මේ වසර අවසන් වීමට පෙර නිලවරණය තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ?

248

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වර්තමානයේ දී ඉතාමත් භයානක පරිපාලනමය අවදානමක් අබියසට පැමිණ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක නිලධාරීන්ගේ එකමුතුව අද (9) පවසන ලදි.

ICC සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 75 වන කමිටු රැස්වීම ජූලි මස 2 වැනිදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය……

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක නිලධාරීන් පිරිසක් එක්ව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔවුන් මේ අදහස් ප්‍රකාශ කළේය. නිශාන්ත රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ ගරු අභියාචනාධිකරණය පසුගිය මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලදි. එහි දී ගරු අභියාචනාධිකරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි ලෙස පනවා තිබූ තහනම ජුනි 14 වැනිදා ඉවත් කිරීමට තීරණය කළ නමුත් නැවතත් මුල සිටම නිලවරණය සඳහා අවශ්‍ය නාම යෝජනා කැඳවන ලෙස අභියාචනාධිකරණය අදාළ පරිපාලන නිලධාරීන්ට දැනුම් දී තිබේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි ලෙස පනවා තිබූ තහනම ගරු අභියාචනාධිකරණය විසින් පසුගිය ජුනි 14 වැනිදා ඉවත් කළා. ඒ අනුව එහි දී හදිසි නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් අදාළ නිලධාරීන්ට මේ නිලවරණය හැකි ඉක්මනින්ම පවත්වන්න කියලා දැනුම් දුන්නා. දැන් මාස දෙකකට ආසන්න කාලයක් ගෙවී ගිහිල්ලා තිබුනත් ගරු ක්‍රීඩා අමාත්‍යතුමා මේ සම්බන්ධව කිසිම පියවරක් ගෙන ඉන්නවා කියලා අපට පෙනෙන්නේ නෑ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති  වන මොහාන් ද සිල්වා මහතා පැවසීය.

අතුරු තහනම විසි වේ; නිලවරණයට දොර ඇරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම තහනම් කරමින් පසුගිය 30 වැනිදා නිකුත් කළ අතුරු තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ගරු……

එසේම එම හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු භාණ්ඩාගාරික ශම්මි ද සිල්වා මහතා මේ වසර  අවසන් වීමට පෙර නිලවරණය නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුහුණ දීමට සිදුව තිබෙන අකරතැබ්බ කිහිපයක් පිළිබඳව සිය අදහස් පැවසුවේය.

“මේ වසර අවසන් වෙන්න කලින් ඒ කියන්නේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන්න බැරි වුනොත් නිසැකවම ICCය විසින් අපේ සාමාජිකත්වය ඉවත් කරනවා. එකේ ආයි දෙකක් නෑ. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිලවරණ කමිටුව පත් කරන්න යන්න හදන සැලසුමකුත් අපට ආරංචි වෙලා තියෙනවා. එහෙම වුනොත් ICC අපේ ක්‍රිකට් සාමාජිකත්වය පිළිබඳව දෙවතාවක් සිතා බලනවා මොකද ඒගොල්ලෝ කැමති නෑ දේශපාලනික අතපෙවීම් වලට. එක නිසා මම අපේ ජනාධිපතිතුමාගෙන් වගේම ක්‍රීඩා ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින්ම මේ නිලවරණය පවත්වා අවසන් කරන්න කටයුතු කරන්න කියලා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන තත්වය ස්ථාවර නොවීම නිසා ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකයින් පැමිණීමට වැඩි කැමැත්තක් නොමැති බවත්, පාඩු ලබමින් සිටි මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හිටපු සභාපතිතුමන් වන තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරී මඩුල්ල වෙහෙස මහන්සි වී කටයුතු කළ ආකාරයත්, දේශීය ක්‍රිකට් නවාලීමට සුමතිපාල මහතාගේ තිබූ දැක්ම පිළිබඳවත් මෙහි දී වැඩි වශයෙන් කතාබහට ලක්විය.  

“ලෝක කුසලානයට තවත් මාස 10ක කාලයක්වත් අපිට නෑ. ගෙදරක දෙමව්පියන් නැතිවුනාම ළමයි කොහොමද ඉන්නේ, දැන් ඒ වගේ තැනකට ශ්‍රී ලංකා ක්‍රිකට් පත්වෙමින් ඉන්නවා. විනය චෝදනා කිහිපයක්ම මෑත කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එල්ල වුනා. අපේ පරිපාලනය අස්ථාවර නිසා ICC එකෙන් එන්න තියෙන සල්ලිත් ඒගොල්ලෝ දැන්ම දෙන එකක් නෑ. ක්‍රිකට් පරිපාලනය පිළිබඳව හොඳ දැනුමක් තියෙන කවුරු පරිපාලනයට ආවොත් අපි අපිට දෙන්න පුළුවන් උපරිම සහය දෙනවා මොකද අපි ඔක්කොටම ක්‍රිකට් ගොඩක් වටිනවා.” ශම්මි ද සිල්වා මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසන ලදි.

දික්වැල්ල එළියට චන්දිමාල් ඇතුලට

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිත එකම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සඳහා තරග…..

මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීම තහනම් කරමින් ගරු අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළ  අතර ඒ නිසාවෙන් නියමිත දිනයට නිලවරණය පැවැත්වීමට නොහැකි නිසා ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගිය ජුනි පළමු වැනිදා සිට නිලවරණය පවත්වා අවසන් වන තෙක් එහි වැඩ කටයුතු බැලීමට එම අමාත්‍යංශයේ ලේකම් වන කමල් පද්මසිරි මහතාව පත් කළේය.

“ගරු අභියාචනාධිකරණය නිලවරණය තහනම් කළ සැණින් එතුමාට විවිධ පුද්ගලයින් අතුරු කමිටු පත්කරන්න කියලා යම් යම් යෝජනා ලබා දුන්නා. ඒ සඳහා එතුමා අවසර නොදීම සම්බන්ධව ගරු ක්‍රීඩා අමාත්‍යතුමාට අපි ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕන.  මොකද අතුරු කමිටුවක් පත්වුනා නම් මේ දැන් තියෙන තැනට වඩා අවදානම් ලෙස ක්‍රිකට් පරිපාලනය වැටෙනවා. මට හිතෙන විදිහට හේමක අමරසූරිය මහතා තමයි අතුරු කමිටුවක් යටතේ හොඳින්ම වැඩකටයුතු කළ එකම පුද්ගලයා.” මොහාන් ද සිල්වා මහතා අවසන් වශයෙන් එසේ පැවසීය.

මේ මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති වන මොහාන් ද සිල්වා මහතා, හිටපු භාණ්ඩාගාරික ශම්මි ද සිල්වා, හිටපු තරගාවලි සංවිධායක බන්දුල දිසානායක යන මහත්වරුන් හා ශ්‍රී ලංකා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් කිහිපයක නිලධාරීන් කිහිප දෙනෙක්ම පැමිණ සිටින ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<