Home Sinhala ළාබාල UAE හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ යන්තමින් ගැලවෙති

ළාබාල UAE හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ යන්තමින් ගැලවෙති

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

8222

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවති ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් (UAE) තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. ඒ දැඩි උත්සාහයකින් අනතුරුවයි.

අත්දැකීම් අතින් වැඩි ශ්‍රී ලංකාවට ළාබාල ක්‍රීඩිකාවන් රැසක් පිරිවරා ගත් UAE කණ්ඩායම ලබා දුන් උද්වේගකර සටන පරාජයකින් අවසන් වූයේ ලකුණු 11ක තියුණු පරතරයක් සහිතවයි.

අද උදෑසන මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවති පාකිස්තාන – මැලේසියා තරගය ඉතා අඩු ලකුණු තරගයක් බවට පත්වු අතර තණතිල්ලේ තිබුණේ තරමක මන්දගාමී සහ දඟ කැවෙන ස්වභාවයක්.

එය තේරුම් ගෙන පාකිස්තානය කාසියේ වාසිය දිනාගෙන තෝරා ගත්තේ පන්දු යැවීමයි. නමුත් මෙවන් අවදානම් තණතිල්ලක චමරි අතපත්තු පිතිකරණය තෝරා ගැනීම අනවශ්‍ය පීඩනයක් බලෙන් ඇඟේ දමා ගැනීමක් වුනා.

ශ්‍රී ලංකාව පළමු කඩුල්ලට ලකුණු 23ක් එක් කළ ද චමරි අතපත්තු අද ලකුණු 6කට දැවී යාමත් සමඟ එක්සත් අරාබි එමීර් ක්‍රීඩිකාවන් හොඳින් තරගයට අවතීර්ණ වුනා.

පිට ඉන්නට ඈතින් ඇදී ගිය පන්දුවක් හඹා යන්නට ගිය චමරි එය කඩුලු රකින්නිය අතට උඩපන්දුවක් ලෙස ලබා දෙමින් විනිසුරු දෙස නොබලාම හැරී යද්දී, පන්දු යැවූ මහිකා ගෞර් සතුටින් එම කඩුල්ල සැමරුවේ තමන්ට තිබූ ලොකුම හිසරදය වේලාසනින්ම නිමා වීමේ සතුටිනුයි.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තම 100 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ චමරි අතපත්තුට එය මතක හිටින තරගයක් බවට පත්කර ගැනීමට හැකි වුනේ නැහැ. හර්ෂිතා මාධවී අදත් ලකුණු 37ක සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළේ හතරේ පහර 4ක් සමඟයි.

ආක්‍රමණශීලිව කෙසේ හෝ ලකුණු සොයා ගන්නට කැමති හසිනි පෙරේරාට පහසු ලකුණු නොදී කොටු කර තබන්නට UAE ක්‍රීඩිකාවන් යෙදූ උත්සාහය සාර්ථක වූයේ ඇය ලකුණු 2කට ක්‍රීඩාගාරයට හරවා යවමින්. එම ස්ටම්ප් කිරීම නොදැවීමකට ඉතා ආසන්න අවස්ථාවක් වුව ද තෙවැනි විනිසුරු තීරණය වූයේ එය දැවී යාමක් බවයි.

විස්සයි විස්ස තරගයකට උචිත අන්දමේ විශාල පහරවල් කරා යාමට ශ්‍රී ලංකා පිතිකාරිණියන් අද අසමත් වූ අතර ඉනිම පුරාවට එල්ල වූයේ හතරේ පහර 8ක් පමණයි. ඒ හැරුණු කොට ශ්‍රී ලංකා පිළ හයේ පහරවල් යැයි සිතා එල්ල කළ බොහෝ පහරවල් නතර වූයේ එක්සත් අරාබි එමීර් ක්‍රීඩිකාවන්ගේ දෑත් අතරයි.

මේ වන විට ක්‍රමයෙන් සාමාන්‍යකරණය වී ඇති මන්කාඩ් ආකාරයේ දුවද්දී දැවී යාම් තැතක් අද UAE ක්‍රීඩිකාවන්ගෙන් ද දකින්නට ලැබුනු අතර ඒ සඳහා උත්සාහ කළේ වෛශ්නාවි මහේෂ් නම් ක්‍රීඩිකාවයි.

පන්දු යැවීම නතර කර වෛශ්නාවි කඩුල්ල වෙත කඩා පනින බව දුටු පන්දු යවන අන්තයේ සිටි නිලක්ෂි ද සිල්වා ක්ෂණිකව තම අන්තය ආරක්ෂා කර ගත් නිසා පන්දු යවන්නිය තම උත්සාහය අවසන් මොහොතේ නවතා ගත්තා.

අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දු යවන්නියන් 7ක් භාවිතා කළ අතර ඉන් බොහෝමයක් විස්සයි විස්ස තරගයට උචිත ආකාරයේ ඉතාමත් හොඳ පන්දු යැවීමක නිරත වුනා. මේ නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 20 ඇතුළත කඩුලු 9ක්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 109ක් පමණයි.

එහි දී මහිකා ගෞර් සහ වෛශ්නාවි මහේෂ් කඩුලු 3 බැගින් බිඳ හෙලුවා. විශේෂත්වය වන්නේ අත්දැකීම් සහිත ශ්‍රී ලංකා පිතිකාරිණියන් පහසුවෙන් මෙල්ල කළ මෙම කුඩා ක්‍රීඩිකාවන් දෙදෙනා තවමත් පිළිවෙළින් 16 සහ 15 වෙනි වියේ පසුවීමයි.

පෙරළිකාර ජයක් ලබන්නට තමන්ට ලැබුණු අනගි අවස්ථාව පරිස්සමෙන් භාවිතා කරන්නට සිතූ අරාබි පිතිකාරිණියන් ඉනිමේ මුල් කොටසේ පන්දුවට පහර දුන්නේ ඉතා විමසිල්ලෙනුයි. කෙසේ වෙතත් ලකුණු 20ට එක් කඩුල්ලක් දැවී තිබිය දී වර්ෂාව තරගයට බාධා ගෙන දුන්නා. ඒ නිසා යළි තරගය ආරම්භ කෙරුණේ පුරා හෝරාවක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි.

මේ නිසා ඩක්වර්ත්-ලුවිස් න්‍යාය කරළියට පැමිණි අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 11ක දී ලකුණු 66ක ඉලක්කයක් හිමි වුනා. තරගය නැවත අරඹා යැවූ පළමු පන්දුවාරයේ දී ම UAE නියෝජනය කරන කවීෂා එගොඩගේ දවා ගැනීමට පන්දු යැවූ කවීෂා දිල්හාරි සමත් වුනා. UAE කණ්ඩායමේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාවන් දෙදෙනා අතරින් අයෙකු වන කවීෂා එගොඩගේ රැස්කළේ ලකුණු 3ක් පමණයි.

වැස්සෙන් පසු ශ්‍රී ලංකාව නැවුම්ව යළි තරගයට අවතීර්ණ වූ අතර අවශ්‍ය ලකුණු වේගය ක්‍රමයෙන් ඉහළ නගිද්දී අත්දැකීම් අඩු UAE කණ්ඩායම කලබලයටත්, පසුතැවිල්ලටත් ලක්ව ඇති බව පෙනුණේ අතට ලැබුණු ජය දුරස් වන බව දැනීමත් සමඟයි. එහි ප්‍රතිඵලය වූයේ තීරණාත්මක අවස්ථාවල දී තවතවත් ඔවුන්ගේ කඩුලු බිඳ වැටීමයි.

අවසන් පන්දුවාර 2ට ලකුණු 25ක් අවශ්‍ය වෙද්දී විශිෂ්ට පන්දුවාරයක් ක්‍රියාත්මක කළ ඉනෝකා රණවීර UAE පිතිකාරිණියන් තිදෙනෙක් ක්‍රීඩාගාරයට පිටමන් කළේ ලකුණු 3ක් පමණක් ලබා දෙමින්.

අවසන් පන්දුවාරයේ තවත් කඩුල්ලක් දැවී යාමත් සමඟ එක්සත් අරාබි ඉනිම දැක්වුණේ ලකුණු 54කට කඩුලු 7ක් ලෙසයි. ඒ අනුව ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක ජයක් ශ්‍රී ලංකාවට හිමි වුනා. කවීෂා දිල්හාරි කඩුලු 2යි.

Result


Sri Lanka Women
109/9 (20)

United Arab Emirates Women
54/7 (11)

Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama c Chaya Mughal b Vaishnave Mahesh 37 40 4 0 92.50
Chamari Athapaththu c Theertha Satish b Mahika Gaur 6 7 1 0 85.71
Hasini Perera st Suraksha Kotte b Theertha Satish 2 9 0 0 22.22
Nilakshi de Silva c Kavisha Egodage b Vaishnave Mahesh 19 24 0 0 79.17
Kavisha Dilhari c Chaya Mughal b Vaishnave Mahesh 4 8 0 0 50.00
Anushka Sanjeewani not out 17 20 1 0 85.00
Malsha Shehani b Samaira Dharnidharka 3 3 0 0 100.00
Kaushani Nuthyangana b Samaira Dharnidharka 8 4 1 0 200.00
Sugandika Kumari b Mahika Gaur 0 1 0 0 0.00
Inoka Ranaweera b Mahika Gaur 6 3 1 0 200.00
Achini Kulasuriya not out 0 1 0 0 0.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 109/9 (20 Overs, RR: 5.45)
Bowling O M R W Econ
Chaya Mughal 2 0 11 0 5.50
Esha Oza 2 0 15 0 7.50
Mahika Gaur 4 0 21 3 5.25
Samaira Dharnidharka 3 0 18 2 6.00
Suraksha Kotte 4 0 18 1 4.50
Khushi Sharma 1 0 9 0 9.00
Vaishnave Mahesh 4 0 15 3 3.75


Batsmen R B 4s 6s SR
Theertha Satish c & b Sugandika Kumari 19 19 2 0 100.00
Esha Oza c Chamani Seneviratne b Kavisha Dilhari 4 8 0 0 50.00
Kavisha Egodage c Chamari Athapaththu b Kavisha Dilhari 3 8 0 0 37.50
Natasha Cherriath run out (Anushka Sanjeewani) 9 15 0 0 60.00
Chaya Mughal c & b Inoka Ranaweera 7 7 0 0 100.00
Khushi Sharma c Harshitha Madavi b Inoka Ranaweera 2 3 0 0 66.67
Samaira Dharnidharka not out 8 5 0 0 160.00
Mahika Gaur run out (Anushka Sanjeewani) 0 0 0 0 0.00
Vaishnave Mahesh not out 1 2 0 0 50.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 54/7 (11 Overs, RR: 4.91)
Bowling O M R W Econ
Sugandika Kumari 2 0 15 1 7.50
Achini Kulasuriya 1 0 5 0 5.00
Kavisha Dilhari 2 0 7 2 3.50
Inoka Ranaweera 3 0 7 2 2.33
Chamari Athapaththu 2 0 10 0 5.00
Malsha Shehani 1 0 10 0 10.00



මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව කාන්තා ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට සිව්වැනි ස්ථානයේ පසුවෙනවා. පිළිවෙළින් මුල් ස්ථාන තුනේ සිටින පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව ද ලබා සිටින්නේ ලකුණු 2 බැගින් වුව ද ශ්‍රී ලංකාවේ දල ලකුණු ලබා ගැනීමේ වේගය තිබෙන්නේ සෘන අගයකයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුහුණ දෙන මීළඟ අභියෝගය ලෙස අනිද්දා (04) තායිලන්තයට එරෙහිව තරගය මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගයේ වීරවරිය ලෙස අද සම්මාන දිනා ගත්තේ හර්ෂිතා මාධවීයි.

තරගයෙන් පසු අදහස් දැක්වූ නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කළේ “තරගය ජය ගත්ත ද තමන් කණ්ඩායමේ දක්ෂතා ගැන සතුටු නොවන බවයි. ඉදිරියට එන අපහසු තරග ජය ගැනීමට නම් තම පිතිකරණය මීට වඩා දියුණු විය යුතු බව” ඇය ප්‍රකාශ කළා.

ඇයගේ ප්‍රකාශය සර්ව සාධාරණ වන්නේ ඉදිරියේ ශ්‍රී ලංකාවට මුණ ගැසීමට නියමිත පාකිස්තාන, බංග්ලාදේශ කණ්ඩායම් මේ වන විට ඉතා හොඳින් දස්කම් දක්වමින් සිටින නිසාවෙනුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<