්තේ ලසිත් මාලිංග, ශහිඩ් අෆ්රිඩි, ෂකිබ් අල් හසන් හා රෂිඩ් ඛාන් පමණයි.

2007 හා 2009 විස්සයි විස්ස ලෝක කුසලානවල සාර්ථක වුණු පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වුනේ Umar Gul. ඔහු 2007 ලෝක කුසලානයේ දී හා 2009 ලෝක කුසලාන දෙකේම වැඩිම කඩුලු රකින්නා වුනේ කඩුලු 13 බැගින් දවා ගනිමින්. නවසීලන්තයට එරෙහිව සිය හොඳම පන්දු යැවීම වාර්තා කරන ඔහු පන්දුවාර තුනක දී ලකුණු හයකට කඩුලු පහක් දවාගෙන තිබෙනවා. 

CricInfo ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<