ආසියානු යොවුන් පැරා පිටියේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 4ක්

ආසියානු යොවුන් පැරා ක්රීඩා උළෙල 2021

216

බහරේනයේ දී පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ අද (04) දිනය අවසන් වන විට තවත් ලෝකඩ පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් ක්‍රීඩිකාව වූ ජනනි වික්‍රමසිංහ T42-47 කාණ්ඩය නියෝජනය කරමින් තවත් ලෝකඩ පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට අද සමත් වුනේ සිය පදක්කම් සංඛ්‍යාව 3 දක්වා ඉහළ නංවා ගනිමින්.

අද පැවති T42-47 කාණ්ඩයේ 20න් පහළ කාන්තා දුර පැනීම ඉසව්වේ දී මීටර් 4.38ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත් ඇය, එම කාණ්ඩයේම කාන්තා මීටර් 100 ඉසව්ව ද තෙවැන්නා ලෙස අවසන් කළා.

ඊයේ දිනයේ දී යගුලිය විසි කිරීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ජේසන් ජයවර්ධන අද පැවති F40-41 කාණ්ඩයේ කවපෙත්ත විසි කිරීම ඉසව්වේ ද රිදී පදක්කම දිනාගත්තා.

එමෙන්ම අද පැවති T42-47 කාණ්ඩයේ වයස අවුරුදු 17න් පහළ මීටර් 100 අවසන් තරගය සඳහා සහභාගී වූ කැකුනගොල්ල අරක්‍යාල මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය මොහොමඩ් සෆ්රාන් ද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ජයග්‍රහණය කර දීමට සමත් වුනා.

ඔවුන්ට අමතරව කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ඉසුරු වීරක්කොඩි T42-47 කාණ්ඩයේ වයස අවුරුදු 20න් පහළ මීටර් 100 ඉසව්වට සහභාගී වූ අතර ඔහු එම තරගය නිමා කළේ සිව්වැන්නා ලෙසයි.

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල මෙම මස 02 වැනිදා සිට 06 වැනිදා දක්වා බහරේන් හිදී පැවැත්වෙන අතර තරගාවලිය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<