ස්වීප් පහර නම් සිල්වා! චාමර සිල්වා!

1106
 

ස්වීප් පහර බොහෝ දඟපන්දු යවන්නන්ට හිසරදයකි. ඔවුන්ගේ සියලු සැලසුම් හා උපක්‍රම සැණින් සුනු විසුනු කර දැමීමේ හැකියාවක් ස්වීප් පහරට ඇත. ඒ ස්වීප් පහර එල්ල කරන පිතිකරුවා චාමර සිල්වා නම්, පන්දු යවන්නා පත්වන අසරණ භාවය ගැන අමුතුවෙන් කිව යුතු නැත. 

පන්දුව එන මාවතට තරමක් මෑත් වන්නට වම් පාදය ඉදිරියට යොමුකර, පිත්ත හොඳින් ඉහළට ඔසවා උපරිම ජවය ලබාගෙන, දකුණු පාදයේ දණහිස බිම තබා, පන්දුව එන මාවත දිගේ විදුලි වේගයෙන් පිත්තේ මුදාහරිමින් ඔහු එල්ල කරන ස්වීප් පහර සැබැවින්ම ඉතා චමත්කාරජනකය. එසේ පිත්තෙන් නික්මෙන පන්දුව බොහෝ අවස්ථාවල නතර වන්නේ හතරේ සීමාවෙන් එපිට වෙළඳ ප්‍රචාරක පුවරුවක දැවටෙමින් ලකුණු පුවරුවේ චාමර සිල්වා නාමය ඉදිරියේ ඇති ලකුණු ගණනට තවත් ලකුණු 4ක් එකතු කරමිනි.

බොහෝ දෙනා ඔහුගේ ආගමනය හැඳින්වූයේ අරවින්ද ද සිල්වාගේ දෙවන උපත ලෙසයි. අරවින්දට පමණක් ආවේණික වූ කට් පහරවල්, පුල් පහරවල් එකින් එක ඔහුගේ පිත්තෙන් දිග හැරෙන විට සමස්ත ක්‍රිකට් ලෝකයේ අවධානය ඔහු වෙත එල්ල වූයේ නිතැතින්මය. එහි කූටප්‍රාප්තිය ලෙස අරවින්ද විසින් 2003 ලෝක කුසලානයේ දී බ්‍රෙට් ලී හට මිඩ් විකට් කලාපය ඔස්සේ ඇදී යන අයුරින් එල්ල කළ හයේ පහරට අතිශයින් සමාන පහරක් චාමර සිල්වා විසින් 2007 ලෝක කුසලානයේ දී කළ අවස්ථාව දැක්විය හැක.

අරවින්ද ද සිල්වා එල්ල කළ පහර.

චාමර සිල්වා එල්ල කළ පහර.

තමා සහභාගී වූ පළමු ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකේ දී ම ලකුණු නොලබා දැවී ගිය ඔහු දෙවන ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 152ක් ලබා ගැනීමෙන්ම ඔහු සතු වූ මානසික ශක්තියේ තරම අපට සිතා ගත හැක. වසර ගණනාවක් පුරාවට ජාතික කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට දායක වූ චාමර පානදුර රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. ඔහු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ පානදුර ක්‍රීඩා සමාජයෙනි. 

වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වූ චාමර තම ක්‍රිකට් දිවියේ මුල් අවධිය පිළිබඳව සිහි කරන්නේ මෙසේය.

මම 1998 අවුරුද්දෙ 19න් පහළ ලෝක කුසලානයට සහභාගී වුනා. ඊට පස්සෙ 1999 අවුරුද්දෙ නැවතත් 19න් පහළ කණ්ඩායම එක්ක ඉන්දීය සංචාරයකට සහභාගී වුනා. ඒ සංචාරයෙදි මම ගොඩක් ලකුණු අතරට ආවා. ඊට පස්සෙ තිබුණා ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ එංගලන්ත සංචාරයක්. එතනදි මාව ඒකටත් තෝරලා තිබුණා. ඒ සංචාරයෙදි අපේ කණ්ඩායමේ හිටපු ගොඩක් ක්‍රීඩකයෝ ඉතා හොඳින් ක්‍රීඩා කර කර හිටියෙ. මමත් හොඳට සෙල්ලම් කර කර හිටියෙ. 

ඔය අතරෙ ලංකාවෙ තුන්කොන් තරගාවලියක් පටන් ගන්න ගියා. ශ්‍රී ලංකාවයි, ඕස්ට්‍රේලියාවයි, ඉන්දියාවයි කියන කණ්ඩායම් තුන. නමුත් ඉතින් මාව ඔය වෙලාවෙ ජාතික කණ්ඩායමට තේරෙයි කියල හිතන්න පුළුවන් මට්ටමක නෙවෙයි මම හිටියෙ. කොහොමහරි අපේ තරග සංචාරෙ ඉවර වෙන්න කලින් තුන්කොන් තරගාවලියට සහභාගී වෙන ජාතික කණ්ඩායම තෝරලා තිබුණා. එතනදි මං ඇතුළු “ඒ” කණ්ඩායමේ ක්‍රීඩකයන් රාශියකට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. කොහොම වුනත් අපි හැමෝටම වගේ ගොඩක් පුදුම හිතුණා අපිට ඒ වෙලාවෙ අවස්ථාව ලැබීම පිළිබඳව.

චාමරට වයස අවුරුදු 20 තරම් යොවුන් වියේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට අවස්ථාව හිමි වූ අතර ඔහු තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූයේ ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිවය.

ඒ අත්දැකීම ඔහු මෙසේ සිහි කරයි.

ඒ තරගයට යනකොට මම හොඳට ක්‍රිකට් බලල තිබුණ. නමුත් තරගයෙදි පිටිය මැදට යනකොට ලොකු වෙනසක් තේරුණා. ඒක ඇත්තටම හීනයක්. මොකද අපි ක්‍රිකට් ගහන කාලෙ ආදරේ කරපු අරවින්ද, සනත් ජයසූරිය වගේ ගොඩක් කට්ටිය එක්ක මම මේ පිටිය මැද්දෙ ඉන්නව නේද කියල හිතුණා. 

අනිත් පැත්තෙ හිටපු ශේන් වෝන්, මාක් වෝ, ස්ටීව් වෝ වගේ ක්‍රිකට්වල හිටපු ලොකුම කට්ටියක් එක්ක මම පිටිය මැද්දෙ ඉන්නකොට මට අමුතුම දෙයක් හිතට දැනුණා ඇත්තටම මේ මම ද ඉන්නෙ කියලා. එවෙලෙ මට හිතාගන්න බැරි වුනා. මොකද ඒ ගොල්ලො තමයි 1999 ලෝක ශූරයෝ. එවෙලෙ ඉතින් මගෙ හිතට ඇතිවුනේ මමම ද මේ මේගොල්ලො එක්ක සෙල්ලම් කරන්නෙ කියලා. එච්චරයි මට හිතුනෙ. 

ඊට පස්සෙ හැබැයි මට බැට් කරන්න අවස්ථාව ලැබුණා. මොකද ඒ තරගයෙදි අපේ කඩුලු දෙක තුනක් ඉක්මනින් දැවිල ගිය නිසා. ඒකෙදි මට ලොකු අවස්ථාවක් ආවා පන්දුවාර ගණනාවක් ඉතිරි වෙලා තියෙනකොට බැට් කරන්න. එතන දි මට කිසිම පීඩනයක් තිබුනෙ නෑ. මං ඇත්තටම දන්නෙ නෑ එතන වුනේ මොකක්ද කියන්නවත්. මං නිකන් සාමාන්‍ය විදිහට ඔහේ බැට් කරගෙන ගියා. අන්තිමට ඒකෙදි ලකුණු පනහක් ලබාගන්න වාසනාවකුත් මට ලැබුණා.

චාමර පිතිකරුවෙක් ලෙසින් පමණක් නොව පන්දු රකින්නෙකු වශයෙන් ද කණ්ඩායමට තම උපරිමය ලබා දුන් ක්‍රීඩකයෙකි. මේ නිසාම පුහුණුකරුවන්ගේ වැඩි අවධානයක් දිනා ගැනීම ද ඔහුට හැකියාව ලැබුණි. ඒ වකවානුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි හොඳම පන්දු රකින්නෙකු ලෙසින් නමක් දිනා ගැනීමට ඔහු සමත් වූ අතර තම පන්දු රැකීමේ හැකියාව තමාගේ ඉදිරි ගමනට ඉවහල් වූ අයුරු ඔහු පෙන්වා දෙන්නේ මෙලෙසිනි.

ඇත්තටම කණ්ඩායමකට තේරීමට ප්‍රධානතම කාරණයක් තමයි පන්දු රැකීම. මගෙ වාසනාවට මට ඒ දේ තිබුණා. මං කලින් කිව්ව ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ ඉන්නකොටත් මුලින්ම පුහුණුකරුවන් මාව එච්චර දැකලා තිබුනෙ නෑ. 

ඒකෙ පුහුණුකරු හැටියට හිටියෙ හේමන්ත දේවප්‍රිය මහත්මයා. ඒකෙදි අපි කණ්ඩායමක් හැටියට පුහුණුවීම් පටන් ගත්තම මම පන්දු රකින විදිහ ඒ පුහුණුකරුවා දැක්කා. එතනදි එයාට ලොකු විශ්වාසයක් ආවා මේ ක්‍රීඩකයා හොඳ පන්දු රකින්නෙක් කියලා. ඊට පස්සෙ තමයි එයා මගෙ පිතිකරණයත් බලාගෙන මාව සෑහෙන වටින ක්‍රීඩකයෙක් හැටියට් තෝරගත්තෙ. 

ඒ කාලෙ වෙනකොට අපේ ජාතික කණ්ඩායමේ හොඳින්ම පන්දු රකින ක්‍රීඩකයෝ හිටියෙ කීප දෙනෙක් විතරයි. ඉතින් ඒ වෙලාවෙ ඒ ගොල්ලො මෙයත් හොඳ පන්දු රකින්නෙක් කියලා මාවත් ඒ තත්ත්වයට සම කළා. ඉතින් ඒ වගේ හැම තැනදිම මට විශේෂ අවස්ථාවක් හිමිවුනා මගේ පන්දු රැකීම නිසා.

එක්දින කණ්ඩායම සමඟ ලද සාර්ථකත්වයත්, ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම තුළ දැක්වූ දක්ෂතාවයනුත් නිසා 2001 වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ වූ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී චාමර ටෙස්ට් වරම් දිනා ගනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළ කළ තිබුනි. එසේම සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වූ පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස්කිරීමටත් චාමර සමත් වීම නිසා ඔහුව තරගාවලියේ පළමු තරගයට සහභාගී කරවීමට තේරීම් කමිටුව තීරණය කර තිබුනි.

නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔහුට ඒ අවස්ථාව අහිමි වී ගිය අතර ඒ පිළිබඳව ඔහු යළි සිහි කරන්නේ මෙසේය.

එතකොට සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවට ඇවිත් හිටියෙ. එතනදි ඕවල් ක්‍රීඩාංගණයේ ඔවුන්ගේ පුහුණු තරගයක් තිබුණා. ඒ තරගයට රොෂාන් මහානාම අයියා තමයි අපේඒ” කණ්ඩායමේ පුහුණුකරු හැටියට හිටියෙ. ඒකෙදි අපි කොහොම හරි මැච් එක ගහලා හතරවෙනි ඉනිමට ඒ ගොල්ලොන්ගෙන් අපිට ඉලක්කයක් හම්බුණා මම හිතන්නෙ පන්දුවාර 40ක් 50ක් වගේ ඇතුළත ලකුණු 260ක් 280ක් වගේ ප්‍රමාණයක් ලබාගන්න. ඒක හඹායන්න අපේ කිසිම සැලැස්මක් තිබුනෙ නෑ. කොහොමහරි මම පිතිරණයට යන වෙලෙත් සාමාන්‍ය විදිහට බැට් කරගෙන ගිහින් අන්තිමේදි මට ශතකයක් ගහල තරගයත් දිනන්න හැකියාව ලැබුණා.

>> එම තරගයේ ලකුණු සටහන

ඒ වෙනකොට මම ජාතික කණ්ඩායම් සංචිතය ඇතුලෙත් හිටියා. ඉතින් ඒ ඉනිමත් එක්ක එයාල හිතල තිබුණා මාව ඊළඟ ටෙස්ට් තරගයට දාන්න ඕන කියලා. ඉතින් තරගයට කලින් දවසෙ හවස කණ්ඩායම් රැස්වීමෙදිත් කිව්වා මම හෙට මැච් එක ගහනවා කියලා. මමත් ලොකු ආසාවකින් හිටියා. නමුත් මට කොහොමහරි අවස්ථාව ලැබුණේ නැහැ.

මං ඇත්තටම සතුටු වෙනවා මට අවස්ථාව නොලැබුණ එක ගැන. මං ඒකෙන් තවත් ධෛර්‍යමත් වුනා. මොකද අපිට අවස්ථාවක් ලැබුනෙ නැත්නම් තමයි ඒ අවස්ථාවට වඩා දෙයක් ලබාගන්න උත්සාහ කරන්නෙ. මට සමහර විට එතනදි ඒ අවස්ථාව හම්බෙලා, ඒ මැච් එක ගහලා මං එතනදි ෆේල් වුනා නම් මගෙ මුළු ක්‍රිකට් ජීවිතේම කඩා වැටෙන්න තිබුණා. හැබැයි එදා මට ඒක නොලැබුන එක මට ලොකු ආශීර්වාදයක් වුනා කියලා මම හිතනවා. මොකද ඊට පස්සෙ මගෙ පුහුණුවීම් වැඩි කළා. මං අධෛර්‍යමත් වුනේ නෑ. ඉතින් මං හිතන්නෙ කෙනෙකුට දෙයක් නොලැබෙනවා නම් තමයි ඔහුගේ සාර්ථකත්වය ගොඩක් උඩට යන්න පුළුවන්.

ඒ වගේ දෙයක් දරා ගැනීමේ හැකියාව ක්‍රීඩකයෙකුට තියෙන්න ඕන. ඒක සාමාන්‍ය සිදුවීමක් හැටියට ගන්න ඕන. ටෙස්ට් මැච් එකක් ගහනවා කිව්වම හැමෝටම සතුටක් දැනෙනවා. නමුත් උදේ මම ගහන්නෙ නෑ කිව්වම ඇයි මේක එහෙම වුනේ කියන එක මට හිතුණා. ඒත් මම අර මුලින් කිව්වා වගේ ඒකෙන් මාව තවත් ධෛර්‍යමත් වුන එක තමයි වුනේ. මොකද ඒ වෙලාවෙ කණ්ඩායමේ හිටපු කිසි කෙනෙක් කිසිම නරක දෙයක් මට කිව්වෙ නෑ. ඒ ගොල්ලොත් මාත් එක්ක කිව්වා ගනං ගන්න එපා මල්ලි, ආයෙ ඔයාට චාන්ස් එක එයි, දිගටම ගහන්න කියලා. ඒ වගේ ධෛර්‍යමත් කරපු අයත් ගොඩක් වෙලාවට ඒ කණ්ඩායම් ඇතුලෙ හිටියා.

ඒ අවස්ථාව අහිමි වීමෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීම උදෙසා තවත් වසර 7ක කාලයක් බලා සිටීමට චාමරට සිදු විය. ටෙස්ට් වරම් දිනා ගැනීම උදෙසා වසර 7ක කාලයක් බලා සිටීමට සිදුවීම ක්‍රීඩකයෙකුට ඉතා අපහසු කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් චාමර ඔහුගේ උත්සාහය අත්හැරියේ නැත.

ඒ අතීතය ඔහු සිහි කරන්නේ මෙසේය..

“1999 ජාතික කණ්ඩායමට ආවට මම ටෙස්ට් මැච් එකක් ගහන්නෙ 2006 දෙසැම්බර් මාසෙ. අවුරුදු 7කට පස්සෙ. ක්‍රීඩකයෙක් තමන්ගෙ උපරිම කැපවීමෙන් දිගටම හරි දේ කරගෙන යනවා නම් කොයි මොහොතෙ හරි ඔහුට ඒ අවස්ථාව ලැබෙනවා.

 ඒ කාලසීමාව පුරාවටම අන්තර් සමාජ තරගාවලියෙ දිගටම මම ලකුණු අතර හිටියා. මම තනියම පුහුණුවීම් කළා. කොයිම වෙලාවකවත් නැවැත්තුවෙ නෑ. මොකද එදත් අදත් ක්‍රිකට්වලට මගෙ ලොකු ආදරයක් තියෙනවා. ඒ නිසා මම මගෙ කොටස එක දිගටම කරගෙන ගියා. 

ඊට පස්සෙ මට 2006 දී “ඒ” කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණා. එතකොට පුහුණුකරු හිටියෙ චන්දික හතුරුසිංහ. ඒ වෙලාවෙ අපේ ජාතික කණ්ඩායමට කොහෙහරි සංචාරයක් තිබුණා. ඒකෙ පුහුණුකරු හිටියෙ ටොම් මූඩි. ඒ වෙලාවෙ අපි “ඒ” කණ්ඩායමේ හොඳ ක්‍රීඩකයෝ ටිකකුත් දාලා ජාතික කණ්ඩායම එස්. එස්. සී. එකේ පුහුණු තරගයක් ක්‍රීඩා කළා. ඒක 20/20 තරගයක්. ඒකෙදි මට ලකුණු 30ක් වගේ ලබාගන්න හැකි වුනා. ඒකෙදි ටොම් මූඩි මම බැට් කරනවා දැක්කා. 

>> සනත් ජයසූරිය – ඒ නම විතරක් ඇති!

එහෙම දැකපු එක මගෙ ක්‍රිකට් අනාගතය වෙනස් කරන්න හේතු වුනා. එයා ඊට පස්සෙ කතා කරල තිබුණා මෙයා කවුද, කලින් ගහල තියෙනවා ද කියලා. එතකොට කියලා තියෙනවා මෙයා කලින් එක්දින තරග ගහල තිබුනට මෑත කාලෙ ජාතික කණ්ඩායමට ගහලා නෑ කියලා. 

ඊට පස්සෙ ටොම් මූඩිගෙ බලපෑමත් එක්ක මට “ඒ” කණ්ඩායමේ ගහන්න අවස්ථාව ලැබුණා. “ඒ” කණ්ඩායමත් එක්ක අපි ගිය ඉන්දියානු සංචාරයෙදී මම හොඳට සෙල්ලම් කරලා ලකුණු අතරට ආවා. එහෙම ලකුණු අතරෙ ඉන්නකොට මට ආරංචි වුනා මාව නවසීලන්ත ටෙස්ට් තරගාවලියට තෝරලා තියෙනවා කියලා. ඊට පස්සෙ මම එහෙමම නවසීලන්තෙට ගියා. ඒකෙදිත් අපි පුහුණු තරගයක් ක්‍රීඩා කළා. ඒ තරගයෙදිත් මම පළමු ඉනිමෙ ලකුණු 60කුත්, දෙවෙනි ඉනිමේ නොදැවී ලකුණු හැත්තෑ ගණනකුත් ලබාගත්තා.

එසේ දුෂ්කර ගමනක් ගෙවා දැමීමෙන් පසුව අවසානයේ කෙසේ හෝ ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් අනතුරුව පළමු ටෙස්ට් තරගයේම ඔහුට මුහුණ දෙන්නට සිදු වූයේ ඉතා අමිහිරි අත්දැකීමකටය. 

ඒ අමිහිරිබව ඔහුගේ මතකයේ රැඳී ඇත්තේ මෙලෙසිනි.

ඊට පස්සෙ ඉතින් මාව කොහොමහරි පළවෙනි ටෙස්ට් මැච් එකට දැම්මා. එවෙලෙ ඇත්තටම හිතට සන්තෝසයක් දැනෙනවා මම මේ ටෙස්ට් මැච් එකක් ගහන්න යනවා නේද කියන එක. හැබැයි ඒ තරගයෙදි මට හිතාගන්න බැරි තීරණයක් තමයි ලැබුණේ. පළවෙනි ඉනිමෙම බින්දුවයි. එතනදි යම්කිසි මට්ටමකට මගෙ මානසිකත්වය කඩාගෙන වැටුණා. කමක් නෑ මං දෙවෙනි ඉනිමෙ ගහනව කියල හිතාගෙන යනකොට දෙවෙනි ඉනිමෙත් ලකුණු බින්දුවයි. 

ඊට පස්සෙ මට හිතුණ එකම දේ අපරාදෙ මම ටෙස්ට් මැච් ගහන්න පෙළඹුනේ කියන එක. මම අච්චර ලකුණු අතර ඉඳලා බින්දු දෙකක් ආවම මාව කඩාගෙන වැටුණා. හැබැයි එතකොට ඒ වෙලාවෙ අපේ හිටපු කළමණාකාරීත්වයයි හැමෝම ඇවිත් මට කතා කළා. කතා කරලා කිව්වා බයවෙන්න එපා පුතා, ඔයා ඊළඟ මැච් එකත් ගහනවා කියලා. එතනදි ගොඩක් අය මාවන් අයියා ගැනත් කිව්වා. මාවන් අයියා කියන්නෙ මේ විදිහටම ලකුණු ගහන්නෙ නැතිව ඇවිල්ලා ගහපු කෙනෙක් කියලා.

ඔහුගේ පළමු තරගයෙන්ම ටෙස්ට් සිහිනය බොඳ වී ගිය නමුත් එවකට සිටි පුහුණුකාරීත්වය, කළමනාකාරිත්වය සහ නායකත්වය චාමරට තවත් අවස්ථාවක් ලබා දෙන්නට තීරණය කර තිබුණි. එසේ නොවුනා නම් එදා චාමර සිල්වා නමැති මේ මහාර්ඝ සම්පත ශ්‍රී ලංකාවට අහිමි වී යාමට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

චාමරගේ ක්‍රිකට් දිවියට අතිශයින් තීරණාත්මක වූ දෙවන ටෙස්ට් තරගයට සහභාගී වීමේ මතකය ඔහු අවධි කරන්නේ මෙසේය.

ඒ තරගෙන් පස්සෙ මට ලොකු පීඩනයක් තිබුණා ඇයි මම ටෙස්ට් මැච් ගහන්නෙ කියලා. ඊට පස්සෙ මට හිතුණා මගේ සාමාන්‍ය විදිහට වඩා පොඩ්ඩක් වෙනසක් කරලා පුහුණුවීම් කරලා බලන්න ඕන කියලා. ඉතින් මම මගෙ ස්ටාන්ස් එකේ පොඩි වෙනස්කමක් ප්‍රැක්ටිස් වලදි කරලා බැලුවා. එතකොට මට තේරුණා කලින් තිබුනට වඩා දැන් පහසු ගතියක් තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට මැච් එක ගහල බලන්න මම හිතාගත්තා.

කොහොමහරි ඒ තරගෙ මම බැට් කරන්න යනකොට සංගක්කාර තමයි එහා පැත්තෙ හිටියෙ. දැන් මගෙ ඔළුවෙ වැඩ කරන්නෙම මං බින්දු දෙකක් ගහල ඉන්නෙ කියන එක. කොච්චර අමතක කරන්න හැදුවත් ඒකම තමයි වැඩ කරන්නෙ. පළවෙනි ලකුණ ගන්නකල් මම ලොකු පීඩනේක හිටියෙ. සමහර වෙලාවට පහරක් ගැහුවම එක ලකුණක් තියෙනවා. හැබැයි අවදානමක් අරන් දුවන්න ඕන.

>> පළමු ලෝක කුසලානයේ පළමු නායකයා – අනුර තෙන්නකෝන්

සංගක්කාරත් එක්ක දුවනකොට ටිකක් අමාරුයි දුවන්න. එයා ගහන විදිහ වෙනස්. එයා දන්නෙ නෑනෙ මං මේ ලකුණක් හොයනව කියන එක. එයා අවදානමක් අරගෙන එන්නෙ නෑ. ඒක ඉතින් වැරැද්දක් නෙවෙයි. ඒත් ඉතින් මට ඕන කොහොම හරි එහා පැත්තට ලකුණක් දුවාගන්න. 

එවෙලෙත් ටික වෙලාවක් ගියා මට ලකුණක් ගන්න. ඊට පස්සෙ කොහෙද යන බෝලෙකට මං ගහපු පාරකින් බෝලෙ පැත්තකට ගිහින් යන්තම් දෙකේ එකක් දුවාගත්තා. එවෙලෙ ඉඳන් තමයි මං සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්නෙ. 

ඊට පස්සෙ නම් මට කිසිම පීඩනයක් තිබුනෙ නෑ. මට ඕන විදිහට බැට් කරන්නයි තිබ්බෙ. සංගා හැමවෙලේම ඇවිත් මට කතා කළා. සංගා, මහේල කට්ටියත් එක්ක අපි හොඳ යාළුවෝ හැටියට තමයි ඉන්නෙත්. ටික වෙලාවකින් එයාලටත් තේරුණා මගෙ පීඩනය ඔක්කොම ගියා කියන එක. 

ඊට පස්සෙ මට ලේසි විදිහට මං බැට් කරන්න ගත්තා. පළවෙනි ඉනිමෙ ඒ විදිහට හැට ගානක් ගැහුවා. දෙවෙනි ඉනිමෙ බැට් කරන්න යනකොට නම් මට කිසිම පීඩනයක් නෑ. මට කැමති විදිහට මං බැට් කළා. අර කරපු වෙනස්කමත් එක්ක මට හරි ලේසි වුනා ඒ ඉනිම ගහගෙන යන්න.

>> එම තරගයේ ලකුණු සටහන

චාමර ජාතික කණ්ඩායම නියෝජනය කරන අවධිය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වශයෙන් සැලකූ අවධියකි. ලෝක කුසලාන අවසාන මහා තරග කිහිපයකටම සහභාගී වූ ඔහු ඒ වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ සාර්ථකත්වයට ප්‍රබලතම හේතුවක් ලෙසින් දක්වන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ තරග ජයග්‍රහණය වෙනුවෙන් පැවති පිපාසයයි..

ඒ වෙලාවෙ අපේ පුදුමාකාර කණ්ඩායම් හැඟීමක් තිබුණා. හැමෝටම දිනන්න උවමනාව තිබුණා. ඒ වගේම මහේලගෙ නායකත්වයත් විශිෂ්ටයි. ක්‍රීඩකයෙකුගෙන් ඕන දේ ගන්න විදිහ එයා දන්නවා. මම බින්දු දෙකක් ගහල ඉන්න වෙලාවෙත් මට ලොකු දේවල් කිව්වෙ නෑ. පොඩි දේවල් ටිකක් කියලා එයා ගියා. සංගත් ඒ වගේ තමයි. මුරලි අයියට නම් විශේෂයෙන්ම මැච් දිනන්න ඕන. ඒක තමයි එයාලගෙ විශේෂත්වය. ඒගොල්ලන්ට මැච් දිනන්න ඕන. ඒ විදිහට තරගයක් දිනන්න කරන්න ඕන දේවල් එයාලා උපරිමෙන්ම කරනවා.

එසේම ඒ වකවානුවේ අපට සිටි කණ්ඩායම අවසන් මොහොත වනතුරුම පරාජය භාර නොගෙන සටන් වැදුණ කණ්ඩායමකි. එයට පෙන්වා දිය හැකි හොඳම උදාහරණය නම් 2010 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් පිටියේ දී ලැබූ සුවිශේෂී ජයග්‍රහණයයි. එදා පරාජය වන්නට නියත වූ තරගයක් ලසිත් මාලිංග හා එක්ව කණපිට පෙරළන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි.

එම තරගය පිළිබඳව චාමරගේ මතකයන් මෙලෙසිනි.

රූපවාහිනියෙන් බලනවා වගේ නෙවෙයි. පිටිය ඇතුලෙ ඉඳන් ඇස් පනාපිට තරගය බලන එක වෙනස්. ඒ වෙලාවෙ විකට් අටක් ගිහින් තිබුනෙ. තවත් ලකුණු 110ක් වගේ ගහන්න තිබුණා. ඒ වගේ බෝල්න් ඇටෑක් එකක් එක්ක එහෙම ගහපු එක හරියට හීනයක් වගේ. එවෙලෙ ඕනෑම කෙනෙක් හිතන තීරණේ තමයි අපි ළඟත් තිබුනෙ. මේක පරාජය වෙන්න පුළුවන් කියන එකනෙ එවෙලෙ තිබුනෙ. 

හැබැයි ඇන්ජලෝයි, මාලිංගයි දිගටම ගහගෙන යනකොට අපිට තේරෙන්න ගත්තා මැච් එක ටික ටික වෙනස් වෙනව කියලා. ඒ එක්කම ලොකු උද්‍යෝගයක් ඇතිවෙන්න ගත්තා. එහෙම ගිහින් අපි කාටවත් හිතාගන්න බැරි විදිහට ඒ තරගයෙන් අපි ජයග්‍රහණය ලැබුවා. ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා ඒක ඇස් දෙකෙන් බලන්න ලැබුණ එකත් මගෙ ලොකු වාසනාවක්.

එසේම ඒ වකවානුවේ යොවුන් ක්‍රීඩකයෙක් වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ සුවිශේෂත්වය පිළිබඳව ද චාමර සිහි කරන්නේ මෙසේය.

ඇන්ජලෝ කණ්ඩායමට ආපු දවසෙ ඉඳන් අපි එයාගෙ ලොකු පරිණතභාවයක් දැක්කා. අපි හැමෝම කතා කරනවා අත්දැකීම් ගැන. හැබැයි එතනදි ඇන්ජලෝ මැතිව්ස්ට ලොකු අත්දැකීම් තිබුනෙ නෑ. ඒත් එයාට තිබුණා තරගයේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් හැකියාවක්. 

පුද්ගලිකව මම නම් දකින්නෙ තරගයේ පවතින තත්ත්වය පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක්ගොඩක් තරග ක්‍රීඩා කරපු අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙකුට වඩා පරිණතයි කියලා. අර අත්දැකීම් තියෙන ක්‍රීඩකයාට වුනත් තරගයේ පවතින තත්ත්වයට ගැළපෙන විදිහට ක්‍රීඩා කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අද ජාතික කණ්ඩායමට ආපු ක්‍රීඩකයෙකුට තරගයේ පවතින තත්ත්වයට ගැළපෙන විදිහට ක්‍රීඩා කරන්න පුළුවන් නම් ඔහු පරිණත ක්‍රීඩකයෙක් හැටියට තමයි මම දකින්නෙ. ඒ වගේ ක්‍රීඩකයෝ තමයි තරග වෙනස් කරන්නෙ. අපි හොයන්න ඕන අන්න ඒ වගේ ක්‍රීඩකයෝ. ඇන්ජලෝ මැතිව්ස් කියන්නෙ ඒ වගේ ක්‍රීඩකයෙක්. 

එම තරගය අවසානයේ ජයග්‍රාහී ලකුණ රැස් කිරීමේ අවස්ථාව හිමි වූයේ මුත්තයියා මුරලිදරන් හටය. සාමාන්‍යයෙන් පිතිකරුවෙක් වශයෙන් මුරලි දක්වන දුර්වලතාවය නිසාම ඒ මොහොතේ දී බොහෝ දෙනෙකු සිටියේ විශාල දෙගිඩියාවකින් යුතුවය. 

නමුත් සැබෑ ලෙසම එය එසේ නොවන බවත්, මුරලි කෙතරම් විශිෂ්ටයෙකු වන්නේ ද යන්නත් චාමර පවසන්නේ මේ අයුරිනි.

ඔය වගේ රටවල් එක්ක පරදින්න මුරලි අයියා කැමතිම නෑ. ඒ වගේ වෙලාවක කිසිම හේතුවක් නිසා එයා කඩුල්ල දෙන්නෙ නෑ. අපි දැකල තියෙනවනෙ එයා කඩුල්ලෙන් අයින්වෙලා එහෙම සෙල්ලම් කරනවා. හැබැයි අර වගේ වෙලාවකදි පිතිකරුවෙක්වත් කරන්නෙ නැති විදිහට බෝලෙ ඇඟේ වද්දගෙන හරි එයා කඩුල්ල ආරක්ෂා කරගන්නවා. 

කවුරු හරි කෙනෙක් ලකුණු සීයක් ගහන්න ළං වෙලා අනිත් පැත්තෙ ඉන්නවා නම් කවදාවත් මුරලි අයියව අවුට් කරන්න බෑ. ඒ චාන්ස් එක අරයට අරන් දෙනකල්ම මුරලි අයිය කොහොම හරි අල්ලගෙන ඉන්නවා. ඒ වගේ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න ලැබීම ගැන අපි හරි වාසනාවන්තයි. ක්‍රිකට් වගේම පුද්ගලික ජීවිත වලටත් අපි ඒ ගොල්ලන්ගෙන් ගත්ත ගොඩක් දේවල් තියෙනවා.

චාමර කණ්ඩායමට පැමිණෙන අවධියේ ශ්‍රී ලංකාව ලොව ප්‍රබලතම කණ්ඩායම්වලින් එකකි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු තබා පළමු පෙළ ක්‍රීඩා සමාජ කණ්ඩායමක ස්ථානයක් දිනා ගැනීම පවා ඒ අවධියේ දී ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබුණි. නමුත් වර්තමානය වන විට ඒ තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වී ඇත. 

තමා ක්‍රීඩාවේ යෙදුණ අවධියත්, වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවත් අතර ඇතිවී තිබෙන වෙනස්කම් ගැන චාමර දක්වන්නේ මෙවැනි අදහසකි..

“1996 දී මම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන්න එනකොට මට අවුරුදු 16යි. ඒ වෙනකොට ක්‍රිකට් තිබුනෙ ඉතාමත්ම ඉහළ තැනක. තරගකාරීත්වයත් සෑහෙන්න ඉහළින් තිබුණා. ඒ වගේ තැනකදි තමයි මම පානදුර ක්‍රීඩා සමාජය හරහා ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුල්වෙන්නෙ. එතකොට මම තමයි ක්‍රීඩා සමාජයේ හිටපු පොඩිම කෙනා. ලොකු අයියලා කට්ටියක් එක්ක තමයි මට සෙල්ලම් කරන්න ලැබුනෙ. ඉතින් ලොකු වෙනසක් වගේම ලොකු අත්දැකීමකුත් ඒ ක්‍රිකට් එකේ තිබුණා. තරගයක් ඇතුලෙ හරි තීරණ ගන්නෙ කොහොමද වගේ ඒ ලොකු අය කරපු හොඳ දේවල් වල අත්දැකීම් මට පොඩි කාලෙම ලැබුණා. 

හැබැයි මං පටන්ගත්ත කාලෙ ක්‍රිකට් එක්ක බලනකොට දැන් ක්‍රිකට්වල ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලෙ ලංකාවෙ ක්‍රිකට් සෑහෙන්න හොඳ තැනක තිබුණා. ක්ලබ් ටීම් එකකට වුනත් ඇතුල් වෙන්න හරි අමාරුයි. නමුත් අද අපේ සමහර ක්‍රීඩා සමාජවලට පළමු පෙළ තරගයක් ක්‍රීඩා කරන්න ක්‍රීඩකයෝ 11ක් හොයාගන්න නෑ. ඒ තමයි අද අපේ ක්‍රිකට් එක වැටිල තියෙන තැන. 

ඒක නිසා මං හිතනවා මේක ගැන තවත් සාකච්ඡා කරල හරියන්නෙ නෑ. මේකට ක්‍රියාමාර්ග ගන්න ඕන. ගොඩක් සාකච්ඡා කරයි. නමුත් අපේ ක්‍රිකට් එක උඩට ගෙනියන්න නම්  මේකට ඉක්මනටම පිළියමක් යොදන්න ඕන.

>> ඩෙනිස් ලිලීගේ ප්‍රියතම ගෝලයා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

ජාතික කණ්ඩායමේ මෑත කාලීන දක්ෂතා විමසීමේ දී චාමර පැවසූ කාරණා අතිශයින් සත්‍ය බව හොඳින්ම පෙනී යන කරුණකි. ඒ සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීම අවශ්‍ය වන අතර නව පුහුණුකරු හා කළමනාකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවත වෙත ගමන් කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

චාමර සිල්වා අපට ඉතිරිකර ගොස් ඇති මතකයන් රාශියකි. ඔහුගේ අලංකාර කට් පහරවල්, කවර් ඩ්‍රයිව් පහරවල්, පුල් පහරවල් කිසිදා අපට අමතක වන්නේ නැත.. නමුත් ඒවා අතරින් එක් දණක් බිම තබා Square Leg කලාපය හරහා විදුලි වේගයෙන් ඇදී පරිදි ඔහු එල්ල කරන ඔහුටම ආවේණික ස්වීප් පහර ඉතා සුවිශේෂීය. ඔහුගෙන් පසුව ස්වීප් පහර ඔහු තරම් ජවයකින් යුතුව එල්ල කරමින් ඔහුගේ හිඩැස පිරවීමට සමත් වූ ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් මේ වන තෙක් අපට හමුවී නොමැත.

බින්දු දෙකකින් ක්‍රීඩා දිවිය ආරම්භ කරන බොහෝ දෙනා එතැනින්ම තම ක්‍රීඩාවට තිත තබද්දී චාමර සිල්වා ඊට පිළිතුරු දුන්නේ නොදැවී රැස්කළ ශතකයකිනි. එය ද පිතිකරණයේ යෙදීම අතිශයින් දුෂ්කර වූ නවසීලන්ත තණතීරුවක් මත ශේන් බොන්ඩ්, ඩැනියල් විටෝරි වැනි ප්‍රබල පන්දු යවන්නන් ඉදිරියේය. නමුත් කිසිදා ඒ ගැන පුරසාරම් දොඩා නැති ඔහු සැමදා තමාට පැවරුණ වගකීම නිහඬව ඉටු කළ ක්‍රීඩකයෙකි.

චාමර සිල්වා විශිෂ්ටයෙකු වන්නේ එබැවිනි.

(චාමර සිල්වා ThePapare.com සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.)

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<