15න් පහළ යෞවනයන්ගේ කලඑලි බැසීම

15න් පහළ ප්‍රීමා කුසලාන ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

209

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ප්‍රීමා කුසලාන යූත් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වූයේ කොළඹ දකුණ කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමින්.

කණ්ඩායම් 5ක් එකිනෙකා ගැටෙමින් පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ කොළඹ උතුර කණ්ඩායම. ඔවුන්ට එරෙහිව කොළඹ දකුණ ක්‍රීඩකයෝ කඩුලු 3ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

තරග 11කින් යුත් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා මෙන් ම ඉනිමක වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරුවා වන්නේ දඹුල්ල කණ්ඩායමේ පබසර දිසානායක වන අතර වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා බවට පත් වූයේ කොළඹ උතුර කණ්ඩායමේ ලහිරු ලක්මාල්.

තරගාවලියටම එකතු වෙන්නේ අර්ධ ශතක 6ක් පමණක් වන අතර පබසර දිසානායක (දඹුල්ල), හිරුක සිල්වා (කොළඹ දකුණ), ලෙශාන් ප්‍රනාන්දු (කොළඹ දකුණ), යසිඳු දිසානායක (කොළඹ දකුණු), නිකේශල නානායක්කාර (මහනුවර) සහ දමේෂ් මතීශන් (දඹුල්ල) ඒ අතරට එක් වූවා.

පන්දු යවන්නන් අතරින් ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 4ක් වාර්තා වන අතර ඉන් හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ ගාල්ල කණ්ඩායමේ වමතින් දඟපන්දු යැවූ සමිරු ගිම්හාන්. ඔහු දඹුල්ලට එරෙහිව ලකුණු 17කට කඩුලු 5ක් දවා ගන්නවා.

ඊට අමතර කොළඹ දකුණ කණ්ඩායමේ හිමරු දේශාන් මහනුවරට එරෙහිව ලකුණු 35කට කඩුලු 5ක්, මහනුවර කණ්ඩායමේ කෞෂික කුමාරසිංහ කොළඹ උතුරට එරෙහිව ලකුණු 28කට ලබා ගත් කඩුලු 5ක් සහ දඹුල්ල කණ්ඩායමේ වී. ආකාශ් කොළඹ උතුරට එරෙහිව ලකුණු 33කට ලබා ගත් කඩුලු 5ත් වෙනවා.

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා: දිනුජ සමරරත්න (කොළඹ උතුර)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු: පබසර දිසානායක (දඹුල්ල)
  • තරගාවලියේ වීරයා: දමේෂ් මතිශාන් (දඹුල්ල)
  • අවසන් තරගයේ වීරයා: හිරුක සිල්වා (කොළඹ දකුණ)

කොළඹ දකුණ කණ්ඩායමේ ගමන් මග

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 මහනුවර කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 112ක ජයක්
2 ගාල්ල කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 7ක ජයක්
3 කොළඹ උතුර කොළඹ උතුර කණ්ඩායමට කඩුලු 8ක ජයක්
4 දඹුල්ල කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 23ක ජයක්
අවසන් මහා තරගය
5 කොළඹ උතුර කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 3ක ජයක්

රෙහාන් පීරිස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ පළමු වටයෙන් අවසන් මහා තරගයට පිවිසෙද්දී කොළඹ උතුරු ක්‍රීඩකයන් වෙතින් කඩුලු 8ක පරාජයක් ලබා සිටියා. කෙසේ වෙතත් අවසන් මහා තරගයේ දී ඔවුන් සුපුරුදු රිද්මයට පිවිසෙමින් පළමු වටයේ පරාජය වූ කොළඹ උතුර ක්‍රීඩකයන් ම පරාජය කරමින් තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවා.

කණ්ඩමේ වැඩිම ලකුණු ලාභියා වන්නේ හිරුක සිල්වා. ඔහු ඉනිම් 5ක දී ලකුණු 156ක් ලබා ගන්නේ අවසන් මහා තරගයේ දී ලබා ගන්නා ලද අර්ධ ශතකයත් සමඟින්. එම තරගයේ දී ඔහු පන්දු 100කට මුහුණ දෙමින් ලකුණු 61ක් ලබා ගන්නවා. ඔහුගේ එම දක්ෂතාවත් සමඟින් තරගාවලියේ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී දෙවැනි අසුන හිමි කර ගන්නවා.

ඊට අමතරව ලෙෂාන් ප්‍රනාන්දු තරග 5ක දී ලකුණු 128ක් ලබා ගනිමින් කණ්ඩායමේ දෙවැනියා බවට පත් වෙද්දී, තරගාවලියේ පිතිකරු දක්ෂතා අතර තෙවැනි ස්ථානය හිමි කර ගන්නවා. ඔහුගේ ඉහළ ම ඉනිම වන්නේ පළමු වටයේ දී කොළඹ උතුර කණ්ඩායට එරෙහිව පන්දු 87ක දී ලබා ගන්නා ලද ලකුණු 52යි.

කණ්ඩායමේ තෙවැනියට වැඩිම ලකුණ ලාභියා වන්නේ යසිඳු දිසානායක. ඔහු මහනුවර කණ්ඩායමට එරෙහිව පන්දු 84ක දී නොදැවී ලබා ගත් ලකුණු 77ක් ද සමඟින් ඉනිම් 4ක දී ලකුණු 99ක් ලබා ගන්නවා.

කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා වන්නේ කොශේන්ද්‍ර ප්‍රනාන්දු. ඔහු ඉනිම් 5ක දී කඩුලු 9ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි අසුන වෙන් කර ගන්නවා.

ඊට අමතරව හිමරු දේශාන් කඩුලු 8ක් ලබා ගනිමින් ද, රශාන් නවාංජන කඩුලු 7ක් ද ලබා ගනිමින් ද කණ්ඩායම් දක්ෂතා ලැයිස්තුවට එක් වෙනවා.

කොළඹ උතුර කණ්ඩායමේ ගමන් මග

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 ගාල්ල කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 12ක ජයක්
2 කොළඹ දකුණ කොළඹ උතුර කණ්ඩායමට කඩුලු 8ක ජයක්
3 මහනුවර කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 75ක ජයක්
4 දඹුල්ල කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 61ක ජයක්
අවසන් මහා තරගය
5 කොළඹ දකුණ කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 3ක ජයක්

පළමු වටයේ දී අපරාජිතව සිටිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් කිත්ම සිත්මල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ උතුර ක්‍රීඩකයෝ අවශ්‍ය ම තරගයේ දී අවාසනාවන්ත පරාජයකට ලක් වෙමින් අනුශූරතාව දිනා ගන්නවා.

එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ඔෂඳ පමුදිත. ඔහු ඉනිම් 4ක දී ලකුණු 109ක් වාර්තා කරනවා. එම දක්ෂතාව තරගාවලියේ පිතිකරුවන් අතුරින් සිව්වැනි ස්ථානයට ලැයිස්තු ගත වෙනවා.

ඊට අමතර ව ශේන් අබේරත්න ඉනිම 5ක දී ලකුණු 105ක් ලබා ගනිමින් ද, තාබිත් රිස්ෆිකර ඉනිම් 5ක දී ලකුණු 79ක් ලබා ගනිමින් ද කණ්ඩායමේ පිතිකරුවන් අතර පෙරමුණ ගන්නවා.

කණ්ඩායමේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දඩයම් කර ගත් පන්දු යවන්නා ලහිරු ලක්මාල්. ඔහු ඉනිම් 5ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 9ක්. එම දක්ෂතාව තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් ද සටහන් කර ගැනීමට ඔහු සමත් වෙනවා.

ඊට අමතර ව දිනුජ සමරරත්න ඉනිම් 3ක දී කඩුලු 8ක් ලබා ගනිමින් ද, කිත්ම සිතුමල් කඩුලු 7ක් ලබා ගනිමින් කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට එක් වෙනවා.

ගාල්ල කණ්ඩායමේ ගමන් මග

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 කොළඹ උතුර කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 12ක ජයක්
2 කොළඹ දකුණ කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 7ක ජයක්
3 දඹුල්ල ගාල්ල කණ්ඩායමට කඩුලු 8ක ජයක්
4 මහනුවර ගාල්ල කණ්ඩායමට කඩුලු 2ක ජයක්

විරාන් චමුදිතගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩියෙන් ම ලකුණු වාර්තා කරන්නේ දුල්සිත් දර්ශන. ඔහු ඉනිම් 4ක දී ලකුණු 87ක් ලබා ගන්නවා. ඊට අමතර ව විරාන් චමුදිත ලකුණු 73ක් ලබා ගනිමින් ද, රිසිනු ගීනුක ලකුණු 59ක් ලබා ගනිමින් ද ලැයිස්තුවේ ඉහළ ස්ථානවලට ලැයිස්තු ගත වුනා.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා වන්නේ සමිරු ගිම්හාන්. ඔහු කඩුලු 8ක් ලබා ගන්නා ලද අතර තරගාවලියේ කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතර එකී දක්ෂතාව 5 වැනි ස්ථානයට ලැයිස්තු ගත වෙනවා. ඊට අමතර ව ප්‍රවීන් මධුශංක කඩුලු 6ක් සහ විරාන් චමුදිත කඩුලු 5ක් ලබා ගනිමින් කණ්ඩායම් දක්ෂතා අතරට එක් වෙනවා.

මහනුවර කණ්ඩායමේ ගමන් මග

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 කොළඹ දකුණ කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 112ක ජයක්
2 දඹුල්ල මහනුවර කණ්ඩායමට කඩුලු 2ක ජයක්
3 කොළඹ උතුර කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 75ක ජයක්
4 ගාල්ල ගාල්ල කණ්ඩායමට කඩුලු 2ක ජයක්

සෙත්මික සෙනෙවිරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ශෙවන් කනිශාස්. ඔහු ඉනිම් 4ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 98ක්. එය තරගාවලියේ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී ලත් 7 වැනි ස්ථානයයි.

ඊට අමතර ව නිකේශල නානායක්කාර ලකුණු 97ක් ද සහ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 61ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතර ඉහළින් ලැයිස්තු ගත වෙනවා.

කණ්ඩායමේ වැඩිම කඩුලු වාර්තා කරන්නේ පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ සෙත්මික සෙනෙවිරත්න. ඔහු ඉනිම් 4ක දී කඩුලු 8ක් ලබා ගන්නවා. එම දක්ෂතාව තරගාවලියේ පන්දු යවන්නන් අතර 7 වැනි ස්ථානයට ලැයිස්තු ගත වෙනවා.

ඊට අමතර කෙනුල පිහිළියන්ග කඩුලු 6ක් ලබා ගනිමින් ද සහ කෞෂික කුමාරසිංහ කඩුලු 6ක් ලබා ගනිමින් කණ්ඩායම් දක්ෂතා අතරට එක් වුනා.

දඹුල්ල කණ්ඩායමේ ගමන් මග

ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 මහනුවර මහනුවර කණ්ඩායමට කඩුලු 2ක ජයක්
2 ගාල්ල ගාල්ල කණ්ඩායමට කඩුලු 8ක ජයක්
3 කොළඹ දකුණ කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 23ක ජයක්
4 කොළඹ උතුර කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 61ක ජයක්

තරගාවලියේ එකම තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අවස්ථාව නොලැබුව ද තරගාවලියේ දක්ෂතා අගය කිරීමේ දී සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වීම කැපී පෙණුනා. ඒ තරගාවලියේ දක්ෂතම පිතිකරු මෙන් ම තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයයි.

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් කණ්ඩායමේ නායක පබසර දිසානායක සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගැනීමට දමේෂ් මතිශාන් සමත් වුනා.

දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා මෙන් ම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ද පබසර දිසානායක. ඔහු ඉනිම් 4ක දී ලකුණු 162ක් ලබා ගන්නවා. ඊට මහනුවර කණ්ඩායමට එරෙහිව පන්දු 135කට මුහුණ දෙමින් හතරේ 135කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 85ක් ද වෙනවා. එය තරගාවලියේ පිතිකරුවෙක් විසින් එක් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඊට අමතර ව දමේෂ් මතීශන් ලකුණු 85ක් ලබා ගනිමින් ද සහ රජිත නවෝද්‍ය ලකුණු 56ක් ලබා ගනිමින් ද කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර ඉහළින් ලැයිස්තු ගත වුනා.

පන්දු යවන්නන් අතරින් කණ්ඩායමේ පෙරමුණ ගන්නේ පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ දමේෂ් මතීශන්.  කඩුලු 9ක් ලබා ගත් ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් අය අතර දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත් වෙනවා.

ඊට අමතරව වී. ආකාශ් කඩුලු 8ක් ලබා ගත් අතර පමුල ලොකුලියන කඩුලු 5ක් දවා ගනිමින් කණ්ඩායමේ දක්ෂතා දැක්වූ පන්දු යවන්නන් අතර ලැයිස්තු ගත වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<