කොළඹ උතුරට සහ ගාල්ලට ජය

15න් පහළ ‘ප්‍රීමා කුසලාන’ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

236
Prima U15 Sri Lanka Youth League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ප්‍රීමා ආයතන එක්ව සංවිධානය කරනු ලබන 2022 වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා බාලක ක්‍රිකට් ලීගයේ තවත් තරග දෙකක් ඊයේ (28) කොළඹ දී සහ රත්මලානේ දී ක්‍රියාත්මක වුනා.

තරගාවලියේ මූලික වටයේ අවසන් සහ පස්වැනි දිනය වූ එම දිනයේ පැවති තරග දෙකේ දී කොළඹ උතුර සහ ගාල්ල කණ්ඩායම් හමුවේ මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් පරාජයට පත් වුනා. ඒ අනුව කොළඹ උතුර ක්‍රීඩා කළ තරග 3ම ජයගෙන දැනට අපරාජිතව සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ද දිනා ගෙනයි.

කොළඹ උතුර සහ දඹුල්ල අතර රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරගයෙන් ලකුණු 61ක ජයක් ලබා ගැනීමට කොළඹ උතුර සමත් වුනා. එම ජයත් සමඟ කොළඹ උතුර කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.

පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 130ක් පමණයි. තරගාවලිය පුරාවට දඹුල්ල වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ විග්නේශ්වරන් ආකාශ් කඩුලු 5ක දස්කමක් දක්වමින් කොළඹ උතුර පිතිකරුවන්ට දැඩි අභියෝගයක් ලබා දුන්නා. කොළඹ උතුර වෙනුවෙන් මේ තරගයේ දී වැඩිම ලකුණු ලබා ගත් ශේන් අබේරත්න ලකුණු 35ක් ලබා ගත්තා.

කෙසේ නමුත් දඹුල්ල පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාවයට සාධාරණයක් ඉටු කිරීමට දඹුල්ල පිතිකරුවන්ට හැකියාවක් නොලැබුණු අතර ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 69ක් පමණයි.

එහි දී ප්‍රහාස් පෙරේරා සහ ලහිරු ලක්මාල් කඩුලු 3 බැගින් දවා ගන්නා විට, තරුෂ නවෝද්‍ය කඩුලු 2ක් දවාගෙන කොළඹ උතුර කණ්ඩායමේ ගෞරවය රැක දුන්නා.

දිනයේ පැවති අනෙක් තරගය මහනුවර සහ ගාල්ල අතර පැවැත්වුනා. වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී පැවත්වුනු එම තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වූ ගාල්ල කණ්ඩායම තෙවැනි ස්ථානය දිනාගෙන තරගාවලිය අවසන් කිරීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 136ක් ලබා ගත්තා. එහි දී ශෙවාන් කනිෂස් සහ නිකේෂල නානායක්කාර පිළිවෙළින් ලකුණු 37ක් සහ ලකුණු 29ක් ලබාගෙන මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වුනා. එහි දී ගාල්ල කණ්ඩායමේ චලන ඉන්දුෂ ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.

පිළිතුරු ඉනිම දියත් කළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිය ඉලක්කය සපු රාගත් අතර, දුල්සිත් දර්ශන ලකුණු 47ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

මහනුවර නායක සෙත්මික සෙනෙවිරත්න කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූ නමුත් එය ගාල්ල ජයග්‍රහණය වැළැක්වීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

කොළඹ උතුර –130 (45.3): ශේන් අබේරත්න 35, නෙතුල එදිරිමාන්න 21, විග්නේශ්වරන් ආකාශ් 5/33, පමුල ලොකුලියන 2/15

දඹුල්ල – 69 (32.5): ප්‍රහාස් පෙරේරා 3/05, ලහිරු ලක්මාල් 3/11, තරුෂ නවෝද්‍ය 2/02

කොළඹ උතුර කණ්ඩායමට ලකුණු 61ක ජයක්

මහනුවර – 136 (31.3): ශෙවාන් කනිෂස් 37, නිකේෂල නානායක්කාර 29, කවීෂ චන්දිමාල් 25, සෙත්මික සෙනෙවිරත්න 23, චලන ඉන්දුෂ 4/11, ප්‍රවීන් මදුශංක 2/18, විරාන් චමුදිත 2/19.

ගාල්ල – 140/8 (43): දුල්සිත් දර්ශන 47, විහඟ ඉන්දුසර 23, බෙවින් ජයවර්ධන 22, සෙත්මික සෙනෙවිරත්න 4/25

ගාල්ල කණ්ඩායමට කඩුලු 2ක ජයක්

තරගාවලියේ අවසන් මහා තරගය අද (29) කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<