2026 පාපන්දු ලෝක කුසලානයේ 20 දිනයට අදාළ ව කණ්ඩායම් 32 තරග වටයේ තවත් තරග ත්‍රිත්වයක් අද (01) ක්‍රියාත්මක වුනා.
මෙම තරගවල දී විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ඇති ප්‍රංශයේ Kylian Mbappe සහ නෝර්වේ දේශයේ Erling Haaland යන දෙදෙනා ම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් තම කණ්ඩායම් ඉදිරියට රැගෙන යාමට සහය වීමත් විශේෂත්වයක්.
නෝර්වේ සහ අයිවරි කෝස්ට්
මෙම තරගයේ පළමු අර්ධය තුළ අයිවරි කෝස්ට් ක්‍රීඩකයින් විසින් තරගය තම පාලනය තුළ තබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් පළමු අර්ධයේ 39 වැනි මිනිත්තුවේ දී නෝර්වේ ක්‍රීඩක Antonio Nusa විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය නෝර්වේ දෙසට හැරවීමට සමත් වුනා.
ඉන් අනතුරුව නැවතත් කණ්ඩායම් දෙකම සිය උපරිමය ලබා දෙමින් තරගය ජය ගැනීමට උත්සාහ කරන අතරේ, අයිවරි කෝස්ට් වෙනුවෙන් තරගයේ 74 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Amad Diallo විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය නැවතත් සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.
කෙසේ වෙතත් නෝර්වේ දේශයේ බලාපොරොත්තුව වන Erling Haaland විසින් තරගයේ 86 වැනි මිනිත්තුවේ දී නෝර්වේ දේශයේ දෙවැනි ගෝලය ද වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කිරීමට සමත් වුනා.
මෙය Haaland විසින් මෙවර ලෝක කුසලානය තුළ වාර්තා කළ පස් වැනි ගෝලය ලෙස සටහන් වුනා. ඔහු මෙවර තරගාවලියේ ඉහළම ගෝල ලාභීන් අතර තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ Kylian Mbappe සහ Lionel Messi ට පසුපසින් සිටිමිනුයි.
එමෙන්ම නෝර්වේ වෙනුවෙන් Nusa විසින් වාර්තා කළ පළමු ගෝලය 1938 වසරෙන් පසුව නෝර්වේ විසින් ලෝක කුසලානයක පිළිමළුන් පිටුදැකීමේ තරග වටයක නෝර්වේ වෙනුවෙන් වාර්තා වූ පළමු ගෝලය ලෙසයි සටහන් වුනේ.
මෙම තරගය ජය ගත් නෝර්වේ කණ්ඩායම කණ්ඩායම් 16 තරග වටයේ දී බ්‍රසීලයට එරෙහිව තරග වැදීමට නියමිතයි.
ප්‍රංශය සහ ස්වීඩනය
ප්‍රංශය මෙතෙක් තරගාවලිය තුළ පවත්වා ගෙන ආ ආධිපත්‍යය ඒ අයුරින් ම තවදුරටත් රැක ගනිමින් මෙම තරගය ද ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය නිම වීමට මොහොතකට පෙර ස්වීඩන් ආරක්ෂක පෙළ පසු කරමින් Mbappe විසින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ 53 වැනි මිනිත්තුවේ දී Bradley Barcola විසින් දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
ප්‍රංශයට එතැනින් ද නතර වීමට ඉඩ නොදුන් Mbappe විසින් සිය දෙවැනි ගෝලය තරගයේ 74 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් වුනා.
ඒත් සමඟම මෙවර තරගාවලියේ සිය ගෝල සංඛ්‍යාව 06 දක්වා ඉහළ දැමූ Mbappe තරගාවලියේ සම වැඩිම ගෝල ලාභියා වීමට ද සමත් වුනා. එමෙන්ම මෙය ඔහු විසින් ලෝක කුසලාන තරගවල දී ගෝල දෙකක් හෝ ඊට වැඩියෙන් වාර්තා කළ 07 වැනි අවස්ථාව වන අතර, එය ද ලෝක කුසලාන වාර්තාවක් වනවා. එමෙන්ම මේත් සමඟම Mbappeගේ ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 18ක් දක්වා ඉහළට ගිය අතර, ඔහු දෙවැනි වී සිටින්නේ ගෝල 19ක් වාර්තා කර සිටින Lionel Messiට පමණයි.
එමෙන්ම මෙම තරගයේ දී ප්‍රංශයේ Michael Olise ලබා දුන් Assist දෙක ද සමඟ ඔහු සමස්ත තරගාවලිය තුළ Assist 05ක් ලබා දී ඇති අතර, එය දෙවැනි වන්නේ 1970 ලෝක කුසලානයේ දී Pele විසින් ලබා දී ඇති Assist 06ට පමණයි.
ඒ අනුව ප්‍රංශය කණ්ඩායම් 16 තරග වටයේ දී පැරගුවේ සමඟ තරග වැදීමට නියමිතයි.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙක්සිකෝව සහ ඉක්වදෝරය
මෙම තරගයේ දී සත්කාරක මෙක්සිකෝව විසින් ගෝල 2-0ක ජයක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධයේ පටන් මෙක්සිකෝව විසින් ඉක්වදෝර දැල ආක්‍රමණය කිරීමට පියවර ගත් අතර, තරගයේ 22 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ උත්සාහයක් පළමු වරට සාර්ථක වූ අතර, Julian Quinones විසින් එම ගෝලය වාර්තා කළා.
ඉන් අනතුරුව මෙක්සිකෝවේ ප්‍රධානතම ගෝල වාර්තා කරන්නා ලෙස Raul Jimenez විසින් තරගයේ 31 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය ද වාර්තා කළේ මෙක්සිකෝවේ ජය තහවුරු කරමිනුයි.
ඉන් පසුව කණ්ඩායම් දෙකෙන් ම කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර, මෙහි දී ඉක්වදෝරය ද තරගයේ දෙවැනි අර්ධය තුළ තරගය නැවතත් තමන් වෙතට හරවා ගැනීමට දැඩි උත්සාහයක් දැරුවා.
මෙක්සිකෝව විසින් ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ජය ගැනීමට සමත් වන්නේ 1986 වසරට පසුව වන අතර, එවර ද මෙක්සිකෝව විසින් ලෝක කුසලානයට සත්කාරකත්වය සැපයීම විශේෂත්වයක්.
එමෙන්ම මෙතෙක් ලෝක කුසලානය තුළ මෙක්සිකෝව ක්‍රීඩා කළ තරග හතර තුළ දී ම හෝ ප්‍රතිවාදීන් ගෝල වාර්තා කිරීමට අසමත් වී ඇති අතර, මීට පෙර එවන් දක්ෂතාවක් දක්වා ඇත්තේ බ්‍රසීලය (1986 දී තරග 4ක්) සහ ඉතාලිය (1990 දී තරග 5ක්) පමණයි.
මේ අතරම මෙම තරගය ආරම්භ කිරීමට මෙක්සිකෝ ක්‍රීඩක Gilberto Mora හට අවස්ථාව උදා වූ අතර, ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17 දින 259ක් ලෙසයි සටහන් වුනේ. ලෝක කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගයක් ආරම්භ කිරීමට වරම් ලද ලොව දෙවැනි ළාබාලතම ක්‍රීඩකයා Mora වන අතර, මෙහි වාර්තාව 1958 ලෝක කුසලානය නියෝජනය කරමින් අවුරුදු 17 දින 239කින් බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයක් නියෝජනය කළ Pele හට හිමි වනවා.
මේ අයුරින් 20 වැනි දිනයට නියමිත තරග නිමාවට පත් වන අතර, තරගාවලියේ 21 දිනයට අදාළ ව තවත් තරග ත්‍රිත්වයක් අද සහ හෙට (02) පැවැත්වීමට නියමිතයි.
- අද රාත්‍රි 9.30 – එංගලන්තය සහ DR කොංගෝ
- හෙට අලුයම 1.30 – බෙල්ජියම සහ සෙනගාලය
- හෙට උදෑසන 5.30 – ඇමරිකා එක්සත් ජනපදය සහ බොස්නියාව
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<






















