කොළඹ උතුර අපරාජිත බව අහිමි කරමින් කොළඹ දකුණ ශූරතාවයට

15න් පහළ ‘ප්‍රීමා කුසලාන’ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

354

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ප්‍රීමා ආයතන එක්ව සංවිධානය කරනු ලබන 2022 වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා බාලක ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද (29) කොළඹ දී නිමාව දුටුවා.

කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර පැවති එම තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා ගත් කොළඹ දකුණ කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි කොළඹ උතුර කණ්ඩායම පරාජයට පත් කරමින් මෙහි ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් කොළඹ උතුර නායක කිත්ම සිත්මල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 51ක් තුල දවා ගනිමින් කොළඹ දකුණ ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ වුනා.

කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වූ රචින්ත ද සිල්වා සහ ඔසඳ පමුදිත 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටුණු කොළඹ උතුර ලකුණු සටහන යම් මට්ටමකට ඔසවා තැබුවා.

එහි දී රචින්ත පන්දු 73ක් තුල 4 පහර 2ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 73ක් ලබා ගන්නා විට, ඔහුට සහාය වුනු පමුදිත පන්දු 85ක දී ලකුණු 35ක් ලබා ගත්තා. පමුදිතගේ ඉනිම 4 පහර 4කින් වර්ණවත් වුනා.

අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රෂාන් නවාංජන ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් සිය පන්දුවාර 10 අවසන් කළා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ කොළඹ දකුණ කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 59ක් තුල දැවී ගියා. කෙසේ නමුත් ආරම්භක හිරුක සිල්වා සහ තෙවිඳු වේවැල්වල 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් ගොඩනංවමින් කොළඹ දකුණ කණ්ඩායමට අවශ්‍ය වුනු අඩිතාලම සකස් කළා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු සිල්වා පන්දු 100කදී ලකුණු 61ක් ලබා ගත්තේ 4 පහර 6ක් සහ එක් 6 පහරක් සිය ඉනිමට ඇතුළත් කරගෙනයි.

  • කොළඹ උතුර – 148/8 (50): රචින්ත ද සිල්වා 45, ඔසඳ පමුදිත 35, රශාන් නවාංජන 3/20, තෙනුෂ යාපා 2/30
  • කොළඹ දකුණ – 151/7 (45.5): හිරුක සිල්වා 61, තෙවිඳු වේවැල්වල 20, කිත්ම සිත්මල් 2/21, ලහිරු ලක්මාල් 2/25

කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 3ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<