අද දිනුවොත් ඊළඟ සටන දකුණු අප්‍රිකාවත් සමඟයි

131

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ සිටින ප්‍රබලම කණ්ඩායම ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති මූලික වටයේ තරගයේදී ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවූ නිසාත් එම කාණ්ඩයේම තවත් තරගයකදී පෙරේදා බංග්ලාදේශය ඉදිරියේ එංගලන්ත පිල පරාජයට පත්වූ නිසාත් “ඒ” කාණ්ඩයේ 4 වැනි ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

එහෙත් අද තරගයෙන් ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකාව ජයගතහොත් සහ අනිද්දා තරගයෙන් නවසීලන්තය ඉදිරියේ බංගලාදේශය පරාජයට පත්වුව හොත් යළිත් “ඒ” කාණ්ඩයේ 3 වැනි තැනට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇත.

එසේ සිදුවන්නේ 14දා පැවැත්වෙන තරගයෙන්ද ස්කොට්ලන්තය පරදා ඕස්ට්‍රේලියාව ජයගනු ඇතැයි යන පදනම මතය. එනම් ඕස්ට්‍රේලියාව 14 වැනිදා ජයගත් විට ඔවුන් “ඒ” කාණ්ඩයේ 2 වැනි ස්ථානයේම රැඳී සිටින අතර අනෙක් කාණ්ඩයේ 2 වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවට හෙට තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කිරීමට හැකියාව ඇති බැවින්ද දකුණු අප්‍රිකානු පිලට තවදුරටත් එම “බී” කාණ්ඩයේ 2 වැනි ස්ථානයේම රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව බලන විට ලබන 18දා සිඩ්නි ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන පළමුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව හා තරග වැදීමට සුදුසුකම් ලබන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

කෙසේ වෙතත් අද හෝබාට්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා-ස්කොට්ලන්ත තරගය මෙම දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක් දින තරගය මෙන්ම ලෝක කුසලාන තරගාවලියකදී දෙරටේ පළමු හමුවීමද වන අතර මෙවර තරගාවලියේදී මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිව සිටින ප්‍රතිවාදීන්ට නැතිවෙන්නට දෙයක් නොමැති බැවින් මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලද ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. එක් අතකින් බැලූ විට මෙතෙක් ශ්‍රී ලංකා පිලෙන් දුටු පන්දු යැවීමේ හා පන්දු රැකීමේ දුර්වලතාවලින් මිදී අර්ධ අවසන් පූර්ව තරගයට යෑමට පෙර එම අංශ අලුත්වැඩියා කරගන්නට අද තරගය උපයෝගී කරගත හැකිවන අතර වෙනත් වේගපන්දු යවන්නකුද අත්හදා බැලීමට හොඳ අවස්ථාවකි.

එනම් මෙරට වෙසෙන බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් අසන ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසද අද තරගයට නුවන් කුලසේකර යොදවා ගැනීම සිදුවිය හැකි අතර වේග පන්දු යවන්නන්ටද යම් සහයෝගයක් ඇති හෝබාට් තණතීරුවේ එම වෙනස්කම සිදු කොට වාසියක් ලබාගතහොත් කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් ඉතිරි රාජකාරිය ඉටුකරනු අතැයි විශ්වාස කළ හැකිය. මෙම ක්‍රීඩාංගණයේදී ශකත ලබා ගත් පිතිකරු ලයිස්තුවේ සංගක්කාරගේ හා ඩිල්ෂාන්ගේ නම් පමණක් ලියැවී තිබීමද ඊට යම් හේතුවක් වන අතර මෙවුන් දෙදෙනා පිළිවෙළින් මුළු ලකුණු 372ක් හා 291ක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලානයේ අංක-1 පිතිකරුවා අංක-6 පිතිකරුවා බවටද පත්ව සිටිති. තවද අද කණ්ඩායමේ කුසල් ජනිත් ක්‍රීඩා කරන්නේ නම් ඔහු මැද පෙළ පිතිකරුවකු ලෙස යොදා ගැනීමට ඉඩ ඇති අතර පිතිකරුවකු හා දඟපන්දු යවන්නකු වෙනුවට නවක වේග පන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීරත් සමඟ යළි සුරංග ලක්මාල්ද අද කැඳවනු ඇතැයි පැවැසේ.