නාලන්දා සහ සාන්ත අන්තෝනි විද්‍යාල සම ශූරතාවය උසුලයි

වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

208

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (6) කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවැත්වුනා.

කෙසේ නමුත් පැවති අයහපත් කාලගුණ තත්වය නිසා තරගයේ සැලසුම් කළ කාලය පුරාවට තරගය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනු අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස අභිෂේක ලැබුවා.

අවසන් පූර්ව තරග වටයේ පළමු තරගය සඳහා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය සුදුසුකම් ලබාගෙන තිබුණු අතර එම තරගය අවසන් වන විට වැඩිම ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් දිනා ගත් නාලන්දා විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය පරාජයට පත් කරමින් මේ අවසන් මහා තරගය දක්වා පැමිණියා.

එසේම මෙහි දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සුදුසුකම් ලබාගෙන තිබුණා. එහි දී වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් නාලන්දා විද්‍යාලයට එරෙහිව අවසන් මහා තරගය දක්වා පැමිණියා.

උදෑසන පටන් ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනය නිසාවෙන් මේ අවසන් මහා තරගයේ ආරම්භය ප්‍රමාද වුනු අතර අවසානයේ දී දහවල් 2.45ට තරගය ආරම්භ වුනා.

කාසියේ වාසිය හිමිකර ගනිමින් ප්‍රථමයෙන් පන්දු ‍යැවීමට නාලන්දා විද්‍යාලය තෝරාගත් අතර සාන්ත අන්තෝනි විද්‍යාලය සිය පළමු ඉනිම ක්‍රීඩා කරන්නට පිටියට පිවිසියා. සාන්ත අන්තෝනි විද්‍යාලය පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 117ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

යොහාන් සේනානායක පන්දු 79ක දී ලකුණු 41ක් ලබාගෙන සාන්ත අන්තෝනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වුනා.

සනුක කල්පන නොදැවී ලකුණු 32*ක් ලබා ගත්තේ 4 පහර එල්ල කරමින්. පන්දු යැවීමේ දී ඔසඳ පමුදිත සහ සංතුල් විජේරත්න යන නාලන්ද පන්දු ‍යවන්නන් දෙදෙනා කඩුලු 2 බැගින් දවා ගත්තා.

නාලන්දා විද්‍යාලය තම පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ සවස් භාගයේ වූ අතර ඔවුන්ට වැඩි වේලාවක් පිතිකරණයේ නිරත වන්නට අවස්ථාව හිමි වුනේ නැහැ.

නාලන්දා ආරම්භක පිතිකරු ඔමිත රත්නායක ලකුණු නොලබාම දවා ගන්නට සාන්ත අන්තෝනි පන්දු ‍යවන්නන් සමත් වුනා. නදුල් ජයලත් නොදැවී ලකුණු 5යි. ලෙලුම් සමරනායක නොදැවී ලකුණු 6යි. තරගය නවතා දමන විට නාලන්දා විද්‍යාලය පන්දුවාර 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් රැස්කරගෙන සිටියා.

ඒ සමඟින් වයස අවුරුදු 15න් පහළ පළමු කාණ්ඩයේ අවසාන මහා තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය එහි සම ශූරතාවය දිනා ගත්තා.

  • සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉනිම – 117/4d (39): යොහාන් සේනානායක 41, සනුක කල්පන 32*, ඔසද පමුදිත 2/15, සන්තුල් විජේරත්න 2/27
  • නාලන්දා විද්‍යාලයේ ඉනිම 13/1 (5): ලෙලුම් සමරනායක 6*, කෞශික කුමාරසිංහ 1/06

දිවයින පුරා විසිරුණු පාසල් කණ්ඩායම් 80කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කළ පළමු වටයෙන් අනතුරුව එම තරග වටයේ පෙරමුණ ලබා ගත් පාසල් 32ක් පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා තේරී පත් වුනා.

එතැන් පටන් මේ තරගාවලිය සුපිරි 32, සුපිරි 16, අර්ධ අවසන් පූර්ව තරග සහ අවසන් පූර්ව තරග දක්වා පැමිණීමෙන් අනතුරුව මේ අවසන් මහා තරගය ක්‍රියාත්මක වුනා.

කොරෝනා වසංගතය නිසාවෙන් 2021/22 වසර වෙනුවෙන් පැවැත්වුණු වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය අවසන් කිරීමට නොහැකි වුනු අතර අවසන් වරට පැවැත්වුණු 2019 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සම ශූරතාවය දිනා ගත්තා.

ඒ අනුව 2022 වසර සඳහා වන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය අවසන් වුනු අතර, වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය ද මේ වන විට අර්ධ අවසන් පූර්ව තරග වටය දක්වා පැමිණ තිබෙනවා.

පාසල් ක්‍රිකට් පිටියේ ඉදිරි තරගවල තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<