යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 7ක්!

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2023

284

මෙම වසරේ උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති පස්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පැවැත්වූ යොවුන් තේරීම් තරගවලින් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙම සංචිතයට ඇතුළත් වෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව කණ්ඩායමේ කළමනාකරු (team leader) ලෙස චන්දන ඒකනායක මහතා, පුහුණුකරු ලෙස බුද්ධික මදුශංක මහතා සහ Lady Chaperone ලෙස පූර්ණිමා වීරසිංහ මහත්මිය යන අයවලුන් නිලධාරීන් ලෙස එක් වෙනවා.

තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමට නිළුපුල් තෙනුජ (උස පැනීම), ලෙසඳු අර්ථවිඳු (උස පැනීම), අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු පැනීම), මලින්දරත්න සිල්වා (රිටි පැනීම) සහ ජාත්‍ය කිරුළු (මීටර් 400) ක්‍රීඩකයින් ලෙස ඇතුළත් වෙද්දී, නිර්මාලි වික්‍රමසිංහ (මීටර් 800) සහ දුලංජනා ප්‍රදීපනී (මීටර් 1500) ක්‍රීඩිකාවන් ලෙස කණ්ඩායමට ඇතුළත්.

මෙම කණ්ඩායම නියෝජනය කරන ලෙසඳු අර්ථවිඳු සහ කසුනි වික්‍රමසිංහ අවසන් වරට පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය නියෝජනය කරමින් පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

අප්‍රේල් 27 සිට 30 දක්වා ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වීමට නියමිත අතර එය සඳහා රටවල් 30ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් 24 වැනිදා දිවයිනෙන් පිටත්වීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වෙනවා.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම: නිළුපුල් තෙනුජ (උස පැනීම), ලෙසඳු අර්ථවිඳු (උස පැනීම), අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු පැනීම), මලින්දරත්න සිල්වා (රිටි පැනීම), ජාත්‍ය කිරුළු (මීටර් 400), නිර්මාලි වික්‍රමසිංහ (මීටර් 800) ,දුලංජනා ප්‍රදීපනී (මීටර් 1500).

මෙම තරගාවලිය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

Daily Mirror ඇසුරිනි.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<