රනේෂ් සිල්වා NSL ශතක සමාජය

SLC National Super League 4 Day Tournament 2024

43

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ තවත් සතියක තරග අද (23) ආරම්භ වූ අතර එහි දී දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ රනේෂ් සිල්වා ශතකයක් වාර්තා කිරීමට සමත් වූවා.  

ඔහු ලබා ගත් මෙම ශතකයත් සමඟින් මෙවර තරගාවලියේ ශතක වාර්තා කළ 23 වැනි ක්‍රීඩකයා බවට පත් වූ අතර එය මෙවර තරගාවලියේ වාර්තා වූ 30 වැනි ශතකයයි. බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙම තරගාවලිය හා එක් වූ රනේෂ් සිල්වා තවමත් 22 වැනි වියේ පසුවෙන යෞවනයෙක්.  

මේ අතර අද පැවැති තරගවල දී කොළඹ කණ්ඩායමේ දිමුත් කරුණාරත්න, දඹුල්ල කණ්ඩායමේ සනෝජ් දර්ශික අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.  

19 වැනි තරගය, දඹුල්ල, අප්‍රේල් 23-26, 2024, National Super League 4 Day Tournament 

  • කාසියේ වාසිය – Colombo 
  • ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල. 

Colombo කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), දිමුත් කරුණාරත්න, ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), ෂෙවෝන් ඩැනියෙල්, අශේන් බණ්ඩාර, හිමාෂ ලියනගේ, දිනුර කළුපහන, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, ඉසිත විජේසුන්දර, නලින් ප්‍රියදර්ශන. 

 

Galle කණ්ඩායම – රමේෂ් මෙන්ඩිස් (නායක), ඔෂඳ ප්‍රනාන්දු, සංගීත් කුරේ, පසිඳු සූරියබණ්ඩාර, ලක්ෂාන් එදිරිසිංහ, විශාද් රන්දික (කඩුලු රකින්නා), ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, නිශාන් පීරිස්, අසංක මනෝජ්, ටිලංග උදේශන. 

කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායමේ නායකයා විසින් එහි වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන්ගේ ඉනිම ලකුණු 296කට සීමා වූවා.  

අගනුවර ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත් එය එම ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.  

ඊට අමතර ව නිසල තාරක පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද සහ ඉසිත විජේසුන්දර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී අසංක මනෝජ් ලකුණු 70කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර, ධනංජය ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් බැගින් ද සහ නිශාන් පීරිස් සහ සුමින්ද ලක්ෂාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 3ක් ලබා සිටියා.  

මේ වෙද්දී ගාලු ඉනිම වෙනුවෙන් ඔෂඳ ප්‍රනාන්දු සහ නිශාන් පීරිස් නොදැවී පිටියේ රැදී සිටිනවා.  

ඉනිමේ දවාගත් කඩුල්ලේ හිමිකාරීත්වය ඉසිත විජේසුන්දර සතු වුනා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (78.3) දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70 

 

Galle – පළමු ඉනිම කඩුල්ලක් දැවී 3 (3.0) 

මෙම තරගය හෙට (24) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි.  

20 වැනි තරගය, පල්ලෙකැලේ, අප්‍රේල් 23-26, 2024, National Super League 4 Day Tournament 

  • කාසියේ වාසිය – Dambulla 
  • ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ. 

Dambulla කණ්ඩායම – සොනාල් දිනූෂ (නායක), රිසිර වීරසූරිය (කඩුලු රකින්නා), සනොජ් දර්ශික, රනේෂ් සිල්වා, කෙවින් පෙරේරා, චමිඳු විජේසිංහ, නවීන් ප්‍රනාන්දු, මර්වින් අභිනාශ්, විශ්ව ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සඳකැන්. 

 

Jaffna කණ්ඩායම ජනිත් ලියනගේ (නායක), රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, සංතුශ් ගුණතිලක, නිපුන් කරුණානායක, ලහිරු මධුශංක, කමේෂ් නිර්මාල් (කඩුලු රකින්නා), රවිඳු ප්‍රනාන්දු, දිලුම් සුදීර, චමත් ගෝමස්, කල්හාර සේනාරත්න. 

කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබා සිටියා.  

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු රනේෂ් සිල්වා. ඔහු පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 2 වැනි ශතකයයි.  

ඊට අමතර ව සනෝජ් දර්ශික පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 179ක්.  

ඔවුන් දෙදෙනාට අමතර ව තරගය පළමු දිනයට නතර කරන විට නායක සොනාල් දිනූෂ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 72කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වූ අතර ඊට අමතර ව කල්හාර සේනාරත්න සහ ජනිත් ලියනගේ කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Dambulla – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 263 (83.1) සනෝජ් දර්ශික 69, රනේෂ් සිල්වා 100, සොනාල් දිනූෂ නොදැවී 37, දිලුම් සුදීර 2/72 

මෙම තරගය හෙට (24) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි.  

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<