සාන්ත ජෝසප් සහ ත්‍රිත්ව විද්‍යාලය සම ශූරතාවය දිනයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

321

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගය අද (9) නාරාහේන්පිට Ace Capital ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසාවෙන් කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස අභිසෙස් ලැබුවා.

අවසන් පූර්ව තරග වටයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය කොටහේන සාන්ත බෙනඩික්ට් කණ්ඩායම අභිබවා අවසන් මහා තරගයට පැමිණි අතර, මලියදේව විද්‍යාලය කඩුලු 7කින් පරාජය කරමින් ත්‍රිත්ව විද්‍යාලය මේ අවසන් මහා තරගයට පැමිණියා.

>> Photos – Trinity College vs St. Joseph’s College | U19 Division 1 Tier ‘A’ Tournament 2022/23 | Final 

තරගයේ පළමු දිනය වුනු ඊයේ (8) දිනය තුල එකඳු හෝ පන්දුවක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ තරගයට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුනු නිසයි.

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව නායක රහල් අමරසිංහ පළමුව පන්දු රැකීමට තීරණය කළා. එහි දී සාන්ත ජෝසප් පළමු කඩුලු 5 ලකුණු 59ක් තුල දවා ගන්නට තීරක රණතුංග (කඩුලු 5) සහ දිනුක තෙන්නකෝන් (කඩුලු 3) ඇතුළු ත්‍රිත්ව පන්දු යවන්නන් සමත් වුනා.

19න් පහළ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමෙන් පසුව නැවතත් පාසල් කණ්ඩායම සමඟ එක්වුණු සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තිදෙනා (ශෙවෝන් ඩැනියල්, හිරාන් ජයසුන්දර සහ හිරුන් කපුරුබණ්ඩාර) හට මේ දෙදින තරගය තුල සාර්ථක වීමට නොහැකි වීම කැපී පෙනුණා.

කෙසේ නමුත් සාන්ත ජෝසප් විද්‍යාලයේ පසුපෙළ පිතිකරුවන් සමඟ ඉතාමත් හොඳ සබඳතාවයන් කිහිපයක්ම ගොඩනංවාගත් මුදිත දිසානායක අගනා ඉනිමක් දියත් කරමින් ලකුණු 79ක් ලබා ගත් අතර අවසන් පූර්ව තරගයේ දී ශතකයක් ලබා ගත් නරේන් මුරලිදරන් මේ තරගයේ දී නොදැවී ලකුණු 71*ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා. අවසානයේ දී සාන්ත ජෝසප් කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 202ක් ලබා ගත්තා.

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලබාගෙන සිටිය දී තරගයේ දෙවැනි සහ අවසන් දිනය නිමාවට පත්වුණේ ජය පරාජයෙන් තොරවයි.

ඒ අනුව මේ කණ්ඩායම් දෙකම 2022/23 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ සම ශූරතාවය ලබා ගත්තා.

2022/23 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ ශූරතාවය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය දෙදින තරගාවලියේ ද සම ශූරතාවය දිනා ගැනීම කැපී පෙනුණු අතර 19න් පහළ එකම පාසල් ක්‍රිකට් තරග වාරයක ශූරතාවයන් දෙකක් ත්‍රිත්ව විද්‍යාලය දිනා ගත්තේ වසර 11කට පසුව වීම සුවිශේෂී වනවා.

  • සාන්ත ජෝසප් විද්‍යාලය – 202 (88.2): මුදිත දිසානායක 79, නරේන් මුරලිදරන් 71*, තීරක රණතුංග 5/59, දිනුක තෙන්නකෝන් 3/70, විභාවිත් ඇහැළේපොළ 2/20
  • ත්‍රිත්ව විද්‍යාලය – 59/3 (19): මනුල කුලරත්න 33*

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (කණ්ඩායම් දෙකට සම ශූරතාවය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<