දකුණු අප්‍රිකාවේ සිට එංගලන්ත සටනට එන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

681

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (09) නම් කෙරිණි.

පසුගිය දා නිමා වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කළ නමුත් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේ ක්‍රීඩකයින් 22 දෙනෙකු පමණි. ඒ ඇන්ජලෝ මැතිව්ස් LPL තරගාවලිය අවසන් වීමත් සමඟම ආබාධයකට ලක්වූ නිසයි.

තවත් ක්‍රිකට් පුවත්:

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය සඳහා ඇතුලත්ව සිටි කසුන් රාජිත (ආබාධයක් නිසා), ධනංජය ද සිල්වා (ආබාධයක් නිසා), ඩිල්ශාන් මදුසංක සහ සන්තුෂ් ගුණතිලක යන ක්‍රීඩකයින් මේ සංචිතය සඳහා නම් කර නොමැත. 

ඒ අනුව එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා රොෂේන් සිල්වා, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින්ට මේ සංචිතය තුල ස්ථාන ලැබී තිබෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ජාතික සංචිතයක් සඳහා කැඳවීම් ලද පළමු අවස්ථාව මෙයයි.

ඔහු පසුගිය දා නිමාවට ලක්වූ LPL තරගාවලියේ දී ඉතාමත් හොඳ තුන් ඉරියව් දස්කම් දක්වමින් Dambulla Viiking කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා රැගෙන ඒමට සමත් විය.

කෙසේ නමුත් නිමා වූ දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම ලකුණු ලබා ගත් ලහිරු උදාර සහ වැඩිම කඩුලු දවා ගත් දුවිඳු තිලකරත්න මේ සංචිතය සඳහා ඇතුලත්ව නොවීම බොහෝ දෙනාගේ දැඩි කතාබහකට ලක්ව ඇති කරුණක් බවට පත්වී ඇත. ඔවුන් දෙදෙනා මීට මාස කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ බංග්ලාදේශ තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නම් වූ නමුත් එම තරගාවලිය නොපැවැත්වූ නිසාවෙන් ඔවුන්ට සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නොලැබුණි.

දකුණු අප්‍රිකානු තරගාවලියේ දී ආබාධවලට ලක්වූ සුරංග ලක්මාල්, ලහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, ඕෂද ප්‍රනාන්දු (තරගාවලියට පෙර), ඇන්ජලෝ මැතිව්ස් (තරගාවලියට පෙර) ක්‍රීඩකයින් මේ සංචිතය සඳහා ද ඇතුලත්ව සිටින්නේ දැනට හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමක් පවත්වා ගෙන සිටින නිසාවෙනි.

නිත්‍ය පිතිකරුවන් 9ක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් 4ක්, නිත්‍ය දඟපන්දු යවන්නන් 3ක් සහ වේගපන්දු යවන්නන් 6 දෙනෙකු මේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා ඇතුලත්ව ඇත.

2021 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, කුසල් පෙරේරා, මිනෝද් භානුක, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා. සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය.

*ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් මේ සංචිතය නිල වශයෙන් තහවුරු කර නොමැත.

තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය: Joe Root (නායක), Moeen Ali, James Anderson, Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler, Zak Crawley, Sam Curran, Ben Foakes, Dan Lawrence, Jack Leach, Dom Sibley, Olly Stone, Chris Woakes, Mark Wood.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 14-18 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 22-26 – ගාල්ලේ දී

*තරගාවලිය පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<