පුහුණු තරගය මඟ දමා ගිය එංගලන්තය නැවතත් ශ්‍රී ලංකාවට

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020/21

489
Sri Lanka vs England

ලබන වසර ආරම්භයේ දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ඒ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ටෙස්ට් තරග දෙකක් සඳහා වන අතර තරග සියල්ල ජෛව ආරක්ෂිත බුබුලක් (Bio Secure bubble) යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක අවසන් වූ වහාම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය දිවයිනට පැමිණ දින 7ක් ගාල්ලේ දී නිරෝධායනය වනු ඇත. ඒ ජනවාරි 14 ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙනි.

“එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ජනවාරි තුන්වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. දින 14ක නිරෝධායන කාලයක් පසු කරලා තමයි එංගලන්ත කණ්ඩායම ලංකාවට එන්නේ. පළමු ටෙස්ට් තරග ජනවාරි 14-18 වෙනකන් පැවැත්වෙනවා. දෙවන තරගය ජනවාරි 23-27 දක්වා පැවැත්වෙනවා. මේ තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා Daily FT වෙත පවසා තිබේ.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 14-18 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 23-27 – ගාල්ලේ දී

තවත් ක්‍රිකට් පුවත්

ද සිල්වා මහතා පවසන පරිදි එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ හෝ ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු නොවන නමුත්, ඔවුන්ගේම ක්‍රීඩකයින් අතර පුහුණු තරග දෙකක් ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටියි.

මේ වන විට පවත්වා ඇති තරගාවලිවලට අනුව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. ශ්‍රී ලංකාව දැනට ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් එහි 6 වැනි ස්ථානයේ පසු වේ. ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග දෙක සඳහා ප්‍රසාද ලකුණු 120ක් වෙන්වන අතර එක් තරගයක් ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායමට ප්‍රසාද ලකුණු 60ක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වී නොමැත. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණු නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල කල් දමන ලදි.

ඒ අනුව දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ මාස 10කට ආසන්න දිගු විරාමයකට පසුව වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි මාස කිහිපය ඉතාමත් කාර්ය බහුල වන්නේ ඉදිරියේ දී ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි තුනක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග වදින නිසයි.

ඒ අතර තිබෙන තරගාවලි වන්නේ,

  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL): 2020 නොවැම්බර් 26 – දෙසැම්බර් 16
  • ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය: 2020 දෙසැම්බර් 26 – 2021 ජනවාරි 7
  • එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය: 2021 ජනවාරි 14 – ජනවාරි 27

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස පසුගිය මාර්තු 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූයේ කොරෝනා වයිරසයේ බලපෑම ශ්‍රී ලංකාව තුලත් ව්‍යාප්තව ගිය නිසාවෙනි. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සිටි අතර ඔවුන් ක්‍රීඩා කරමින් සිටි පුහුණු තරගය ද අතර මඟ දමා නැවතත් සිය මව් රට බලා යාමට එංගලන්තය කටයුතු කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<