89 වැනි සාන්තුවරයන්ගේ සටන Dialog බලගන්වයි

194

මෙරට පාසල් මහා ක්‍රිකට් තරගාවලි අතර වඩාත්ම තරගකාරී ගැටුම් අතරින් මුල් තැනක් ගන්නා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික බාලක පාසල් දෙකක් වන මරදාන සාන්ත ජෝසප් විදුහල හා බම්බලපිටිය සාන්ත පීතර විදුහල අතර ‘මෝරිස් ජේ.ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන, Dialog බලගන්වන ‘89 වැනි සාන්තුවරයන්ගේ සටන’ 2023 අප්‍රේල් 28 සහ 29 දෙදින කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සලකා ඉකුත් වසර දෙකක කාලයේ දී මෙම මහ සටන ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට යෙදුණු නමුත්, COVID-19 සීමාකිරීම් ලිහිල් කිරීමත් සමඟ සාන්තුවරයන්ගේ සටනේ  ඒකාබද්ධ තරග සංවිධාන කමිටුව, විදුහල් දෙකේ ප්‍රධාන පියතුමන්ලාගේ අනුශාසකත්වය යටතේ,  සිසුන්, ආදි සිසුන් සහ ක්‍රීඩාලෝලීන් ඇතුළුව පූර්ණ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කරන ලදි.

Dialog Axiata PLC සමාගම මෙම තරග සජීවීව Dialog ටෙලිවිෂන් නාලිකා අංක 70 ඔස්සේ විකාශනය කිරීමටත්, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවීව නැරඹීමටත් අවස්ථාව සලසා දෙයි.

මෙරට පාසල් මහා ක්‍රිකට් තරග අතර විශේෂ ආවේණික බවක් සහිත ‘සාන්තුවරයන්ගේ සටන’ වැඩි උද්‍යෝගයක් සහ විසඳුමක් සහිත තරග අවසානයක් කරා රැගෙන යෑම පිණිස දෙපිළේම පළමු ඉනිම පන්දුවාර 60කට සීමා වන අතර, එවැනි උපාය මාර්ගික සීමා කිරීමක් සහිත මෙරට එකම දෙදින වාර්ෂික ක්‍රිකට් ගැටුම මෙය වේ.

2023 සාන්තුවරයන්ගේ සටන සඳහා සාන්ත ජෝසප් විදුහල මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරනු ලබන කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු වන සදේෂ් ජයවර්ධනට පැවරී තිබෙන අතර, තුන් ඉරියව් පිතිකරුවෙකු වන නිමුතු ගුණවර්ධන විසින් සාන්ත පීතර කණ්ඩායම මෙහෙවනු ඇත.

සාන්ත ජෝසප්-සාන්ත පීතර මහා ක්‍රිකට් තරග වාරයේ 89 වැනි අදියර, යළි පෙර සේම අපූර්වත්වයෙන් පැවැත්වීමට හැකියාව ලැබී තිබීම ගැන මම සතුටුවනවා,” යැයි මෙවර සත්කාරක පාසල වන බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ විදුහල්පති රෝහිත රොද්‍රිගූ පියතුමන් පැවසීය.

“එසේම හොඳ කාලවල දී මෙන්ම අභියෝත්මක අවස්ථාවන් හිදී ද අපත් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ රැඳෙමින්, ශක්තියක් වූ Dialog Axiata සමාගමට ස්තුති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා,” යැයි එතුමන් වැඩි දුරටත් පවසා සිටියේය.

සාන්ත ජෝසප් විදුහලේ විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමන් සිය අදහස් දක්වමින් පවසා සිටියේ, දිවයිනේ ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් වන සාන්ත ජෝසප් සහ සාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන ‘සාන්තුවරයන්ගේ සටන’ දිගු ඉතිහාසයකට හිමිකම් කියන තරගාවලියක් බවයි.

පාසල් දෙකෙ හිම නවක සිසුන්ට මෙන්ම ආදි සිසුන්ට ආශ්වාදජනක අත්දැකීමක් ගෙන ඒමට මෙම දෙවිදුහල් හි කණ්ඩායම් දෙකම උත්සාහ ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පියතුමා සඳහන් කළේය.

මේ දින දෙක පුරාම උද්‍යෝගයෙන් පිරි තරග අත්දැකීමක් ක්‍රීඩාලෝලීන්ට ලබාදීමට පාසල් දෙකෙහි කණ්ඩායම් හා එහි නායකයන්ට හැකි වේවා යැයි සුබ පැතුම් එක් කරන බව ගරු අන්ද්‍රාදි පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

සාන්ත ජෝසප්  විද්‍යාලය ජයග්‍රහණ 12ක් සමඟින් මෙම තරගාවලි ඉතිහාසයේ පෙරමුණේ පසුවන අතර ඔවුන්ගේ අවසන් ජය වාර්තා වී තිබෙන්නේ 2008 වසරේ දී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේය. 2016 දී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ 10 වැනි ජයග්‍රහණය වාර්තා කළ සාන්ත පීතර විදුහල මේ දක්වාම මෝරිස් ජේ.ලෙගෝ පියතුමන්’ අනුස්මරණ කුසලානය තමන් සන්තකයේ රඳවා තබාගන්නට සමත්ව සිටීයි.

මෙරට පාසල් ඉතිහාසයේ පළමු සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගය ලෙසින් 1975 වසරේ දී ආරම්භ වූ පීටර්. ඒ. පිල්ලේ පියතුමන්’ අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන  ‘සාන්ත ජොසප් -සාන්ත පීතර’ පන්දුවාර 50 ක්‍රිකට් තරගය සැමවිටම පාසල් එක්දින තරගයක් සඳහා ආකර්ෂණය වූ ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාවට හිමිකම් කියා ඇති අතර,  2023 අප්‍රේල් 30 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ම එම තරගය පැවැත්වීමට නියමිතය.

තරග 2ක් විසඳුමකින් තොරව සහ එක් තරගයක් සම ලකුණු සහිතව අවසන් වී තිබේ. සාන්ත ජොසප් – සාන්ත පීතර සීමිත පන්දුවාර තරග ඉතිහාසයේ ජයග්‍රහණ 24-21ක් ලෙස පෙරමුණේ පසුවන්නේ සාන්ත ජෝසප් කණ්ඩායමයි. පසුගිය වසරේ දී  තියුණු සටනකින් පසු එක්දින සටනේ  ජය වාර්තා කිරීමට සාන්ත ජෝසප් කණ්ඩායමට හැකි විය.

මෙම පාසල් ද්විත්වය බොහෝ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට දායාද කර තිබේ. වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා හා සධීර සමරවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කළ ආදි සාන්ත ජෝසප් ක්‍රීඩකයන් වන අතර රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආර්නෝල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර හා ඇන්ජලෝ පෙරේරා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආදි සාන්ත පීතර ක්‍රීඩකයන් වේ.

2023 වසර සඳහා වන තරග අදියර සඳහා ජනත ස්ටීල් ආයතනය ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව සිටීයි. ඊට අමතරව Keells Krest, Elephant house, CBL, Maggie, Daraz, HNB, Uber සහ Singer Sri Lanka යන ආයතන සහ සමාගම් ද මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වයෙන් දායක වෙයි. වර්තමානයේ සාන්ත ජෝසප් කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු කාණ්ඩයේ A කොටසේ සම ශූරයන් ද වේ.

Dialog Axiata ජාතික දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල්පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – සමූහ ව්‍යාපාර මෙහෙයුම් ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් තරගාවලියට අදාළ අනුග්‍රාහක චෙක්පත සාන්ත ජෝසප් විදුහලේ විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමා සහ සාන්ත පීතර විදුහලේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගු පියතුමා වෙත පිරිනැමූ අවස්ථාව.

ඡායාරූපයේ වමේ සිට දකුණට: සාන්ත ජෝසප් විදුහලේ කණ්ඩායම් නායක සදේෂ් ජයවර්ධන, සාන්ත ජෝසප් විදුහලේ ක්‍රීඩාභාර ආචාර්ය ගරු ප්‍රියාන් තිසේරා පියතුමා, සාන්ත ජෝසප් විදුහල නියෝජනය කරන ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති ටෙරන්ස් ප්‍රනාන්දු මහතා, සාන්ත පීතර විදුහල නියෝජනය කරන ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති මයිකල් ඉලායස්, සාන්ත පීතර විදුහලේ ක්‍රීඩා සම්බන්ධීකාරක ගරු මිලාන් බර්නාඩ් පියතුමා, සාන්ත පීතර විදුහලේ කණ්ඩායම් නායක නිමුතු ගුණවර්ධන.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<