රන් මහා සටනේ එක්දින තරගයේ ජය කා හට ද?

584
DS Mahanama match preview

11 වැනි ඩී. එස්. – මහානාම “රන් මහා සටනේ” එක්දින තරගය එළඹෙන ඉරිදා (09) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී යි.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට වසර 50ක් සපිරෙන මේ වසර තුළ දී පැවැත්වෙන මෙම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ඔවුන්ට පමණක් නොව මහානාම විද්‍යාලයටත් වැදගත් තරගයකි. මක්නිසාද යත්, ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ විදුලි ආලෝක මධ්‍යයේ තරග වදින්නට නියමිතව ඇත්තේ “අරවින්ද ද සිල්වා අභියෝග ශූරතා” ක්‍රිකට් තරගයටයි.

වයඹ සුලෝහිත සංග්‍රාමයේ ජය හලාවත ආනන්දයට

පන්නල ජාතික පාසල සහ හලාවත ආනන්ද විද්‍යාලය අතර “වයඹ සුලෝහිත සංග්‍රාමය” නමින් ප්‍රථම වරට පැවැත්වුණු සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන්…

මෑත ඉතිහාසය

මේ මහා ක්‍රිකට් තරගය ආරම්භ වී ඇත්තේ 2007 වර්ෂය තරම් මෑත කාලයේ දී ය. ඉන් වැඩිම වරක් ජයග්‍රහණ ලබා ඇත්තේ 5 වරක් ශූරතාවය දිනා ගත් මහානාම විද්‍යාලයයි. ඩී. එස්. සේනානායක විද්‍යාලය, මහානාමයට එක් ජයග්‍රහණයක් පමණක් පිටුපසින් ජයග්‍රහණ 4ක් සහිතව පසුවන අතර එක් තරගයක් පමණක් තීරණයක් රහිතව අවසන්ව ඇත.

මේ වන විට “අරවින්ද ද සිල්වා අභියෝග ශූරතා පලිහේ” හිමිකරුවන් වන්නේ 2016 වර්ෂයේ දී ලකුණු 28කින් ආර්. ප්‍රේමදාස පිටියේ දී ම ජයග්‍රහණය කළ මහානාම විද්‍යාලයයි.

මහානාම විද්‍යාලය

මේ තරග වාරය තුළ “B” කාණ්ඩයේ දෙවන ස්ථානය පවත්වා ගනිමින් සහ දෙදින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය තෙක් පැමිණෙමින් ඉහළ මට්ටමේ දස්කම් ප්‍රදර්ශනය කරන්නට මහානාම විද්‍යාලය සමත් විය. සීමිත පන්දුවාර තරගාවලියේ දී ද මූලික අර්ධ අවසන් පූර්ව වටය තෙක් පැමිණෙන්නට ඔවුන් සමත් විය.

මෑතකදී අවසන් වූ දෙදින තරගාවලියේ දී ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ 5ක් වාර්තා කළ මහානාම විද්‍යාලය, එක් පූර්ණ ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට සමත් විය.

තෙවන වසරටත් පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන, කඩුලු රකින පිතිකරු මලිඳු මධුරංගට මහානාම විද්‍යාලයේ නායකත්වය හිමිව ඇත. පළමු පෙළ CCC ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඔහුගේ සියලු අත්දැකීම් එළඹෙන තරගය වෙනුවෙන් ඔහුට වැදගත් වන්නේය. මේ තරග වාරයේ දී ලකුණු 960ක් ලබාගෙන ඇති ඔහුට ශතක 5කුත් අර්ධ ශතක 3කුත් හිමි ය. ඔහු ඉනිමක දී ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 184කි. පසුගිය දා නිමා වූ අන්තර් පළාත් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේ දී CCC කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වටිනා අර්ධ ශතකයක් ලබා ගන්නට ද ඔහුට හැකිවිය.

මහානාම විද්‍යාලයේ පන්දු යැවීමේ අංශයේ සියලු බර කරට ගනු ඇත්තේ ආරම්භක වේග පන්දු යවන්නා වන හෂාන් නීලක යි. මේ තරග වාරයේ දී ඔහු කඩුලු 20කට වඩා දවාගෙන ඇත. වේගවත් පිතිකරුවෙකු ද වන ඔහු පිතිකරණයෙන් ලකුණු 560ක්ද ලබාගෙන ඇත්තේ ශතකයක් ද ඇතුලත්ව යි.

සංචිතය – මලිඳු මධුරංග (නායක), කවිඳු විලෝචන, නිදුක වැලිකල, හේෂාන් නීලක, විහාන් මුදලිගේ, හර්ෂණ විතාන, පැතුම් බොතේජු, චලිත සුභසිංහ, සදිෂ ගමගේ, පවන්ත වීරසිංහ, චමල් පොල්ගම්පොල, අශාන් සංදීප, මහේල ද සිල්වා, බිෂාන් මෙන්ඩිස්, පවන් රත්නායක, යසිරු කස්තුරිආරච්චි, වත්සල පෙරේරා, විනුක රංජන, දිලුෂ තුඩුවගේ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය

C” කාණ්ඩයේ සිව්වන ස්ථානයට පත්වූ ඩී. එස්. සේනානායක විදුහල පසුකළේ කණගාටුදායක තරග වාරයකි. තරගාවලිය පුරාම තම සම්පූර්ණ දක්ෂතා දැක්වීමේ අපහසුවකින් පසුවූ ඔවුන්ට එළඹෙන තරගයේ දී එය මඟ හරවා ගැනීම සඳහා මහඟු අවස්ථාවක් උදා වේ.

මේ තරග වාරයේ දී තරග 14කට සහභාගී වී ඩී. එස්. කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ පූර්ණ ජයග්‍රහණ 2ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් පමණි. ඊට නාලන්ද විද්‍යාලයට එරෙහිව ලබා ගත් ප්‍රථම ඉනිමේ ජයක් සහ ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ලබාගත් ප්‍රථම ඉනිමේ ජයක් ඇතුලත් විය.

නායක ටොරින් පිටිගලට උරහිසේ ආබාධයක් හේතුවෙන් තමාගේ 100%ක හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට නොහැකි විය.

පිතිකරණ අංශයෙන් වඩාත්ම සාර්ථකත්වයට පත්වූයේ දක්ෂ වමත් පිතිකරුවෙකු වන, උපනායක ශෙසාඩ් අමීන් ය. ඔහු ලකුණු 600 සීමාව පසුකරමින් ලකුණු 30ක සාමාන්‍යයක් වාර්තා කර ඇත. මහානාමයට එරෙහි එක්දින තරගයේ දී පිතිකරණ අංශය සවිමත් කිරීමේ වගකීම පැවරෙන්නේ ඔහුටයි.

සංචිතය – ටොරින් පිටිගල (නායක), ශෙසාඩ් අමීන්, තත්සර බණ්ඩාර, විහාන් ගුණසේකර, ගීතාංජන ඩැනියෙල්, දීමන්ත කෞශල්‍ය, ඉනෝෂ ගුණවර්ධන, ශෂික ගමගේ, පසිඳු ආදිත්‍ය, මෙත්සිත් ජයමාන්න, කවිඳු ඉෂාන්, දසුන් පෙරේරා, පසිඳු චානක, මුදිත ලක්ෂාන්, සචින්ත හෙට්ටිගේ, කලණ හෙට්ටිආරච්චි, ලහිරු සමරනායක, ඩිල්ශාන් ලහීර්, ටෙරෝන් බාස්කරන්, යසිත් සමරදිවාකර.

අවසන් වශයෙන්

මහානාම විද්‍යාලය එළඹෙන තරගයට සහභාගී වන්නේ ශක්තියෙන් වැඩි කණ්ඩායම ලෙසයි. අවසන් වසරේ ලත් ජයග්‍රහණයත්, මේ තරග වාරයේ දී දැක්වූ දස්කම් ගොන්නත් ඊට සාක්ෂි සපයයි. කෙසේ වෙතත් කිසිවෙකු නොසිතූ ජයග්‍රහණයක් සමඟින් තම විදුහලේ 50 වැනි වර්ෂ පූර්ණය සමරන්නට ඩී. එස්. සේනානායක විද්‍යාලය ද මඟ බලා සිටියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට