කන්ද උඩරට නිල් සටනේ උණුසුම

104th Hill Country Battle of the Blues

244

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 104 වැනි වරටත් පැවැත්වෙන ජෝන් හලංගොඩ අනුස්මණ කුසලාන කන්ද උඩරට නිල් මහා සටන මේ මස 21 සහ 22 දෙදින කටුගස්තොට දී පැවැත්වීමට නියමිතයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර රහල් අමරසිංහ විසින් මෙහෙයවනු ලබන අතර සාන්ත අන්තෝනි විද්‍යාලය ලහිරු අබේසිංහ විසින් මෙහයවනු ලබයි.

ත්‍රිත්ව විද්‍යාලය මේ දක්වා කන්ද උඩරට නිල් මහා සටන් 23ක දී ජයග්‍රහණය හිමිකරගෙන සිටින අතර සාන්ත අන්තෝනි විද්‍යාලය දිනා ඇත්තේ තරග 11ක දී පමණයි. ඉතිරි තරග ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

1914 දී බෝගම්බර දී ආරම්භ වූ මෙම තරග ඉතිහාසයේ පළමු තරගයේ ජයග්‍රහණය සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ සතුකර ගත්තා. මෙතෙක් තරග ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වී ඇත්තේ 2012 වසරේ දී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් ත්‍රිත්ව විද්‍යාලය ලත් ජයග්‍රහණයයි.

සාන්ත අන්තෝනි විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරගෙන ඇත්තේ උමේෂ් ද අල්විස්ගේ නායකත්වය යටතේ 1992 වසරේ දී.

ඒ අනුව දෙවිදුහල් හී ක්‍රීඩකයෝ මෙවර තරගයට පිවිසෙන්නේ වසර 10ක් පුරා නොලත් ජයග්‍රහණයක් සොයමින්. ඒ යන ගමනේ දී මෙවර පාසල් තරග වාරයේ දී වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A කොටසේ එක්දින ශූරයන් වෙමින් සහ දෙදින තරගාවලියේ සම ශූරයන් ලෙසින් අභිශේක ලැබූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ එම අභිමානයට කන්ද උඩරට නිල් සටනේ ශූරතාවය ද හිමිකර ගැනීමට සියලු සැලසුම් ක්‍රියාත්මක කරනු නොඅනුමානයි.

ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: රහල් අමරසිංහ (නායක) විභාවිත් ඇහැලේපොළ (උපනායක) තීරක රණතුංග, සුපුන් වඩුගේ, මනුල කුලරත්න, තරණ විමලධර්ම, කුසල් විජේතුංග, දිනූෂ පීරිස්, දිනුක තෙන්නකෝන්, ජයවි ලියනගම, ජනිත් වර්ණකුල, මලිත් රත්නායක, ලක්වින් අබේසිංහ, වතිල උදාර, යෙවන් හුලංගමුව සහ විදුක ධම්මගේ.

නිලධාරීන්: අරලිය ජයසුන්දර පියතුමා (විදුහල්පති), උත්තිය විජේසිංහ (ක්‍රීඩා භාර අචාර්ය), බ්‍රයන් සේනාරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත අලහකෝන් (සහාය පුහුණුකරු) සහ දිනූෂ ජයසංඛ (සහාය පුහුණුකරු).

ත්‍රිත්ව විද්‍යාලයට මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්නේ  X කාණ්ඩයෙන්. ඒ අනුව ඔවුන් පළමු වටයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය පරාජය කරමින් තම ජයග්‍රාහී ගමන් මඟ විවර කර ගන්නවා.

ඉන් අනතුරුව ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරන අතර අවසන් පූර්ව වටයේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නිමා වෙන්නේ දෙවිදුහල් සම ශූරයන් කරමින්.

නිමා වූ එම තරගාවලියේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතරින් පෙරමුණ ගැනීමට කුසල් විජේතුංග සමත් වුනා. ඔහු ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් තරගාවලිය අවසන් කරන්නේ ලකුණු 760ක් ලබා ගනිමින්.

ඊට අමතර ව දිනූෂ පීරිස් ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 732ක් ද, නායක රහල් අමරසිංහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 695ක් ද සහ මනුල කුරත්න ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 570ක් ද ලබා ගනිමින් ඔවුන්ගේ ලකුණු පුවරුව පෝෂණය කරන්නන් බවට පත්වුනා.

පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යවන දිනුක තෙන්නකෝන් කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 6ක් සමඟින් මෙවර තරගාවලියේ දී කඩුලු 76ක් දවා ගනිමින් ත්‍රිත්ව විද්‍යාලයීය පන්දු යවන්නන් අතර කැපී පෙනෙන්නා බවට පත්වුනා.

ඔහුට අමතර ව දකුණතින් පිට දඟපන්දු යවන තරන විමලධර්ම කඩුලු 70ක්, වමතින් පා දඟපන්දු යවන තීරක රණතුංග කඩුලු 24ක් සහ දකුණතින් පා දඟපන්දු යවන ජයවි ලියනගමගේ කඩුලු 18ක් ලබා ගනිමින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වුනා.

කෙසේ වෙතත් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තීරක රණතුංග සහ මනුල කුලරත්න මෙම මහා තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ සුවිශේෂී බලාපොරොත්තු සහගත ක්‍රීඩකයන් බවට පත් ව තිබෙනවා.

සාන්ත අන්තෝනි විද්‍යාලයීය 19න් පහළ කණ්ඩායම; ලහිරු අබේසිංහ (නායක), කවිඳු ශෙහාන්, තිසර ඒකනායක, ඉඳුවර ගලපිටගේ, මොහොමඩ් අකීල්, කවීෂ පියුමාල්, සෙනුර අබේසේකර, චාරුක ඒකනායක, ජනිත් රත්නසිරි, කවිඳු ශෙහාන්, මොහොමඩ් අකීල්, රයන් අන්තෝනියස්,  රවිඳු කපුකොටුව, ට්‍රෙවීන් මැතිව්.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ Z කාණ්ඩය නියෝජනය කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දී ජයග්‍රහණ 5ක් ලබා ගැනීමට සමත් වෙනවා.

ඒ කොළඹ තර්ස්ටන් විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිවයි.

ඊට අමතරව ඔවුන් කොළඹ රාජකීය විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩිකට් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ තරග ජය පරාජයෙන් තොරව අවසන් වන අතර කුරුණෑගල මලියදේව විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමඟ පැවති තරගවල දී ඔවුන්ට පරාජය වීමට සිදු වෙනවා.

ඔවුන්ගේ මෙම ගමනේ දී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායක ලහිරු අබේසිංහගේ දක්ෂතා වඩාත් කැපී පෙනුණා. සිව්වැනි වසරේ වර්ණලාභී නායකයෙක් වන ලහිරු අබේසිංහ තරග 14ක දී ලකුණු 675ක් වාර්තා කිරීමට සමත් වුනා. පන්දු යවන්නෙක් ලෙසින් ඔහු සතුව කඩුලු 22ක් ද තිබෙනවා.

ඊට අමතරව  පිතිකරුවන් ලෙසින් කවිඳු ෂෙහාන් ශතයක් සමඟින් ලකුණු 601ක්, මොහොමඩ් අකීල් ලකුණු 415ක් සහ ඉඳුවර ගලපිටගේ ලකුණු 428ක් ලබා ගනිමින් අනෙකුත් පිතිකරුවන් අතරින් දක්ෂතා දැක්වූවා.

සාන්ත අන්තෝනි පන්දු යැවීමේ බලඇණියේ විශ්වාසවන්ත ම පන්දු යවන්නා වී ඇත්තේ කවීෂ පියුමාල්. ඔහු මෙවර තරගාවලියේ දී තරග 14ක දී කඩුලු 62ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමුවැනියා වුනා.

ඔහුට නොදෙවෙනි සේවයක් ලබා දීමට තිසර ඒකනායක ද සමත් වුනා. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 60ක්. ඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන චාරුක ඒකනායක ද කඩුලු 30ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ ඉහළ අසුනක් වෙන් කරගෙන සිටිනවා.

දෙවිදුහල් අතර ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ අනුස්මරණ කුසලානය වෙනුවෙන් 41 වැනි වරට පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එහි දී තරග 19ක ජය ත්‍රිත්ව විද්‍යාලය සතු වන අතර 17ක ජයග්‍රහණය සාන්ත අන්තෝනි සතු වෙනවා. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වන අතර තවත් තරග 3ක්  අයහපත් කාලගුණ තත්ත්වය මත එකඳු පන්දුවක් නොයවා අතහැර දමා තිබෙනවා.

කන්ද උඩරට නිල් සටන උණුසුම් කරන ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයන්ට සහ සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.

තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම විඳ ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<