17න් පහළ පාසල් ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව තරග ඇරඹෙයි

වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

326

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2022 වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (5) ආරම්භ වීමට නියමිතයි.

කොරෝනා වසංගතයේ බලපෑම නිසාවෙන් පසුගිය වසරේ 17න් පහළ හෝ 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. එම නිසා වයස අවුරුදු 17න් පහළ සහ 15න් පහළ පසු වන ක්‍රීඩකයින් හට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම වෙනුවෙන් අවස්ථාවක් සලසා දීම වෙනුවෙන් මෙවර තරගාවලිය පැවැත්වෙනවා.

අවසන් වරට පැවති 17න් පහළ පළමු කොටසේ (2019) ශූරයන් වූ කොළඹ මහානාම විද්‍යාලය, මෙවර B කාණ්ඩයෙන් තරග වැදුණු සුපිරි 16 වටයේ දී 2019 වසරේ දී අවසන් වරට අනුශූරතාවය දිනා ගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ පරාජයට පත්වීම නිසා මේ වන විට තරගාවලියෙන් ඉවතට ගොස් තිබෙනවා.

සුපිරි 16 දෙනාගේ තරග වටය මීට සති දෙකකට පමණ ඉහත දී අවසන් වූ අතර එහි දී උණුසුම් තරග වටයක් ක්‍රියාත්මක වුනා.

  • බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාලයට ජය
  • මොරටු මහා විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – සාන්ත තෝමස් විද්‍යාලයට ජය
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – ත්‍රිත්ව විද්‍යාලයට ජය
  • ගාල්ල මහින්ද විද්‍යාලය සහ බලපිටිය රේවත විද්‍යාලය – මහින්ද විද්‍යාලයට ජය
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය – රිච්මන්ඩ් විද්‍යාලයට ජය
  • කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – ගුරුකුල විද්‍යාලයට ජය
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජය
  • මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය – සාන්ත ජෝසප් විද්‍යාලයට ජය

ඉන් අනතුරුව වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම නිසා මේ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග එම තරගාවලියෙන් පසුව පැවැත්වීමට තීරණය කෙරුණා.

එම තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වුනේ 2024 වසරේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා යොවුන් සංචිතයක් තෝරාගැනීමයි.

ඒ අනුව මේ වන විට අර්ධ අවසන් පූර්ව වටය සඳහා පාසල් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබාගෙන තිබෙන අතර එම තරග 5 වැනිදා සිට 8 වැනිදා දක්වා පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය
  • ත්‍රිත්ව විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය
  • සාන්ත පීතර සහ සාන්ත තෝමස් විද්‍යාලය
  • රිච්මන්ඩ් විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<