ගියවර ශූරයින් ඉවතට ඇද දමමින් රිච්මන්ඩ්වරුන් අවසන් 4ට

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

347
U19 Schools Cricket Tournament 2022/23

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් අද (20) ක්‍රියාත්මක වුනා.

එහි දී ගියවර Tier A ශූරතාවය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 85ක ජයක් ලබා ගැනීමට සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ගියවර Tier A එක්දින තරගාවලියේ ශූරතාවය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය සහ අනුශූරතාවය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය මෙවර අර්ධ අවසන් පූර්ව තරගයේ දී ම එකිනෙකා මුණගැසීම කැපී පෙනුණා.

රිච්මන්ඩ් විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 271ක් ලබා ගත්තා. රිච්මන්ඩ් ඉනිම තුල අර්ධ ශතක ඉනිම් තුනක් වාර්තා වුනු අතර එහි දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ නායක තරින්ද නිර්මාල්. ඔහු අංක 3 පිතිකරු ලෙස 4 පහර 5ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 99ක දී ලකුණු 65ක් ලබා ගත්තා.

ඊට අමතරව ශ්‍රී ලංකා 19න් පහළ තුන් ඉරියව් ක්‍රීඩක මල්ෂ තරුපති සහ කඩුලු රකින පිතිකරු ජනෙත් කෞෂාල් පිළිවෙළින් ලකුණු 56ක් සහ ලකුණු 51ක් ලබාගෙන දස්කම් දැක්වූවා. පන්දු යැවීමේ දී මුදිත දිසානායක සහ ගගන් චමෝද් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

ලකුණු 272ක තරගකාරී ඉලක්කයක් හඹා ගිය සාන්ත ජෝසප් විද්‍යාලයට පන්දුවාර 40කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකියාව ලැබුණේ ලකුණු 186ක් පමණයි.

සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු කඩුලු 3 ලකුණු 50ක් තුල බිඳ වැටුණු නමුත් හිරාන් ජයසුන්දර (ලකුණු 77) සහ රිෂ්ම අමරසිංහ (ලකුණු 54) එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් පන්දුවාර 36කුත් පන්දු 4ක් අවසානයේ 179/4ක් දක්වා සිය ලකුණු සටහන රැගෙන ආවා.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වුනු මල්ෂ තරුපති ඇතුළු රිච්මන්ඩ් ක්‍රීඩකයින් සිව්වැනි කඩුල්ල ද ඇතුලත්ව සාන්ත ජෝසප් අවසන් කඩුලු 6 ලකුණු 7ක් තුල බිඳ දමමින් සාන්ත ජෝසප් පිතිකරුවන්ව මවිත කළා.

එහි දී සුපිරි පන්දුකරණයක නිරත වුනු පා දඟපන්දු යවන මල්ෂ ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා.

  • රිච්මන්ඩ් විද්‍යාලය – 271/9 (50): තරින්ද නිර්මාල් 65, මල්ෂ තරුපති 56, ජනෙත් කෞෂාල් 51, කවිඳු නිර්මාණ 37, හේලිත් එදිරිසිංහ 35, මුදිත දිසානායක 3/53, ගගන් චමෝද් 3/61.
  • සාන්ත ජෝසප් විද්‍යාලය – 186 (40.3): හිරාන් ජයසුන්දර 77, රිෂ්ම අමරසිංහ 54, සදීෂ් ජයවර්ධන 28, මල්ෂ තරුපති 5/25.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<