සුදුසුකම් ලැබුවොත් කාන්තා කුසලානයක් ශ්‍රී ලංකාවේ දී

281

2024 සිට 2027 දක්වා ICC ප්‍රධාන කාන්තා තරගාවලි සඳහා සත්කාරකත්වය ලබා දෙන රටවල් පිළිබඳව Birmingham හී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික රැස්වීමේ දී ප්‍රකාශයට පත් කර තිබුණා.

එම තරගාවලි අතරින් අවසානයට පැවැත්වීමට නියමිත 2027 කාන්තා ශූරියන්ගේ කුසලානය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සූදානමක් ඇති බව එහි දී ප්‍රකාශයට පත් කළ නමුත් එම සත්කාරකත්වය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඒ සඳහා සුදුසුකම් ලබා ගත යුතු වනවා.

විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන එම තරගාවලිය 2027 පෙබරවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් හයක් තරග වදින එම තරගාවලිය තරග 16කින් සමන්විත වනවා.

මෙම තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, මෙම සත්කාරකත්වය හිමි වීම පිළිබඳව තමා සතුටට පත්වන බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කාන්තා ක්‍රිකට් වර්ධනයට විශාල වැදගත්කමක් ලබා දෙනවා. ඒ නිසා 2027 ICC කාන්තා ශූරියන්ගේ කුසලානය පැවැත්වීම ගෞරවයක් ලෙසින් අපි පිළිගන්නවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කාන්තා ක්‍රිකට් ලොව පුරා වර්ධනය කිරීමේ ක්‍රියාවලියේ කොටසක් වීමට ලැබෙන අවස්ථාවක් ලෙසයි අපි මෙය සලකන්නේ”.

එමෙන්ම 2024 වසරේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව තිබෙන්නේ බංග්ලාදේශයටයි. මෙය ඔවුන් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සත්කාරකත්වය දරන පළමු අවස්ථාව වන අතර 2024 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී හී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට කණ්ඩායම් 10ක් සහ තරග 23ක් ඇතුළත්.

එම තරගාවලියෙන් පසුව කාන්තා එක්දින ලෝක කුසලානය 2025 වසරේ දී පැවැත්වීමට නියමිත අතර එහි සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි.

ඉන්දියාව කාන්තා එක්දින ලෝක කුසලානයක සත්කාරකත්වය දරන පස්වැනි අවස්ථාව මෙය වන අතර කණ්ඩායම් 08ක් තරග වදින එම තරගාවලියට ආසන්න වශයෙන් තරග 31ක් ඇතුළත්.

ඉන්පසුව පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළේ තරගාවලිය වන “2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය” එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර එංගලන්තය විසින් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයක සත්කාරකත්වය දරන්නේ පළමු වතාවටයි.

එම අවස්ථාව එංගලන්තයට හිමි වීම පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් නිලධාරිණි Claire Connor ප්‍රකාශ කළේ,

“2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි වීම පිළිබඳව අපි ඇත්තටම සතුටට පත් වෙනවා. 2017 ලෝක කුසලානයේ සත්කාරකත්වය දරද්දී අපි දැක්කා ප්‍රේක්ෂකයින් ඒකට උනන්දුව දක්වන ආකාරය සහ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ප්‍රවේශ පත් සියල්ල විකිණී අවසන් වූ දිනයේ Heather Knight කුසලානය ලබා ගත් ආකාරය.”

මෙම තරගාවලි සඳහා සත්කාරකයින් තෝරා ගැනීම තරගකාරී ලංසු තැබීමක් මගින් සිදු වූ අතර එම ලංසු තැබීමේ ක්‍රියාවලිය Martin Snedden, Sourav Ganguly සහ Ricky Skerrittගේ ප්‍රධානත්වයෙන් යුත් අනුකමිටුවක් යටතේ අධීක්ෂණය කෙරුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<