කරුණාරත්න සහ තිරිමාන්නගෙන් කැපී පෙනෙන දස්කම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2020/2021

1152

එළඹෙන දෙසැම්බර් මාසයේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අරමුණු කරගෙන පැවති දින 2ක පුහුණු තරගයක් ඊයේ (20) ආරම්භ කරනු ලැබීය.

එම ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයින් 22ගෙන් සමන්විත ටෙස්ට් සංචිතයක් මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතර එහි දී ඊයේ ආරම්භ වූ මෙම පුහුණු තරගය දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායම අතර ජෛව ආරක්‍ෂිත පරිසරයක් තුළ පවත්වනු ලැබීය. 

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය අවසන් වන විට පළමුව පන්දුවට පහර දුන් චන්දිමාල්ගේ කණ්ඩායම ලකුණු 318ක් වාර්තා කරගන්නට සමත් වූ අතර එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශතකයකට හිමිකම් කියනු ලැබීය. 

ඒ අනුව අද දිනය ආරම්භ කරමින් කරුණාරත්නගේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමට ආරම්භක පිතිකරු යුගලය ලෙස මිනෝද් භානුක සහ නායක කරුණාරත්න පිටියට පිවිසියත්, සුරංග ලක්මාල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මිනෝද් හට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් හිමි වුනේ නැත.  

අනතුරුව කරුණාරත්න සමඟින් පිටියේ එක්වූ ලහිරු තිරිමාන්න සිය කණ්ඩායමේ ඉනිම ස්ථාවර තත්වයකට ඔසවා තැබීමට සමත් වූයේ එහි දී දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරගනිමිනි. ඒ අනුව කරුණාරත්න පන්දු 94ක දී ලකුණු 78කුත්, තිරිමාන්න පන්දු 88ක දී ලකුණු 62කුත් ලබා ගනිමින් ඉහළ ලකුණු ලබා ගැනීමේ වේගයක් යටතේ පන්දුවට පහර දෙමින් සිටිය දී ඔවුන් සිය ඉනිම් අත්හිටුවමින් කණ්ඩායමේ අනෙක් පිතිකරුවන්ට හට පිටියට පිවිසීමට අවස්ථාවක් ලබා දීමට තීරණය කරන ලදි. 

තවත් කියවන්න;

ඒ අනුව එහි දී මැදපෙළ ශක්තිමත් කරමින් දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 43ක් වාර්තා කරගෙන සිටිය දී තරගය ජය-පරාජයකින් තොරව අවසන් වන්නට විය. 

අනෙක් පසින් ඔවුන්ගේ බිඳ වැටුණු කඩුලු 3න් කඩුලු 2කට ම හිමිකම් කියමින් එහි දී ලක්මාල් පන්දුවෙන් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. 

එළඹෙන දෙසැම්බර් මස 16 වැනිදා නිමාවට පත්වන 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා සංචිතය දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා එරටට පිටත්ව යාමට නියමිතව ඇති අතර එහි දී ද ඔවුන් දින 2ක තවත් පුහුණු තරගයකට සහභාගී වීමට සැලසුම් කර ඇත. 

දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ සියලුම නව තොරතුරු, පුවත්, ඡායාරූප සහ වීඩියෝ පට සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ලකුණු සාරාංශය

දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායම – 318/10 (68.2) | කුසල් මෙන්ඩිස් 100 (Rtd), සන්තුෂ් ගුණතිලක 58 (Rtd), දිනේෂ් චන්දිමාල් 57, දිල්රුවන් පෙරේරා – කඩුලු 3, දුෂ්මන්ත චමීර කඩුලු 2, කසුන් රාජිත කඩුලු 2.

දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම – 231/5 (52) | දිමුත් කරුණාරත්න 78 (Rtd), ලහිරු තිරිමාන්න 62 (Rtd), ධනංජය ද සිල්වා 43*, සුරංග ලක්මාල්ගේ කඩුලු 2.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<