Thurstan vs Isipathana Big Match

සෑම වසරකම මාර්තු මාසයේ දී පාසල් ක්‍රීඩා පිටිය උණුසුම් වන්නේ පාසල් මහා ක්‍රිකට් තරග හෙවත් ‘බිග් මැච්’ හේතුවෙනි. කෙසේ වෙතත් බොහෝ වසර වලදී පාසල් මහා ක්‍රිකට් තරග වාරය ආරම්භ වන්නේ පෙබරවාරි මාසයේදීම පැවැත්වෙන තර්ස්ටන් – ඉසිපතන ‘සහෝදරයන්ගේ සටන’ මහා ක්‍රිකට් තරගයෙනුයි. මෙවරද අමතක නොවන අත්දැකීම් රැසක් ක්‍රීඩාලෝලීන්ට හිමිවන තරග වාරයක් ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 24 වන දින මහා ක්‍රිකට් තරග කරලියේ තිරය විවෘත කිරීමට තර්ස්ටන් ඉසිපතන ‘සහෝදරයන්’ සූදානම් වී සිටියි.

ශ්‍රේෂ්ඨතම “පාසල් මහා ක්‍රිකට් ගැටුම්” 10

2017 පාසල් මහා ක්‍රිකට් තරග වසන්තය ආරම්භ වන්නට තවත් ඉතිරිව ඇත්තේ සතියක පමණ කාලයකි.

54 වන වරට සංවිධාන කෙරෙන ‘සහෝදරයන්ගේ සටන පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (13) රාත්‍රියේ පැවැත්වුනේ කොළඹ BRC ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී. පාසල් දෙකේම කණ්ඩායම් නායකයන්, විදුහල්පතිවරුන් මෙන්ම ක්‍රිකට් භාර නිලධාරීන්ද මේ අවස්ථාවට එක් විය.

මෙවරත් තර්ස්ටන් – ඉසිපතන මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දීයි. සාමාන්‍යයෙන් පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන SSC ක්‍රීඩාංගණයේ පැවති පසුගිය සහෝදරයන්ගේ සටන් කිහිපයම අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි. අවසන් වරට පැවති මහා ක්‍රිකට් තරගයේදී තර්ස්ටන් කණ්ඩායමේ වත්මන් නායක කසුන් අබේරත්න ලකුණු 147ක් සහ ඉසිපතන විද්‍යාලයේ වත්මන් නායක සංජුල අබේවික්‍රම ලකුණු 75ක් ලබා ගැනීම ඊට හොඳම නිදසුන් වේ.

මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති E. M. S. ඒකනායක මහතා මෙසේ පැවසීය.

”මේ තරගය පාසල් මහා ක්‍රිකට් තරග වාරයේ පළමු තරගයයි. ඒ වගේම සහෝදරයන්ගේ සටන කියන නමට ගැලපෙන ආකාරයන්ම ඉතා සහෝදරත්වයෙන් මෙන්ම සාමකාමීව පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයක් ලෙස මේ තරගය ප්‍රසිද්ධියක් උසුලනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙවරත් ජය පරාජය කොහොම වුනත් හැමටම හරවත් තරගයක් බවට මෙය පත්වෙයි කියලා. මෙවර තර්ස්ටන් විද්‍යාලයේ දක්ෂතා ඉතාම ඉහල මට්ටමක තිබෙනවා. එමනිසා සාමාන්‍යයෙන් මහා ක්‍රිකට් තරගයක ජය පරාජය තීරණය නොවුනත් මම බලාපොරොත්තු වෙනවා මෙවර තර්ස්ටන් විද්‍යාලයට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.”

මෙරට ක්‍රිකට් කරලියේ ඉහලින්ම සිටින තවත් පාසලක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ලෙසද මීට පෙර කටයුතු කල තර්ස්ටන් විදුහල්පතිවරයාගේ මේ ප්‍රකාශය සැබෑ විය නොහැක්කක් නොවන්නේ තර්ස්ටන් විද්‍යාලය මෙවර තරග වාරය තුල දක්වා ඇති ඉහල දස්කම් හේතුවෙනුයි. ඔවුන් මේ වන විට සහභාගී වී ඇති තරග 13න්, පූර්ණ ජයග්‍රහණ 6ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් වාර්තා කර තිබේ. එමෙන්ම පසුගිය වසරේ තර්ස්ටන් නායකත්වය දැරූ චරණ නානායක්කාර මෙවර තරග වාරය තුල ලකුණු 700 සහ කඩුලු 50 සම්පූර්ණ කිරීමේ ආසන්නයටම පැමිණ සිටී.

මෙවර ඉසිපතන කණ්ඩායමේ නායකත්වය දරන්නේ සංජුල අබේවික්‍රමයි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල සංචිතයට ද ඇතුලත්ව සිටි සංජුල හට ඉහල දස්කම් අතර සිටින කණ්ඩායමක් හිමිව තිබේ. පසුගිය දකුණු අපිකානු යොවුන් සංචාරය නියෝජනය කළ පැතුම් නිස්සංක ඉසිපතන පිතිකරණ බලඇණියේ ප්‍රධාන තුරුම්පුවකි. එමෙන්ම මෙවර තරගවාරයේදී ලකුණු 500 පසුකල ක්‍රීඩකයන් තිදෙනෙකුත් කඩුලු 30 සීමාව පසුකල ක්‍රීඩකයන් තිදෙනෙකුත් ඉසිපතන කණ්ඩායම සතුවේ.

‘අපේ කණ්ඩායම ගැන කිව්වොත් වයස අවුරුදු 19න් පහල කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයන් තුන් දෙනෙක් ඉන්න බොහොම සමබර තරග කණ්ඩායමක්. ඒ වගේම මෙවර කණ්ඩායමේ නායකත්වය දරන්නේ මීට වසර 33කට පෙර 1987 වසරේ ඉසිපතන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරපු අනුර අබේවික්‍රමගේ පුතා සංජුල අබේවික්‍රම. මම හිතන්නේ ඉසිපතනය ඉතිහාස ගත වෙනවා පියා සහ පුතා කණ්ඩායමේ නායකත්වය දරපු විදිහට. ඒකත් විශේෂත්වයක් මේ අවුරුද්දේ. මේක ඇත්තටම සහෝදරත්වයේ සංග්‍රාමයක්. පාසල් දෙක අතර මනා සහයෝගයකින් සියල්ල සැලසුම් කරලා තියනවා. මම මේ කණ්ඩායම් දෙකටම සුබ පතනවා” ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා මෙහි දී පැවසීය.

මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරග 53 අතුරින් තර්ස්ටන් විද්‍යාලය තරග 5 කුත්, ඉසිපතන විද්‍යාලය තරග 4 කුත් ජයග්‍රහණය කර තිබේ. තරග 44ක් ම අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි. තර්ස්ටන් විද්‍යාලය අවසන් වරට 1992 වසරේදී ද, ඉසිපතන විද්‍යාලය අවසන් වරට 1992 වසරේදී ද, පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කර තිබේ.  21 වන ශත වර්ෂය තුල තවමත් හිමිකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ ශූරතා කුසලානය එලි දැක්වීමද මෙම මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී සිදු කෙරුණි.

1964 වසරේ ඇරඹී මේ වනතෙක් පැවත එන සහෝදරයන්ගේ සටනේ 54 වන දිගහැරුම පෙබරවාරි 24 සහ 25 දෙදින තුල කොළඹ SSC ක්‍රීඩාංගනයේ සිදුවෙද්දී එහි උණුසුම ඒ අයුරින්ම සජීවීව ඔබට තිලිණ කරන්නට ThePapare.com සූදානම්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<