අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්

Sri Lanka Tour of Bangladesh 2024

81
Towhid Hridoy found guilty of breaching icc code

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු තෙවැනි විස්සයි විස්ස තරගයේ දී ICC ආචාරධර්ම කඩ කිරීමේ වරදට බංග්ලාදේශය ක්‍රීඩක Towhid Hridoy හට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබෙනවා. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 175ක ඉලක්කය හඹා යමින් සිටි බංග්ලාදේශ ඉනිමේ තෙවන කඩුල්ල ලෙස තමන් මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන් ම දැවී යාමට Hridoyට සිදු වුනා. නුවන් තුෂාරගේ දෙවැනි කඩුල්ල ලෙස නොසිතූ ලෙස පිටියෙන් ඉවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහු පුදුමයට පත් වූ බවක් ද පෙනෙන්නට තිබූ අතර, ඒත් සමඟම ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ අනවශ්‍ය වචන හරඹයක යෙදෙමින් ගැටුමක් ඇති කර ගැනීමට මුලපුරන බවද දක්නට ලැබුණා. 

ඒ මොහොතේ තත්වය සමථයකට පත් වුනත්, මෙහි දී Hridoyගේ මෙම හැසිරීම ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි ICC තරග තීරක Andy Pycroft විසින් තීරණය කර තිබෙන්නේ. 

මේ අනුව පළමු මට්ටමේ වරදක් සිදු කිරීම නිසා Towhid Hridoy හට එම තරගයේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් මෙන්ම, ඔහුගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් ද එක් කර තිබෙනවා. මෙය ඉදිරි මාස 24ක කාලය තුළ Hridoyට ලැබී ඇති එකම දඬුවම් ලකුණ ලෙසයි සටහන් වන්නේ. 

මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 28ක ජයග්‍රහණයක් උරුම වූ අතර, ඒත් සමඟම විස්සයි විස්ස තරගාවලිය ද 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු 13 වැනි දා ආරම්භ වීමට නියමිතයි.  

තරගාවලියේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<