සාන්ත ජෝසප් සහ රිච්මන්ඩ් ක්‍රීඩකයින් අවසන් මහා තරගයට

19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය 2021/22

1375

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අවසන් පූර්ව තරග දෙක අද (5) ක්‍රියාත්මක වුනා.

එම තරගවලින් පිළිවෙළින් ද මැසනොඩ් සහ මහානාම විද්‍යාල පරාජය කළ සාන්ත ජෝසප් සහ රිච්මන්ඩ් කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

අර්ධ අවසන් පූර්ව තරගවල දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කරමින් මහානාම විද්‍යාලය අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, රිච්මන්ඩ් විද්‍යාලය විසින් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් මේ තීරණාත්මක අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය

මග්ගොන සරේ ගම්මාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අශේන් සිල්වා ලබා ගත් අර්ධ ශතකය නිසාවෙන් ද මැසනොඩ් විද්‍යාලයට පන්දුවාර 38කුත් එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 138ක් ලබා ගැනීමට හැකි වුනා. ඔහුට අනගි සහයක් ලබා දුන් මිතුල් සෙනරත් ලකුණු 23ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ඉහල සාර්ථකත්වයක් ලබා ගත් මුදිත ලක්ෂාන් කඩුලු 3ක් දවා ගන්නට සමත් වුනා.

ශෙවෝන් ඩැනියල් සහ සදීෂ් ජයවර්ධන දෙදෙනා සාන්ත ජෝසප් පළමු කඩුලු දෙක ලෙස අවම ලකුණකට දැවී ගිය අවස්ථාවේ දී සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසි හිරුන් කපුරුබණ්ඩාර ලකුණු 64ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

පන්දු 84ක දී වාර්තා වුනු හිරුන්ගේ ඉනිමට 4 පහර 11ක් ඇතුළත් වුනා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 37යි. අවසානයේ දී පන්දුවාර 27කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිය ඉලක්කය පසුකර යාමට ගියවර ශූරතාවය දිනා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා.

ද මැසනොඩ් විද්‍යාලය – 138 (38.1): අශේන් සිල්වා 56, මිතුල් සෙනරත් 23, මුදිත ලක්ෂාන් 3/08.

සාන්ත ජෝසප් විද්‍යාලය – 140/5 (27.2): හිරුන් කපුරුබණ්ඩාර 64, දුනිත් වෙල්ලාලගේ 37, හිරාන් ජයසුන්දර 20.

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 5ක ජයක‍ෙ

මහානාම විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 139ක දැවැන්ත ජයක් ලබා ගත් මේ තරගය කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා පිටියේ දී නිමාවට පත්වුනා. කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 202ක් ලබා ගත්තා.

රිච්මන්ඩ් ආරම්භක පිතිකරු තරින්ද නිර්මාල් පන්දු 110කට මුහුණ දෙමින් 4 පහර 4ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 59ක් ලබාගෙන රිච්මන්ඩ් විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනා. ඒ හැරෙන්නට ඔවුන්ගේ අනෙක් ක්‍රීඩකයින් හට වැඩි සාර්ථකත්වයක් ලබා දීමට මහානාම නායක දෙවිඳු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

දෙවිඳු කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වූ නමුත් රිච්මන්ඩ් පසුපෙළ සවිමත් කළ මහීෂ සිල්වා අගනා ලකුණු 31ක් ලබාගෙන රිච්මන්ඩ් ලකුණු සටහන 200 සීමාවෙන් එහාට රැගෙන ගියා.

පිළිතුරු ඉනිම දියත් කළ අපරාජිතව පැමිණි මහානාම විද්‍යාලයේ පිතිකරුවන් සියලුම දෙනා ලකුණු 63ක් තුල දවා ගැනීමට රිච්මන්ඩ් පන්දු යවන්නන් සමත් වුනා. තරින්ද නිර්මාල් තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් ලකුණු 21කට කඩුලු 4ක් දවා ගන්නා විට, කල්ප නෙත්සර ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

ඒ අනුව මෙවරත් මහානාම විද්‍යාලයට අවසන් මහා තරගයකට පැමිණීමේ අවස්ථාව අහිමිව ගිය අතර ඔවුන් තවමත් පාසල් ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට පැමිණ නොමැති වීම විශේෂත්වයක්.

රිච්මන්ඩ් විද්‍යාලය – 202 (49.5): තරින්ද නිර්මාල් 59, මහීෂ ද සිල්වා 31, දෙවිඳු කැකිරිදෙණිය 5/21, දුවිඳු රණතුංග 2/21.

මහානාම විද්‍යාලය – 63 (22.4): යෙශාන් විරංග 20, තරින්ද නිර්මාල් 4/21, කල්ප නෙත්සර 3/14.

රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 139ක ජයක්

රිච්මන්ඩ් විද්‍යාලය සහ තරගාවලිය තුල තවමත් අපරාජිත පසුගිය එක්දින ශූරයින් වන සාන්ත ජෝසප් විද්‍යාලය අතර Tier A කොටසේ අවසන් මහා තරගය මේ මස 12 වැනිදා කොළඹ බ්ලුම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගය සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com  සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<