Shakibගේ තීරණයෙන් බංග්ලාදේශය කැළඹෙයි

23653

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan තමා මානසිකව හා ශාරීරිකව වෙහෙසට පත්ව සිටින බවත්, ඒ නිසා තමන් ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩා කිරීමට සූදානම් නැති බවත් පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Nazmul Hasan පසුගිය දා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබූ අතර ඔහු එහි දී Shakib Al Hasan ජාතික කණ්ඩායමට දක්වන කැපවීම පිළිබඳව ප්‍රශ්න මතු කළා.

එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විත දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කිරීමට Shakib Al Hasan මීට පෙර එකඟ වී තිබුනත්, පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය බව පවසමින් ඔහු ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් ක​ළ ඔවුන්ගේ සංචිතයට Shakib Al Hasan ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් Shakib Al Hasan මිල දී ගැනීමට උනන්දු වූයේ නැහැ. ඒ අනුව ඔහුට සම්පූර්ණ දකුණු අප්‍රිකානු සංචාරය සඳහාම ක්‍රීඩා කිරීමට හැකියාව ලැබී තිබුණා.

නමුත් තමන් ක්‍රිකට් තරග නිසා කාර්‍යබහුල වී ඇති බවත්, එය තමාට මානසික බරක් වන බවත් Shakib පසුගිය ඉරිදා නිවේදනය කරමින් පවසා සිටියා. ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහුව මිල දී ගත්තා නම් ඔහු විදිහට කියාවි ද? මානසිකව හෙම්බත් වෙලා කියලා කියාවි ද? ඔබ ක්‍රීඩා කරන්න අකමැති නම් කරුණාකර අපට කියන්න. නමුත් මේ වගේ අවසාන මොහොතේ ඔහු අපට දැනුම් දුන්නම එය ගැටලුවක්. අපි දකුණු අප්‍රිකානු තරගාවලියට සැලැස්ම හැදුවේ ඔහුව ඇතුළත් කරලා. නමුත් දැන් ඔහු සහභාගී වෙන්නේ නැහැ කියලා කියන විට එය අපට බාධාවක්.

තරගාවලියක් සැලසුම් කිරීමට පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය කෙතරම් මහන්සි වෙනවා ද කියන එක ගැන ඔහුට අවබෝධයක් නැහැ. අවංකවම ඔහුගේ මේ ප්‍රකාශය පුදුම සහගතයි. ඔහු දැන් පවසන්නේ කුමක් දැයි මම දන්නේ නැහැ. නමුත් ඔහු මා සමඟ කළ අවසන් සංවාදයේ දී ඔහු මට ක්‍රීඩා කරන බව කිව්වා. මම දන්නේ එපමණයි”, Nazmul Hasan මාධ්‍ය වෙත පවසා සිටියා.

පසුගිය මාර්තු 6 වැනිදා ඩුබායි බලා පිටත්ව යාමට පෙර පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් Shakib ඔහුගේ ප්‍රකාශය නැවතත් තහවුරු කර සිටියා. එහි දී ඔහු පවසා සිටියේ තමන් තමන්ගේ මානසික හා ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපති සමඟ කතා කළ බවයි.

Shakib බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එතරම් අකමැති මන්දැයි තමාට සිතා ගත නොහැකි නැති නමුත්, ඔහු යම් මානසික ව්‍යාකූල තත්වයක සිටිය හැකි බවට තමාට පැවසූ බව Nazmul Hasan පවසනවා.

මම හිතන්නේ ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙනවා. මට දැනෙන්නේ එහෙම. ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට අකමැති ඇයි කියලා මට හිතාගන්න බැහැ. අපි ඔවුන්ව පරාජය කළ නිසා හැමෝම සතුටෙන් හිටියේ. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තම කණ්ඩායමේ සාර්ථකත්වය භුක්ති විඳින්න බැරි නම් එය විශාල ගැටලුවක්.”

වත්මන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින මේ තුන් ඉරියව් ක්‍රීඩකයා එක්දින තරග මඟහැර ටෙස්ට් ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියා සිය විමතිය පළ කළා.

එය මට සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. මොකද ඔහු මුල දී ටෙස්ට් ක්‍රීඩා කිරීමට උනන්දු වුනේ නැහැ. අපි කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට බල කරන්නේ නැහැ. නමුත් කවුරුහරි මේ වගේ තීරණ ගන්නවා නම් අපිට කොන්ත්‍රාත්තුවක් යටතේ ඔහුට විනය ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා. නැත්නම් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. මේ ගැන අපි ඉක්මනින්ම පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා.”

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<