ආසියානු ක්‍රිකට් වංශ කතාවේ සිංහාභිමානය

443

මීට වසර 38කට පෙර එනම් 1984 වසරේ දී ශ්‍රී ලංකා පාකිස්තාන ගැටුමෙන් ඇරඹුණු ආසියානු කුසලාන වංශ කතාව ජයග්‍රාහීව අරඹන්නට දුලිප් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වන්නේ පාකිස්තානය කඩුලු පහකින් පරාජයට පත් කරමින්.

එහි දී රෝයි ඩයස්ගේ විශිෂ්ට පිතිකරණය (57) සහ අර්ජුන රණතුංගගේ සුවිශේෂී පන්දු යැවීම (38/3) ශ්‍රී ලංකාවට ජය ගෙන දුන් නමුත්, Round-robin ක්‍රමයට පැවති මෙම තරගාවලියේ මීළඟ තරගය ඉන්දියාව හමුවේ කඩුලු දහයකින් පරාජය වීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් අනුශුරතාවයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

1986 ශ්‍රී ලංකාවේ දී පැවති දෙවැනි ආසියානු කුසලානයට ඉන්දියාව සහභාගි නොවුණු අතර ඊට හේතුව වූයේ දෙරට අතර තිබුණු දේශපාලන ගැටුම් මුල් කර ගනිමින් අවසන් මොහොතේ දී ඉන්දියාව තරගාවලිය වර්ජනය කිරිමයි.

එය ආශීර්වාදයක් කර ගත් ශ්‍රී ලංකාව කොළඹ SSC පිටියේ දී පැවති අවසන් තරගයේ දී පාකිස්තානය කඩුලු පහකින් පරාජය කරමින් ප්‍රථම වරට ආසියානු කුසලානයක් ජයග්‍රහණය කරන්නට සමත් වුනා. එහි දී තරගාවලියේ වීරයා සහ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට අර්ජුන රණතුංග (107) සමත් වුනා.

තුන්වැනි ආසියානු කුසලානය 1988 දී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් සංවිධානය වූ අතර එම තරගාවලියේ මූලික වටයේ තරග තුනේ දී, පාකිස්තානයට එරෙහිව කඩුලු 5කින් ද, ඉන්දියාවට එරෙහිව ලකුණු 17කින් ද සහ බංග්ලාදේශයට එරහිව කඩුලු 9කින් ද ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් සපුරා ගත් ශ්‍රී ලංකාව අවසානයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වෙමින් නැවත වරක් අනුශූරයින් ලෙස තරගාවලිය අවසන් කිරීමට සමත් වුනා.

1990 දී පැවති 4 වැනි තරගාවලිය ඉන්දියාවේ දී පැවති අතර ඉන්දියාව සමඟ ඇති වූ දේශපාලනික ගැටුමක් හේතුවෙන් මෙම තරගාවලියට පාකිස්තානය සහභාගි වුනේ නැහැ.  සුපුරුදු පරිදි මූලික වටයේ පැවති තරග දෙකම ඉන්දියාවට එරෙහිව ලකුණු 36කින් සහ බංග්ලාදේශය සමඟ තරගය ලකුණු 71කින් ජය ගත් ශ්‍රී ලංකාව අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 7කින් පරාජය වීම හේතුවෙන් ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු වුනා.

අර්ජුන රණතුංග ලකුණු 166ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ නමුත් මෙම තරගාවලියේ දී තරගාවලියේ වීරයා සම්මානය, කිසිවෙකුටවත් ලබා නොදෙන්නට ආසියානු ක්‍රිකට් සංගමය තීරණය කර තිබීම, දෙවතාවක් ආසියානු කුසලාන ඉතිහාසයේ තරගාවලියේ වීරයා වීමට තිබූ අවස්ථාව ඔහුට අහිමි කරන්නට හේතු වුනා.

1993 පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානයේ පස්වැනි දිගහැරුම ඉන්දූ-පාකිස්තාන දේශපාලන ගැටුම් හේතුවෙන් අතහැර දැමීමට ආසියානු ක්‍රිකට් සංගමය තීරණය කළා

ඒ අනුව වසර පහක විරාමයකින් පසුව ආසියානු කුසලානය නැවතත් 1995 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති අතර සුපුරුදු පරිදි ඉන්දියාව ශූරයින් ලෙසත්, ශ්‍රී ලංකාව අනුශූරයින් ලෙසත් කිරුළු පලන්දවමින් එම තරගාවලිය ද අවසන් වුනා.

එහි මූලික වටයේ දී බංග්ලාදේශය ලකුණු 107කින් සහ පාකිස්තානය කඩුලු 5කින් පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් සටනට පිවිසි නමුත් එහි දී ඉන්දියාව හමුවේ කඩුලු 8කින් පරාජය වුනා.

1997 දී ලෝක ශූරයින් ලෙස ආසියානු කුසලානයට පිවිසි අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම වසර 11කට පසු නැවත වරක් ආසියානු ශූරයින් බවට පත් වීමට සමත් වූ අතර එහි දී ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවැනි වරටත් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට අර්ජුන රණතුංග සමත් වුනේ තරගාවලිය පුරා ලකුණු 272ක් ලබා ගනිමින්.

මූලික වටයේ දී පාකිස්තානය ලකුණු 15කින් සහ ඉන්දියාව කඩුලු 6කින් පරාජය කළ ශ්‍රී ලංකාව බංග්ලාදේශය ලකුණු 103කින් පරාජය කරමින් අවසන් තරගයට පිවිස එහි දී ඉන්දියාව කඩුලු 8කින් පරාජය කිරීමට සමත් වුනා. අවසන් තරගයේ වීරයා බවට පත් වූ මාවන් අතපත්තු එම තරගයේ දී ලකුණු 84ක් ලබා ගත්තේ පන්දු 101ක් තුල දීයි.

2000 දී පාකිස්තානය ශූරතාව දිනා ගනිද්දී පස්වැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර එම පරාජය ආශීර්වාදයක් කර ගනිමින් 2004 දී පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වුනේ මාවන් අතපත්තුගේ විශිෂ්ට නායකත්වයෙනි. එහි දී සනත් ජයසූරිය තරගාවලියේ වීරයා බවට පත්වුනා.

මූලික වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 116කින් සහ ඉන්දියාව ලකුණු 12කින් පරාජය කරමින් Group B හී පෙරමුණ ලබමින් අපරාජිතව සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකාව, පාකිස්තානය කඩුලු 7කින් සහ බංග්ලාදේශය කඩුලු 10කින් පරාජය කරන්න සමත් වුනා.

ඉන්දියාව සමඟ පැවති සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය තියුණු තරගයකින් අනතුරුව ලකුණු 4කින් පරාජය වූ නමුත් එම වටයේ දී ද පෙරමුණ ලබා ගනිමින් අවසන් තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අවසන් තරගයේ දී ඉන්දියාව ලකුණු 25කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර අවසන් තරගයේ වීරයා බවට අභිෂේක ලැබුවේ පන්දු 87කින් ලකුණු 65ක් ලබා ගත් මාවන් අතපත්තු.

2008 වසරේ ආසියානු කුසලානය ජය ගනිමින් පිට පිට දෙවැනි වතාවටත් ආසියානු ශූරතාවයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මූලික වටයෙ දී Group A නියෝජනය කළ ශ්‍රී ලංකාව බංග්ලාදේශය ලකුණු 131කින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 142කින් පරාජය කරමින් පහසුවෙන්ම සුපිරි 4 දෙනාගේ වටයේ තමන්ගේ ස්ථානය තහවුරු කරගන්නට සමත් වුනා.

සුපිරි 4 දෙනාගේ වටයේ දී පාකිස්තානය ලකුණු 64කින් සහ බංග්ලාදේශය ලකුණු 158කින් පරාජය කළ ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ කඩුලු  6කින් පරාජය වූ නමුත් අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායමට ලකුණු 100ක දරුණු පරාජයක් අත් කර දෙන්නට ශ්‍රී ලංකාව සමත් වුනේ ආසියාවේ ක්‍රිකට් බලවතුන් තමන් බව ඔප්පු කරමිනි.

තරගාවලිය පුරා පන්දු යවන්නන්ට හිසරදයක් වූ සනත් ජයසූරිය ලකුණු 378ක් ලබා ගත්තේ බංග්ලාදේශයට එරහිව (130) සහ අවසන් තරගයේ දී ඉන්දියාවට එරෙහිව (125) ලබා ගත් ශතක දෙකත් සමඟිනි.

තරගාවලියේ වීරයා බවට පත් වූ අජන්ත මෙන්ඩිස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 22කට කඩුලු 5ක්, පාකිස්තානයට එරෙහිව ලකුණු 47කට කඩුලු 4ක් සහ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් අතර අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම අසරණ කරමින් පන්දුවාර 8ක් තුල දී ලකුණු 13කට කඩුලු 6ක් දවා ගනිමින් තරගාවලියේ පුරා කඩුලු 17ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

2010 දී අනුශූරයින් ලෙස පිදුම් ලැබූ ශ්‍රී ලංකාව ආරම්භයේ සිට ම අඛණ්ඩව රැක ගත් අවසන් තරගය නියෝජනය කිරීමේ ගෞරවය 2012 දී අහිමි කර ගත් අතර එයින් නොසැලුනු සිංහයින් 2014 ආසියානු ශූරයින් බවට පත් වුනේ ලහිරු තිරිමාන්නගේ දක්ෂ පිතිකරණය සහ ලසිත් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම ප්‍රමුඛ කර ගනිමිනි.

ලහිරු තිරිමාන්න තරගාවලිය පුරා ලකුණු 279ක් ලබා ගනිමින් තරගාවලියේ වීරයා බවට පත් වූ අතර ලසිත් මාලිංග තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් කඩුලු 11ක් දවා ගැනීමට සමත් වුනා.

ඉන් අනතුරුව පැවති 2016 සහ 2018 තරගාවලි තුල අපේක්ෂිත දක්ෂතා නොදැක්වූ නමුත් ශූරතා පහක් සමඟින් ඉන්දියාවට පමණක් දෙවැනි වන ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ඉතිහාසය පුරාවට පැවති අවසන් තරග 13 තුල දී අවස්ථා දහයක දී අවසන් තරගය නියෝජනය කරමින් වැඩිම වාර සංඛ්‍යාවක් ආසියානු කුසලාන අවසන් මහා තරග නියෝජනය කිරීමේ ගෞරවය හිමි කර ගැනීමට සමත් වී සිටින්නේ තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමන් බව තහවුරු කරමිනුයි.

එතෙක් මෙතෙක් ආසියානු කුසලාන ඉතිහාසය තුල වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද වන සනත් ජයසූරිය සමත් වී ඇත්තෙ ලකුණු 1220ක් සමඟිනුයි.

එහි දෙවැනි ස්ථානය ද ශ්‍රී ලාංකීක පිතිකරුවෙකු වන කුමාර සංගක්කාරට (1075) හිමි වී ඇත්තෙ ආසියානු කුසලාන ඉතිහාසයෙ ශ්‍රී ලාංකික නාමය ප්‍රමුඛත්වයට පත් කරමින්.

කඩුලු 33ක් සමඟින් කඩුලු ලාභින් අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට විශිෂ්ට වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත් වී ඇති අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් මුත්තයියා මුරලිදරන් (30) සහ අජන්ත මෙන්ඩිස් (26) සතු වන්නේ ආසියානු කුසලානය තුල විශිෂ්ටයන් අප බව අපූරුවට කියාපාමිනුයි.

තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 2022 ආසියානු කුසලානය තුල තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් දක්වමින් 6 වැනි වරටත් ආසියානු ශූරයින් ලෙසත්, මෙතෙක් කල් එක්දින ආසියානු ශූරතා පමණක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම ආසියානු කුසලාන පන්දුවාර විස්ස ශූරතාවය දිනා ගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<