Delhi Capitals සහය පුහුණුකරුගෙන් SRH වෙත අනතුරු ඇඟවීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

4083
AUS legend points out 'warning sign'

පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය Sunrisers Hyderabad කණ්ඩායමට එතරම් සාර්ථක තරගාවලියක් වූයේ නැහැ. තරගාවලියේ තරග 14න් ඔවුන්ට ජය ගත හැකි වූයේ තරග 3ක් පමණයි.

නව නායකයෙක් සහ නව කණ්ඩායමක් සමඟින් මෙවර තරගාවලිය ආරම්භ කළ Sunrisers Hyderabad ඔවුන්ගේ පළමු තරගය ආරම්භ කළේ තරමක දුර්වල ක්‍රීඩා රටාවකින්. පන්දු යැවීමේ දී Sunrisers Hyderabad පන්දුවාර 20 තුළ ලකුණු 210ක් ලබා දී තිබූ අතර පිතිකරණයේ දී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 149ක් පමණ‍යි. Sunrisers Hyderabad ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 10 සීමාවට ළඟා වීමට අපොහොසත් වුනා.

පෙර වසරේ දුෂ්කර තරගාවලියකින් පසුව Kane Williamson නායකත්වයෙන් යුත් Sunrisers Hyderabad නව වාරය ද එවැනිම සටහනකින් ආරම්භ කිරීම පිළිබඳව Shane Watson අදහස් දක්වා සිටියා.

Watson මෙවර තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා. Watson පවසන්නේ Sunrisers Hyderabadට අනතුරු ඇඟවීමේ සලකුණු ආරම්භ වුනේ Simon Katich සහය පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමඟ බවයි.

“Simon Katich වෙන්දේසියෙන් පසු ඉවත්ව යාමත් එක්ක අනතුරු ඇඟවීමේ සීනුව ආරම්භ වුනා. එය සාමාන්‍යයෙන් එතරම් හොඳ දසුනක් නෙමෙයි. මොකද කියනවා නම් Simon Katich සාමාන්‍යයෙන් ඉතා හොඳ මිනිසුන්ගෙන් කෙනෙක්. මිනිසුන් ඇත්තටම ඔවුන් කියන දේට පටහැනිව ගියහොත් එය ඇත්තෙන්ම අසාධාරණයක්. ඒ නිසා පැහැදිලිවම එහි යමක් සිදු වෙලා තියනවා.

වෙන්දේසිය අවසන් වූ ගමන් Katich වහාම ඉවත් වුනා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොටස්කරුවෙකු නොවන බවත් කියලා තිබුණා. මම හිතන්නේ Sunrisers Hyderabad කණ්ඩායමේ අනතුරු ඇඟවීම ආරම්භ වුනේ ඒකත් එක්ක”, The Grade Cricketer’ නම් YouTube Podcast වැඩසටහනක් සමඟින් අදහස් දක්වමින් Watson පවසා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙන්දේසියට පෙර හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Katich, Sunrisers Hyderabad කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස පත් කර තිබුණා. ඔහු මීට පෙර Royal Challengers Bangalore කණ්ඩායමේ සහය පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙවර වෙන්දේසියෙන් දින කිහිපයකට පසු Katich ඔහුගේ ඉවත් වීම නිවේදනය කර තිබුණා. ඒ ජෛව ආරක්ෂිත බුබුල තුළ කටයුතු කිරීම දුෂ්කර වීම මූලික හේතුව ලෙස සඳහන් කරමින්.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ The Telegraph පුවත්පත විසින් වාර්තා කර තිබුණේ තරමක වෙනස් හේතුවක් වීම විශේෂත්වයක්. ඔවුන් පල කළ වාර්තාවකට අනුව කණ්ඩායම කළමනාකරණය කළ ආකාරය පිළිබඳව Katich හට යම් අප්‍රසාදයක් තිබී ඇති අතර වෙන්දේසියට පෙර ඔහු විසින් ක්‍රියාත්මක කිරීමට තිබූ සැලසුම් නොසලකා හරින බව ද ඔහුට හැඟී තිබෙනවා. Simon Katichගේ ඉවත් වීම පසුපස ඇති හේතුව එය බව The Telegraph පුවත්පත පවසනවා.

මේ අතර විශේෂයෙන්ම Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වූ David Warner සහ Rashid Khan කණ්ඩායමෙන් ඉවත් වීම ප්‍රබල අභියෝගයක් එල්ල කර තිබුණා. Shane Watson ද ඒ බව පවසා තිබුණා.

“මම හිතන්නේ වෙන්දේසියෙන් පස්සේ ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රතිසංස්කරණය එතරම් ශක්තිමත් නැහැ. ඔවුන් පළමු තරගයේ දී ඔවුන් දස්කම් දැක්වූ ආකාරය එක්ක ඒක පැහැදිලිව පෙනෙනවා. ඔව්, Rajasthan Royals කණ්ඩායමට හොඳ සංචිතයක් ඉන්නවා. ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කළා. නමුත් එය විශිෂ්ට ලෙස පෙනෙන්නේ නැහැ. තරගයේ දී සෑම දෙයකටම පැහැදිලිවම උදව් නොකරන බොහෝ දේවල් කණ්ඩායම වටා ඇති බව පෙනෙනවා”, Shane Watson පවසා සිටියා.

Sunrisers Hyderabad ඔවුන්ගේ මීළඟ තරගය සඳහා අප්‍රේල් 4 වැනිදා Lucknow Super Giants සමඟින් තරග වැදීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<