කපිල ජයලත් අනුස්මරණ ක්‍රිකට් 7-8 දිනවල

436

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ දකුණු පළාත් ක්‍රිකට් විනිසුරු සංගමය සංවිධානය කරන කපිල ජයලත් අනුස්මරණ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ මස 7 සහ 8 දිනවල අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු ලේකම්වරයෙක් වූ නැසී ගිය කපිල ජයලත් මහතා අනුස්මරණ කිරීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය පැවැත්වේ.

ක්‍රිකට් හා සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර ලෙංගතු මිතුරෙක් වූ කපිල ජයලත් මහතා 2018 වසරේ දී හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට 53 වැනි වියේ පසු වුනා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ ඒ මහතා මහවැලි ගුරු අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු ගුරු වෘත්තියට පිවිසියා. දිවයිනේ පාසල් කිහිපයක ම ගුරු වෘත්තියේ නිරත වූ ඒ මහතා අවසන් කාලයේ දී බෙන්තර ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලවල සේවය කළා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ විවිධ තනතුරු හෙබවූ ඒ මහතා මිය යන විට එම සංගමයේ උප සභාපතිවරයෙක් ලෙසින් ද කටයුතු කළා. 90 දශකයේ ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් ක්‍රිකට් පිටියට පිවිසෙන ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු සංගමයේ ලේකම්වරයා ලෙස වසර කිහිපයක් ම කටයුතු කළා.

ඔහු අනුස්මරණය කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා දකුණු පළාත් ආරාධිත පාසල් 24ක් සහභාගී වීමට නියමිත අතර ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සහ එක් එක් අංශයන් හී දක්ෂතා දක්වන ක්‍රීඩකයන් සඳහා වටිනා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමට නියමිතයි.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 8 දෙනෙක් පමණක් සහභාගී වන පන්දුවාර 5ක තරග සේ ක්‍රියාත්මක මේ තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ.

සහභාගී වන කණ්ඩායම්: අමරසූරිය විද්‍යාලය (ගාල්ල) සාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල) ශ්‍රී දේවාන්නද විද්‍යාලය (අම්බලන්ගොඩ) දේවපතිරාජ විද්‍යාලය (රත්ගම) ධර්මාශෝක විද්‍යාලය (අම්බලන්ගොඩ) මධ්‍ය මහා විද්‍යාලය (කරන්දෙණිය) පී. ද එස්. කුලරත්න විද්‍යාලය (අම්බලන්ගොඩ) මහින්ද විද්‍යාලය (ගාල්ල) රාහුල විද්‍යාලය (මාතර) රේවත විද්‍යාලය (බලපිටිය) රිච්මන්ඩ් විද්‍යාලය (ගාල්ල) සාන්ත සර්වේශස් විද්‍යාලය (මාතර) සාන්ත තෝමස් විද්‍යාලය (මාතර) විද්‍යාලෝක විද්‍යාලය (ගාල්ල) මධ්‍ය මහා විද්‍යාලය (බටපොළ) ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය (බෙන්තර) මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය (කුලීගොඩ) ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය (හික්කඩුව) උපනන්ද විද්‍යාලය (මානවිල) විද්‍යාරාජ විද්‍යාලය (තවලම) සාරාලංකාර විද්‍යාලය (ගෝනාපීනුවල) ශ්‍රී සුමංගලෝදය විද්‍යාලය (ගාල්ල) සියලු සාන්තුවරයන්ගේ විද්‍යාලය (ගාල්ල – All Saint’) සිරි ධම්ම විද්‍යාලය (ගාල්ල)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<