ගයන වීරසිංහගෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දක්ෂතා

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

286
U19 Schools Cricket Tournament 2022/23

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කාණ්ඩයේ තරග ලෙස Tier A කොටසේ තරගයක් සහ Tier B කොටසේ තරග 3ක් සමඟින් සමස්ත තරග 4ක් ඊයේ (10) දිනයේ දී පැවැත්වුනා.

Tier A කොටසේ කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය තරග වැදුනු අතර Tier B කොටසේ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, ගාල්ල ඇලෝසියස් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය තරග වැදුනා. එහි දී මලියදේව, ධර්මපාල, සාන්ත ඇලෝසියස් සහ තර්ස්ටන් යන විද්‍යාල ජයග්‍රහණ හිමි කරගත්තා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

කුරුණෑගල මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව මලියදේව විද්‍යාලය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 234ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ලෙස වෙස්ලි විද්‍යාලයට පන්දුවාර 50 අවසානයේ වාර්තා කරගැනීමට හැකි වුනේ ලකුණු 221ක් පමණයි. එම නිසා මෙම තරගය ලකුණු 13කින් මලියදේව විද්‍යාලය ජයග්‍රහණය කළා. එහි දී මලියදේව විද්‍යාලයේ ගයන වීරසිංහ ශතකයක් සහ කඩුලු 2ක් දවා ගෙන දස්කම දැක්වූවා.

මලියදේව විද්‍යාලය – 234/9 (50): ගයන වීරසිංහ 102, චමත් හෙට්ටිආරච්චි 44, ඉෂාන් බිම්සර 21, දිනාල් සුබසිංහ 2/37, චමත් ගෝමස් 2/43, ශකේෂ් මිනොන් 2/43.

වෙස්ලි විද්‍යාලය – 221/8 (50): ලිනාල් සුබසිංහ 54, සනිතු අමරසිංහ 42, අනුක පහන්සර 42, චානුක හේරත් 2/33, දිමත් අබේසිංහ 2/34, ගයන වීරසිංහ 2/61.

මලියදේව විද්‍යාලයට ලකුණු 13ක ජයක්.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය

පන්නිපිටිය ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළත් සියලු දෙනා දැවී ඔවුන් රැස් කරගත්තේ ලකුණු 110ක් පමණයි. ලකුණු 111ක ඉලක්කය හඹා ගිය ධර්මපාල විද්‍යාලය කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එහි දී සංඛ වික්‍රමසිංහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක දස්කමක් දැක්වූ නමුත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 110 (33.2): චන්දුප වඩුගේ 17, නිලූෂ පබසර 4/33, සහන් ලක්මිණ 2/03.

ධර්මපාල විද්‍යාලය – 113/8 (27.2): ප්‍රවීන් කුමාරප්පෙරුම 29, පසිඳු චාමික 34, සංඛ වික්‍රමසිංහ 4/19, අකිල නිම්සර 2/30.

ධර්මපාල විද්‍යාලයට කඩුලු 2ක ජයක්.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත අන්තෝනි විද්‍යාලයට ආරාධනා කළා. එහි දී සාන්ත අන්තෝනි පිතිකරුවන් සියල්ලන්ම ලකුණු 89කට දැවී ගිය අතර දුමිඳු නවීන් ලකුණු 25කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුනා. අනතුරුව සාන්ත ඇලෝසියස් විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් හඹා ගියා.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 89 (41.5): පැතුම් විහඟ 25*, දුමිඳු නවීන් 6/25, මනෙත් වේරන් 2/21.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 91/1 (23): කලණ පැතුම් 43.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් ධර්මරාජ විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ ලකුණු 189ක් රැස් කළා. එයට පිළිතුරු දුන් තර්ස්ටන් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කය පසුකළේ තේනුක දේවප්‍රියගේ අර්ධ ශතකය ද සවියක් කරගෙනයි.

ධර්මරාජ විද්‍යාලය – 189/9 (50): තුවිඳු පෙරේරා 36, නිසල අබේරත්න 32, නවීන් ජයවීර 24, ඉසුරු පන්නල 24, තනුග පලිහවඩන 3/22.

තර්ස්ටන් විද්‍යාලය – 193/5 (45.3): තේනුක දේවප්‍රිය 51*, විහස් තෙව්මික 35*, රමික සෙනාල් 33, කාවිංග ප්‍රභාත් 24, දුලර බන්දුලසේන 2/29, පුලිගු පෙරේරා 2/40.

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<